ආර්ථික අර්බුදය හමුවේ රට්ටුන් තම බඩවියත රැකගැනීම සඳහා දැඩි අරගලක නිරතව සිටිති. රට බංකොළොත්භාවයෙන් මුදාගත් බවට පාලකයන් පම්පොරි ගැසුවද ජනතාව ජීවන බරින් මිරිකී සිටිති. භාණ්ඩ හා සේවා මිල අහස උසට නැග තිබේ. කොටින්ම කිවහොත් ජනතාවට තම මූලික අවශ්‍යතාවයන් පවා සපයා ගැනීමේ දී ගැටලු රැසකට මුහුණදීමට සිදුවී ඇත. පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය, වැරදි ආර්ථික ප්‍රතිපත්ති, මෙන්ම වංචාව හා දූෂණය ආදි හේතු රටේ ආර්ථික අර්බුදය උග්‍ර කිරීමට හේතුවිය. ආර්ථික අර්බුදය හේතුවෙන් රට්ටුන් නොවඳිනා දුක් විඳිමින් පීඩාවට පත්ව සිටියදී පාලකයන්ගේ බාල් නැටුම්වලින් හා නාස්තිකාර වියදම්වලින් ද අඩුවක් නැත. ඇතැම් අමාත්‍යාංශ මගින් රජයේ මුදල් කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරමින් විවිධ සංදර්ශන පවත්වයි. ඒ විතරක් නොව ප්‍රධාන දේශපාලන පක්ෂවලින් බිලියන ගණන් වියදම් කොට ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ප්‍රචාරක කටයුතු දැනටමත් ආරම්භ කොට ඇත.
ඒ විතරක් නොව මේ කාලය සල්ලි මළු ඒ මේ අත විසිවන කාලවකවානුවකි. රටේ ජනතාව ආර්ථික අර්බුදය හමුවේ විවිධ අභියෝග සමග පොරබඳිමින් සිටින ආකාරය ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් නිකුත්කොට ඇති ගෘහ ඒකක සමීක්ෂණ (2023) වාර්තාව මගින් අනාවරණය කොට ඇත. ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට පවුල් අතුරින් සියයට 22ක් ණයගැතිභාවයට පත්ව ඇති අතර ණයගැතිතාවයේ ඉහළම අනුපාතය වාර්තා වන්නේ උකස් කටයුතු සඳහාය. ණය ලබාගත් ප්‍රජාවගෙන් සියයට 31ක් ණය ලබාගෙන ඇත්තේ රන් භාණ්ඩ උකස් කිරීමෙනි. එමෙන්ම මෙරට පවුල් අතුරින් සියයට 22.3ක් ණය ලබාගෙන ඇත්තේ දෛනික ආහාර අවශ්‍යතා සපුරාගැනීම සඳහා බවද මෙකී වාර්තාවේ සඳහන් වේ. රජයේ හා පුද්ගලික බැංකුවලින් සියයට 21.9ක්, සමෘද්ධි ප්‍රජාමූල බැංකු මගින් සියයට 7.1ක්, මුදල් ණයට දෙන අයගෙන් සියයට 9.7ක්, මූල්‍ය හා ලීසිං ආයතනවලින් සියයට 8.7ක්, ණය ලබාගෙන තිබුණි.
එමෙන්ම ආර්ථික කටයුතු සඳහා සියයට 15.7ක්, නිවාස ගොඩනැඟිලි ඉදිකිරීම හා අලුත්වැඩියා කිරීම සඳහා සියයට 17ක්, සෞඛ්‍ය අවශ්‍යතාවයන් සඳහා සියයට 9.9ක්, කලින් ලබාගත් ණය පියවීම සඳහා සියයට 11.9ක් ණය ලබාගෙන තිබුණි.
ආර්ථික අර්බුදය හේතුවෙන් අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහා වැඩිපුර ණය ගැනීමට ගෘහ ඒකක යොමුවීම නිසා ණය බර වැඩිවී ඇති බවද මෙම වාර්තාව මගින් පෙන්වා දී ඇත. ණය ආපසු ගෙවීමට ඇති බැඳීම, ණය ආපසු ගෙවීමට නොහැකිවීම, ප්‍රමාද ගෙවීම් පැහැර හැරීම හෝ ණය මත යැපීම් වැනි හේතු නිසා ණය ආපසු ගෙවීමේ අභියෝග මතුවී ඇත. එමෙන්ම පවුල් ඒකකවල ණයගැතිභාවය ඉහළ මට්ටමක පැවතීම නිසා ඇතිවන ආතතිය හා මූල්‍ය පීඩනය මානසික යහපැවැත්මට ද බලපානු ලබන බව මෙම වාර්තාව මගින් පෙන්වා දී ඇත.
ඒ විතරක් නොව මෙරට පවුල්වලින් සියයට 60.5ක මාසික ආදායම අඩුවී තිබේ. මෙරට මුළු පවුල් සංඛ්‍යාවෙන් සියයට 91 ක පවුල්වල සාමාන්‍ය මාසික වියදම වැඩිවී තිබේ. මෙරට සමස්ත ජනගහනයෙන් සියයට 7ක් පමණ ආර්ථික අර්බුදය නිසා ඔවුන්ගේ සෞඛ්‍ය ප්‍රතිකාර ක්‍රමය වෙනස්කර ඇත. මේ නිසා මෙරට පාසල් අධ්‍යාපනයට වී ඇති බලපෑමද සුළුපටු නොවේ. පාසල් දරුවන්ගෙන් සියයට 54.9ක් මේ හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇත්තේය. මෙකී ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට පුද්ගලයන්ගෙන් සියයට 14.2 කගේ රැකියා අහිමිවී ඇත. කොටින්ම කිවහොත් ආර්ථික අර්බුදය හමුවේ ජනතාවගේ ආහාර වියදම සියයට 99.1කින් වැඩිවී ඇති අතර ප්‍රවාහන වියදම වැඩිවී ඇත්තේ සියයට 83කිනි. සෞඛ්‍ය වියදම සියයට 73.2කින් හා අධ්‍යාපන කටයුතු සඳහා වන වියදම සියයට 51.8කින් වැඩිවී ඇත.
ආර්ථික අර්බුදය නිසා මෙරට සමාජය තුළ විවිධ සමාජ ගැටලු නිර්මානය වී තිබේ. එය ආර්ථික අර්බුදයේ එක් පැතිකඩකි. ශ්‍රී ලංකා පොලිසිය මගින් 2023 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවට අනුව ඉකුත් වසර හයක කාලසීමාව තුළ ගෙවල් බිඳීම් හා කොල්ලකෑම්, මනුෂ්‍ය ඝාතන සහ බරපතළ තුවාල සිදුකිරීම් වැඩිම සංඛ්‍යාවක් සිදුවී ඇත්තේ 2023 වර්ෂයේ දීය. 2023 වර්ෂයේ දී බරපතළ තුවාල සිදුකිරීම් හා මනුෂ්‍ය ඝාතන 2030ක් වාර්තා වී තිබුණි. එමෙන්ම 2023 වර්ෂයේ මුල් මාස 10 තුළ වාර්තා වී තිබූ මනුෂ්‍ය ඝාතන 488න් 52ක් වෙඩි තැබීමෙන් සිදුවී මනුෂ්‍ය ඝාතන බවට අනාවරණය වී ඇත.
එමෙන්ම ඉකුත් වසර හයක කාලය තුළ ගෙවල් බිඳීම් හා කොල්ලකෑම් වැඩිම සංඛ්‍යාවක් 2023 වර්ෂයේදී වාර්තා වී ඇති අතර 2018 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ ගෙවල් බිඳීම් හා කොල්ලකෑම් වාර්තා වීම සියයට 50කින් වැඩිවී ඇත. 2022 වර්ෂයේ ගෙවල් බිඳීම් 8645ක් වාර්තා වී ඇති අතර 2023 වර්ෂයේදී එම සංඛ්‍යාව 12138 දක්වා සියයට 40කින් වැඩිවී ඇත. ඉකුත් වර්ෂයේ කොල්ලකෑම් 3150ක් වාර්තා වී තිබුණි. එමෙන්ම ගෙවල් බිඳීම් හා කොල්ලකෑම් විසඳීමේ අඩුම ප්‍රතිශතයක් වාර්තාවී ඇත්තේ ද 2023 වර්ෂයේ දීය. ගෙවල් බිඳීම් විසඳීමේ ප්‍රතිශතය 2018 වර්ෂයේ දී සියයට 60ක් පැවති අතර 2023 වර්ෂයේ දී එය සියයට 50 දක්වා පහත වැටී තිබුණි. කොල්ලකෑම් විසඳීම 2018 වර්ෂයේ දී සියයට 75ක් පැවතියද 2023 වර්ෂයේ දී එය සියයට 61 දක්වා අඩුවී තිබුණි.
රුපියල් ලක්ෂ පහට වඩා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් සිද්ධීන් 3875ක් 2023 වර්ෂයේදී වාර්තා වී තිබුණි. එමෙන්ම රුපියල් පනස්දහසකට වඩා වැඩි ගව සොරකම් 1682ක් සහ රුපියල් 50000කට වඩා වැඩි වටිනාකමින් යුතු දේපළ සොරකම් 6968ක් ඉකුත් වර්ෂයේ දී වාර්තා වී තිබුණි. දේපළ පිළිබඳ වැරදි වාර්තා වීම 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ දී සියයට 34කින් ඉහළ ගොස් තිබුණි. 2022 වර්ෂයේ දී දේපළ පිළිබඳ වැරදි 21568ක් වාර්තා වී තිබූ අතර 2023 වර්ෂයේ දී වාර්තා වී ඇති දේපළ වැරදි සංඛ්‍යාව 28859කි.
මෙකී සංඛ්‍යා දත්ත විශ්ලේෂණය කිරීමේ දී පැහැදිලි වන්නේ ආර්ථික අර්බුදය මෙරට විවිධ සමාජ ස්ථරවලට ද බලපා ඇති ආකාරයයි. එමෙන්ම මෙකී අපරාධ විසඳීම මෙන්ම අත්‍යවශ්‍ය මහජන සේවාවන් ඉටුකිරීමේදී පොලිස් නිලධාරීන්ගේ හිඟය දැඩි ලෙස බලපා තිබුණි. ශ්‍රී ලංකා පොලිසිය සඳහා අනුමත පොලිස් කොස්තාපල් තනතුරු සංඛ්‍යාව 60,000කි. 2023 වර්ෂය අවසන් වනවිට සිටින පොලිස් කොස්තාපල්වරු සංඛ්‍යාව 30909කි. ඒ අනුව පොලිස් කොස්තාපල්වරුන්ගේ පුරප්පාඩු 29,091ක් පැවතුණි. කෙසේ වුවද 2019 හා 2020 යන වර්ෂවලදී අනුමත සංඛ්‍යාව නොසලකා උසස්වීම් ලබාදීම නිසා පොලිස් සැරයන් තනතුරේ අතිරික්ත නිලධාරීන් සංඛ්‍යාවක් නිර්මාණය වී තිබුණි. අතිරික්තව ඇති පොලිස් සැරයන්වරුන්ගේ සංඛ්‍යාව 10,900කි. අතිරික්ත පොලිස් තනතුරු සංඛ්‍යාව පොලිස් කොස්තාපල්වරුන්ගේ තනතුරු සංඛ්‍යාවෙන් අඩු කළද තවදුරටත් පුරප්පාඩු වී පවතින පොලිස් කොස්තාපල් තනතුරු සංඛ්‍යාව 18,190කි. අනුමත පොලිස් කොස්තාපල් තනතුරු සංඛ්‍යාවෙන් සියයට 30ක පමණ විශාල පුරප්පාඩු සංඛ්‍යාවක් පැවතීම මහජන සේවාවන් පවත්වාගෙන යෑමේදී ගැටලු රැසක් නිර්මාණය වී ඇත.
