Local

අතුරුගිරිය අන්තර් හුවමාරුවේ කෝටි ගණනක මුදල් වංචාවක්, කැෂියර්ලා 22කගේ වැඩ තහනම් !

Wednesday, 26 June 2024 - 6:53 am

අධිවේගි කොළඹ පිටත වටරවුම් මාර්ගයේ අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සිදු වී ඇති බව කියන රුපියල් කෝටි ගණනාවක මුදල් වංචාවක් සම්බන්ධයෙන් ප්‍රධාන මුදල් අයකැමි ඇතුළු අයකැමිවරුන් 22කුගේ වැඩ තහනම් කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස්.පී.එම්. සූරිය බණ්ඩාර මහතා පැවැසීය. අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියෙන් (අධ්‍යක්ෂ, අධිවේගි මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයේ) නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පී.එච්. ගුණසිංහ මහතා විසින් එම වැඩ තහනම සිදු කරනු ලැබීය.

2020 වසරේ රටේ විදුලි අර්බුදයක් පැවැති අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් සිදු කළ බව කියන මෙම මුදල් වංචාව විදුලි අර්බුදය අවසන් වීමෙන් අනතුරුව ද සිදු කර ඇති බව මූලික විමර්ශනවලින් පෙනී ගොස් තිබේ. විදුලිය විසන්ධි කරමින් මෙම වංචාව සිදු කර ඇති බව අනාවරණය වී ඇත.

අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ මුදල් අයකැමිවරු 27 දෙනකු සේවයේ යෙදෙයි. ඒ අතරින් 22ක් මෙම වංචාවට සම්බන්ධ බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම සේවකයන් විසින් විදුලිය විසන්ධි කර ආරක්ෂිත කැමරා අක්‍රිය වීමෙන් අනතුරුව අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයෙන් පිටවීම සඳහා පැමිණෙන පාරිභෝගිකයන්ට ප්‍රවේශපත්‍ර නිකුත් නොකර මුදල් අය කර ගනිමින් මෙම වංචාව සිදු කර ඇතැයි හෙළි වී තිබේ.

මේ සම්බන්ධයෙන් කළ විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ 2024 ජනවාරි මස අග භාගයේ දින කීපයක් තුළ පමණක් ආරක්ෂිත කැමරා අක්‍රිය කිරීමෙන් රුපියල් ලක්ෂ 20කට ආසන්න මුදලක් වංචා කර ඇති බවය.

මෙම වංචනික ක්‍රියාව හසු කර ගැනීම සඳහා විදුලිය අක්‍රිය කළ විට ආරක්ෂිත කැමරා පද්ධතිය ක්‍රියාත්මක වීම සඳහා විකල්ප ක්‍රමවේදයක් උසස් නිලධාරීන්ගේ උපදෙස් මත විදුලි අංශය විසින් ක්‍රියාත්මක කර තිබේ. මුදල් අයකැමිවරයන් විදුලිය විසන්ධි කර සිදු කරන මෙම වංචාව ඒ තුළින් ඉතා පැහැදිලිව ඒ අනුව ආරක්ෂක කැමරා මඟින්ම අතටම අල්ලා ගැනීමට හැකි වී තිබෙන බව සඳහන්ය.

පසුගිය ජනවාරි මස 20 වැනි දින විනාඩි 16ක කාලයක් තුළ ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයෙන් පිටවීම සඳහා පැමිණි වාහන 23කින් මුදල් ලබාගෙන ඇතත් මුද්‍රිත ටිකට්පත් දී ඇත්තේ වාහන 04කට පමණක් බව පෙනී ගොස් තිබේ.

එදින පෙරවරු 11.30 සිට 2.30 දක්වා කාලය තුළ අයකැමි විසින් වාහන 38කට මෙසේ ටිකට්පත් නිකුත් නොකර සිදු කර ඇති වංචාවේ ප්‍රමාණය රුපියල් 19,500ක් බව ද අනාවරණය වී ඇත.

මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී ද අතුරුගිරිය අධිවේගි පිවිසුමේ සිදු වූ එම වංචාවන් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ද ලක්ව ඇත. විගණන දෙපාර්තමේන්තුවේ වාර්තාවලින් ද මේ බව අනාවරණය වී තිබිණි.

වසර ගණනාවක සිට කෙරණ මෙම වංචාවට සම්බන්ධ සේවකයන් වාහන මිල දී ගෙන නිතර සාද පවත්වමින් සුපිරි ජීවිතයක් ගත කරමින් සිටි බව ද පෙනී ගොස් ඇත.

වැඩ තහනම් වූ කාලය තුළදී පූර්ව අනුමැතියකින් තොරව අධිවේගි මාර්ග මෙහෙයුම් නඩත්තු කළමනාකරණ අංශයට හෝ අධිකාරියේ ප්‍රධාන කාර්යාලයට හෝ වෙනත් කිසිදු කාර්යාල භූමියකට මෙම සේවකයන්ට ඇතුළු වීම තහනම් කර ඇත.

එසේම ඔවුන්ට පුද්ගලික කටයුත්තක් සඳහා වුවත් විදේශගත වීම තහනම් බවත් වැඩ තහනම් කාලය තුළදී වැටුප් ගෙවනු නොලබන බවත් ඉදිරියේදී විනයානුකූලව කටයුතු කරන බවත් සඳහන් කරමින් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතුව ලිපියක් ද නිකුත් කර තිබේ.

මීට ටික කලකට පෙරාතුව අධිවේගි මාර්ග සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණව වැඩ වර්ජනයක නිරත වූ අවස්ථාවේ එහි රාජකාරි කටයුතු සඳහා තමන් යුද හමුදාව කැඳවූ බවත් එම දිනවල සාමාන්‍ය දිනවලට වඩා ඒවායේ ආදායම සැලකිය යුතු මට්ටමකින් ඉහල යෑම පිළිබඳ සොයා බලන ලෙස තමන් අදාළ බලධාරීන්ට කළ නියෝගය පරිදි සිදු කළ වැඩිදුර විමර්ශනයකදී මෙම වංචාවට අදාළ සියලු තොරතුරු හෙළිදරව් වූ බව ‘දිනමිණ’ මේ පිළිබඳ ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් කළ විමසීමකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙබඳු වංචාවන් වැළැක්වීමට අධිවේගි මාර්ගයන්හි ප්‍රවේශ පත් නිකුත් කිරීම ඩිජිටල්කරණය කරන ලෙස තමා අදාළ බලධාරීන්ට දුන් උපදෙස් මත මේ වන විට ඒ සඳහා ටෙන්ඩර් කැඳවීමට පියවර ගෙන තිබෙන බව ද සඳහන් කළ ඇමැතිවරයා ගාස්තු අය කිරීමේ ක්‍රමවේදය පූර්ණ ඩිජිටල්කරණයට ලක් කිරීමත් සමඟ මෙබඳු වංචාවන්ට වැට බැඳෙන බව ද තවදුරටත් ප්‍රකාශ කළේය.

මෙම වංචාව සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස්.පී.එම්. සූරිය බණ්ඩාර මහතාගෙන් විමසීමේදී ඔහු පැවසුවේ තමාගේ අත්සනින් යුතුව අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සේවකයන් රැසකගේ වැඩ තහනමට ලක් කරනු ලැබූ බවය.

අධිවේගි මාර්ග මෙහෙයුම් හා නඩත්තු කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පී.එච්. ගුණසිංහ මහතාගෙන් විමසීමේදී මෙසේ පැවසීය.

අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සිදු වී තිබූ මුදල් වංචාව සම්බන්ධයෙන් වැඩ තහනමට ලක් කර සේවයෙන් ඉවත් කරනු ලැබූ සේවකයන් වෙනුවට කාර්යාලයේ සහ අනෙකුත් පිවිසුම් දොරටුවල අතිරේක සේවකයන් යොදවා කිසිදු බාධාවකින් තොරව සේවා සැලසීමට අවශ්‍ය පියවර අරගෙන තියෙනවා.

බණ්ඩාරගම – බිමල් ජයසිංහ


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT