Local

රජයක වගකීම ව්‍යවසායකයන් බිහි කිරීම විනා ව්‍යාපාරවල නිරත වීම නොවේ

Friday, 19 April 2024 - 8:07 am

කේ.එස්.පී.ඒ. ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ නිපැයුම් අරඹමින් සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක පවසයි


රජයක් සිටිය යුත්තේ ව්‍යවසායකයන් බිහි කිරීමට සහ ඔවුන් දිරි ගැන්වීමට විනා ව්‍යාපාර කිරීමට නොවන බව සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක පැවැසීය. ඔහු මේ බව සඳහන් කළේ කේ.එස්.පී.ඒ. ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ නිෂ්පාදනය ආරම්භ කිරීමේ අවස්ථාවට (18) එක් වෙමිනි.

රජය ව්‍යාපාර කිරීමෙන් වැළකී සිටිය යුතු බව තමා පෞද්ගලිකව විශ්වාස කරන බවද එහිදී පැවැසූ ආණ්ඩුකාරවරයා ආයෝජකයන් දේශපාලනඥයන්ගෙන් ඈත් කර තබාගැනීම ව්‍යවසාය මත පදනම් වූ ආර්ථිකයකට ඉතා වැදගත් බවද කියා සිටියේය.

ආණ්ඩුකාර නවීන් දිසානායක එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය:

“මේ කර්මාන්ත ශාලාව සිරිමාවෝ බණ්ඩාරනායක යුගයේ ආරම්භ කළ ව්‍යාපෘතියක්. ඒ යුගය සමාජවාදි ආර්ථික රටාවකට ලෝකය නැඹුරුව තිබුණා. කොහොම වුණත් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විශ්වාස කළේ පෞද්ගලික ආයෝජනය දිරිගන්වන ක්‍රමවේදයක්. මේ තුළ තමයි මේ රටේ ව්‍යවසායකයන් නිර්මාණය වීම ආරම්භ වුණේ. ඒ තුළ තමා නිදහස් වෙළෙඳ කලාප ක්‍රමය මෙරට ව්‍යාප්ත කළේ. කොහොම වුණත් වර්තමාන ජනාධිපතිවරයා එදා කර්මාන්ත ඇමැති ලෙස රටේ ඇති කළ අවසන් වෙළෙඳ කාලාපය කොග්ගල කලාපයයි. ඉන් පසු අද වන තෙක් කිසිම වෙළෙඳ කලාපයක් බිහි වුණේ නෑ. අද ලෝක ආර්ථික බලවතා වීමට සිටින චීනයත් නිදහස් වෙළෙඳ කලාප ක්‍රමය අධ්‍යයනය කළේ අපෙන්. අපි ක්‍රිකට් සෙල්ලම් කිරීම ආරම්භ කළ යුගයේ ක්‍රිකට් ගැසුවේ ආරක්ෂිත හිස් ආවරණ නැතිව. එහෙම අපි එදා ක්‍රීඩා කරපු ලෝක කුසලාන තරගාවලියක මිත්‍ර වෙත්තමුණි සහ අනුර තෙන්නකෝන් ක්‍රීඩා කළා මතකයි. එහිදී ජෙෆ් තොම්සන් එවපු පන්දුවකට මිත්‍ර වෙත්තමුණිගේ හිස තුවාල වුණා. ඒත් අනුර තෙන්නකෝන් ලොකු පහරවල්වලට නොගිහින් පන්දුව නිවැරදි ආකාරයට ස්ථානගත කළ නිසා කඩුල්ලේ රැඳෙමින් ලකුණු රැස් කරන්න ඔහුට හැකි වුණා. මම හිතනවා අපේ රටට අවශ්‍ය වන්නේත් මේ මොහොතේ එවැනි කල් යල් බලා කටයුතු කළ හැකි නායකයෙක්.”

1978 වසරේදී මෙරට දෙවැනි කඩදාසි කර්මාන්ත ශාලාව ලෙස ඇරඹි ඇඹිලිපිටිය කඩදාසි කම්හල අකාර්යාක්ෂම පරිපාලනය හා විවිධ බලපෑම් මත 2003 වසරේදී වසාදමන ලදි. එසේ වසාදැමූ මේ කම්හල යළිත් 2011 වසරේදී ඇරඹීමට එවක රජය තීරණය කළද සීමිත මෙහෙයුමකින් අනතුරුව යළිත් 2012 වසරෙදී පූර්ණ වශයෙන් වසාදැමීමට ලක් විණි. එදා පටන් අක්කර 111යි රූඩ් 2ක් සහ පර්චස් 33ක භූමියකින් යුතුව තිබූ කෝටි ගණනක වටිනා සම්පත්වලින් සමන්විත වූ කර්මාන්ත ශාලාව වල්වැදී පැවතිණි.

මෙරට ප්‍රමුඛ පෙළේ නිෂ්පාදන ආයතනයක් වන අනුනයින් හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගම විසින් ඇඹිලිපිටිය කඩදාසි කම්හල තමන් වෙත ලබා ගැනීම සඳහා වන යෝජනාව රජයට ඉදිරිපත් කරන ලදි. ඒ යෝජනාව කෙරේ සාධනීය අවධානය යොමු කළ එවක පැවති රජය අනුනයින් හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගමේ අනුබද්ධ ආයතනයක් වන සීමා සහිත කොරියන් ස්පා පැකේජින් සමාගමට වසර 30 බදු පදනම මත ඇඹිලිපිටිය කඩදාසි කම්හල පැවරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඒ සඳහා කැබිනට් අනුමැතියද ගන්නා ලදි. ඒ අනුව කඩදාසි කර්මාන්ත ශාලාවක් පටන් ගෙන මෙහෙයුම් කටයුතු කරගෙන යෑම සඳහා ‘කේ.එස්.පී.ඒ. ඇඹිලිපිටිය පේපර් මිල්ස්’ නමින් නව සමාගමක් සංස්ථාගත කෙරිණි. අනුනයින් හොල්ඩිංග්ස් ආයතනය මේ සඳහා ඩොලර් මිලියන 16ක පමණ ආයෝජනයක් සිදු කර ඇත.

මේ අවස්ථාවට දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ, කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ශාන්ත වීරසිංහ ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.


Top Stories
wedivistara

අද සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරේ

wedivistara

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සුපිරි වෙළෙඳසැලකට මිලියන 2ක දඩයක්

wedivistara

බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශය​ට කඩා වැටෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි

wedivistara

නව පාප් වහන්සේ තේරී පත්වීම සංකේතවත් කරන සුදු දුමාරය පිටවෙයි

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT