පිළියන්දල මොරටුව පාර සුවාරපොළ ප්රදේශයේදී ඊයේ (2) ත්රිරෝද රථයක් සහ මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් වයෝවෘද්ධ අඹුසැමි යුවළකට බරපතළ තුවාලද පාසල් දැරියකට සුළු තුවාල සිදු වී ඔවුන්ගේ දිවි අනූනවයෙන් බේරී ඇතැයි පිළියන්දල පොලිසිය කියයි.
අනතුරින් බරපතළ තුවාල ලබා ඇත්තේ 68 හා 74 වියේ පසු වන අඹු සැමි යුවළකි. කොළලමුන්න හැඩිගම ප්රදේශයේ නිවෙසේ සිට වයෝවෘද්ධ යුවළ ත්රිරෝද රථයෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ සායනයකට සහභාගි වීමට යමින් සිටියදී පාසල් යෑමට බස් රථයක් බලාපොරොත්තුව මාර්ගයේ සිටි දැරියද එහි නංවාගෙන මොරටුව මාර්ගයේ පිළියන්දල දෙසට පැමිණෙමින් සිටියදී රාත්රී සේවා මුරය නිම කර නිවෙස කරා යමින් සිටි කර්මාන්තශාලා කළමනාකරු පැදවූ මෝටර් රථය මාර්ගයේ ප්රතිවිරුද්ධ දිශාවට ගොස් ත්රිරෝද රථයේ සහ මෝටර් රථයේ ගැටී ඇතැයි පොලිසිය සඳහන් කරයි. අනතුරත් සමඟ එම ස්ථානයට එක් රැස් වූ ප්රදේශවාසීන් තුවාල ලැබූවන් පිළියන්දල දිසා රෝහල වෙත යොමු කිරීමෙන් අනතුරුව බරපතළ තත්ත්වයේ සිටි වයෝවෘද්ධ යුවළ වැඩිදුර ප්රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත යොමු කිරීමට පියවර ගත් බව රෝහල් ප්රකාශකයෙක් පැවසීය. සුළු තුවාල ලද පාසල් දැරිය ප්රතිකාර ලබාගෙන මවුපියන් පැමිණි පසු රෝහලෙන් පිටව ගිය බව එම ප්රකාශකයා වැඩිදුරටත් පැවසීය.
අනතුරින් මෝටර් රථ දෙකටද අලාභ සිදු වී ඇත. සැකකාර මෝටර් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, කැස්බෑව මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. පිළියන්දළ පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති (පො.ප) සංජීව අලුත්ගෙදර මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ ස්ථානාධිපති (උ.පො.ප) ඩබ්.ඒ.ආර්. බොතේජු මහතාගේ මෙහෙයවීමෙන් (පො.කො) සේනාධීර (73297) මහතා පරීක්ෂණ පවත්වයි.