එමෙන්ම කාන්තා පොලිස් කොස්තාපල් තනතුරේ අනුමත සංඛ්‍යාව 10000කි. එම තනතුරේ පවතින පුරප්පාඩු සංඛ්‍යාව 4020කි. අනුමත සංඛ්‍යාව නොසලකා පුරප්පාඩු ලබාදීම හේතුවෙන් පොලිස් සැරයන් තනතුරේ නිලධාරීන් 645 දෙනකු අතිරික්තව සිටිති. ඒ අනුව කාන්තා පොලිස් කොස්තාපල් තනතුරේ අනුමත සංඛ්‍යාවෙන් සියයට 34ක පමණ විශාල පුරප්පාඩු සංඛ්‍යාවක් පවතී. පොලිස් නිලධාරීන්ගේ විශාල හිඟයක් පැවතියද ප්‍රභූ ආරක්ෂක කොට්ඨාශයේ (2018-2022) සාමාන්‍ය වාර්ෂික වියදම රුපියල් මිලියන 4,342ක් වුවද ඉකුත් වර්ෂයේ (2023) ප්‍රභූ ආරක්ෂක වියදම රුපියල් මිලියන 5,833 දක්වා වැඩිවී ඇත.
ප්‍රභූ ආරක්ෂාව සැලසීමට අදාළ පොලිස්පතිගේ 2020 සැප්තැම්බර් මස 30 දිනැති අංක 2687/2020 දරන චක්‍ර ලේඛයට පරිබාහිරව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රභූ ආරක්ෂාව සඳහා නිලධාරීන් අනුයුක්ත කිරීමේ කමිටුව විසින් ප්‍රභූ ආරක්ෂකයන් යොදවා තිබුණි. මෙකී කමිටුව විසින් හිටපු ආණ්ඩුකාරවරුන්, හිටපු මන්ත්‍රීවරුන්, හිටපු ප්‍රධාන අමාත්‍යවරුන්, ආගමික නායකයන් හා වෙනත් ප්‍රභූන් හා විවිධ තැනැත්තන් සඳහා අනුමත සීමාව ඉක්මවා ප්‍රභූ ආරක්ෂකයන් වසර ගණනාවක සිට අනුයුක්ත කර සිටින අවස්ථා පැවති බවද විගණන වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම මේ අයුරින් චක්‍ර ලේඛනයේ නියමයන් යටතේ ප්‍රභූ ආරක්ෂාව සැලසිය යුතු ප්‍රභූන් වෙතද අනුමත සීමාව ඉක්මවා ප්‍රභූ ආරක්ෂකයන් වසර ගණනාවක සිට අනුයුක්ත කොට තිබුණි. ඒ සඳහා පවතින නෛතික ප්‍රතිපාදන කවරේද යන්න විගණනයට අනාවරණය වී නැත. එමෙන්ම චක්‍ර ලේඛයට පරිබාහිරව අනුයුක්තකර සිටින නිලධාරීන් වෙනුවෙන් ගෙවා ඇති වැටුප් හා දීමනා වියදම් ඇතුළු විශේෂ දීමනා පිරිමැසුම් දායක නොවන වියදම් බව ද විගණනය මගින් අනාවරණය කොට ඇත.
ප්‍රභූ ආරක්ෂක කොට්ඨාශය යටතේ පවතින පොලිස් කොට්ඨාශ 09 සඳහා 2022 ජනවාරි මස 01 වැනි දිනට නිලධාරීන් 3,894 දෙනකු අනුයුක්ත කොට සිටියහ. එහෙත් ඉකුත් වර්ෂයේ (2023) සැප්තැම්බර් මස 30 වැනිදින සිට අනුයුක්ත නිලධාරීන් සංඛ්‍යාව 4,859 දක්වා වැඩිකර තිබුණි.
ගෙවල් බිඳුම්, කොල්ලකෑම් හා අපරාධ වැඩිවී ඇත්තේ ආර්ථික අර්බුදය නිසාද මෙය සමාජ අර්බුදයේ තවත් එක් පැතිකඩක් ද මේ පිළිබඳ රුහුණු විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අංශයේ ආචාර්ය සුරංජිත් ගුණසේකර මහතා කීවේ මෙවැනි කථාවකි.
