ගංවතුර ඇති වීම වැළැක්වීම සඳහා නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් කැලණි ගඟ දෙපස සිටින ජනතාව වෙනුවෙන් නව නගරයක් නිර්මාණය කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
මේ නව නගරය නිර්මාණය සඳහා රෝහල්, පාසල්, තට්ටු නිවාසවලින් සමන්විත සියලු පහසුකම් සහිත නගරයක් ඇති කිරීමට සැලසුම් කර තිබෙන අතර අනවසර ඉදිකිරීම්, ඉඩම් ගොඩ කිරීම් වැනි කරුණු මෙවැනි ගංවතුර තත්ත්වයන් ඇතිවීමට හේතු වී ඇති බව අනාවරණය වෙමින් තිබෙන බවද එනිසා ගංවතුර පාලනය කිරීම සඳහා අනවසර ඉදිකිරීම් සහ ඉඩම් ගොඩකිරීම් නැවැත්වීමට කැබිනට් ඇනුමැතිය ගැනීමට බලාපොරොත්තු වන බවද ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.
සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළේ අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් කොළොන්නාව ප්‍රදේශයේ ජනතාවගේ සුව දුක් සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (7) එක් වෙමිනි. ගං වතුරෙන් විනාශ වු ප්‍රදේශයේ නිවාස දැක බලා ගැනීමටද එක් වූ සාගල රත්නායක මහතා විපතට පත් ජනතාව වෙනුවෙන් කොළොන්නාව ශ්‍රී සම්බුද්ධරාජ පුරාණ විහාරයේ පැවති වෛද්‍ය සායනය වෙත ද ගොස් එම කටයුතු නිරික්ෂණය කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත, ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහත්වරුන් සහ කොළොන්නාව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන නියෝජිතයෝ සහ රාජ්‍ය නිලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.