ඕනෑම සමාජයක සමාජ අර්බුද අවස්ථාවකදී සමාජ අපගාමී චර්යාවන් සිදුවෙනවා. ඒ සඳහා හොඳ ඉඩක් ලැබෙනවා. රටේ ඇති වූ අර්බුදයත් සමග සමාජ, ආර්ථික වශයෙන් බිඳ වැටීමක් දක්නට ලැබුණා. ආර්ථික අර්බුදයත් සමග ඇතිවන බලපෑම හැම ක්ෂේත්‍රයකටම දැනෙනවා. සමාජ අසහනය, සමාජ පීඩනය හමුවේ සමාජය පිළිනොගන්නා ක්‍රියාකාරකම්වලට ප්‍රවේශ වන ස්වභාවයක් දක්නට ලැබෙනවා. ගෙවල් බිඳුම්, කොල්ලකෑම් ඉහළ යෑම හරහා පෙන්නුම් කරන්නේ සමාජ ආර්ථික මූලයන්ගේ කඩා වැටීමයි. මෙකී ක්‍රියාවන් හා සම්බන්ධ පුද්ගලයන්ට චෝදනා කිරීම හා නීතිමය කටයුතු කිරීම තාවකාලික උත්තරයක් පමණයි. මෙවැනි මට්ටමකට පුද්ගලයන් පත්වෙන්නේ ඇයිද යන්න පිළිබඳ අපි උත්තර සෙවිය යුතුයි. පුද්ගලයන් ඒ මට්ටමට සමාජයට තල්ලු කිරීමට බලපෑම් කරන සමාජ ව්‍යුහයන්, ආයතනවල බලපෑම සෙවිය යුතුයි. මේ සඳහා දිගුකාලීනව විසඳුම් සෙවිය යුතු වෙනවා. වින්දිතයන්ට දෝෂාරෝපනය කිරීම එතරම් පලක් නැහැ. දිගුකාලීනව මෙවැනි අර්බුදයකින් ගෙඩ ඒමට නම් වඩාත් සුවදායී පරිසරයක් නිර්මාණය කිරීමට කටයුතු කළයුතුව ඇති බව හෙතෙම පවසයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්යවරුන්වන වසන්ත අතුකෝරළ මහතා මෙසේ කීවේය.
ආර්ථික අර්බුදයත් සමග 2022 වර්ෂයෙන් පසු ලංකාවේ ලක්ෂ පහකට දහයකට පමණ රැකියාවන් අහිමිවුණා. පහළ ආදායම් ලාභී පුද්ගලයන් තමයි ආර්ථික අර්බුදයට දැඩිව මුහුණදීලා ඉන්නේ. මොවුන්ට විකල්ප රැකියාවන් නැතිවුණා ආදායම් මාර්ග අහිමිවුණා. ඒ නිසා පහළ ආදායම් ලබන ඇතමුන් මෙවැනි සොරකම් හා කොල්ලකෑම්වලට යොමුවෙන්න පුළුවන්. පසුගිය කාලයේ ද්‍රරිද්‍රතාවය විශාල වශයෙන් වැඩිවුණා. ඕනෑම රටක දුප්පත්කම හා කොල්ලකෑම් අතර සෘජු සම්බන්ධතාවයක් තියෙනවා. ඕනෑම රටක ද්‍රරිද්‍රතාවය වැඩිවන විට සොරකම්, කොල්ලකෑම් ඉහළ යන්න පුළුවන්. පසුගිය කාලය තුළ රටේ සමාජ ආරක්ෂාව හරියට සිදුවුණේ නැහැ. පොලිසිය වුණත් වැඩිපුර ප්‍රභූ පංතියේ ආරක්ෂාව වෙනුවෙන් තමයි වැඩිපුර ක්‍රියාත්මක වෙන්නේ. මෙවැනි තත්ත්වයක් දකිනවිටත් අපරාධ වගේ දේවල් වැඩිවෙනවා. නීතියේ අධිපත්‍ය පිරිහීම, සමාජ ආරක්ෂාව හරියට ක්‍රියාත්මක නොවීම ආදී හේතු නිසා රටක අපරාධ වැඩිවෙන්න පුළුවන්කමක් තියෙනවා. සමාජ සංස්කෘතික හර පද්ධතීන් පිරිහීම, අධ්‍යාපනය කඩා වැටීම, ආදී කරුණු කාරණා අපරාධ වැඩිවීමට හේතුවිය හැකි බවද මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා කීවේය.