Local

සංව­ර්ධනයේ ප්‍රති­ලාභ සැමට සමව ලැබෙන පරිදි විම­ධ්‍ය­ගත වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කර­නවා

Saturday, 13 January 2024 - 5:16 am

සංවර්ධනයේ ප්‍රතිලාභ සියලුදෙනාට සමානව ලැබෙන පරිදි විමධ්‍යගත වැඩසටහන් ක්‍රියාත්මක කරන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (11) ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ ඊයේ (11) පැවැති වැඩසටහනකට සහභාගී වෙමිනි. දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි 2024 වර්ෂයේ විමධ්‍යගත අය වැය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ සමාරම්භක රැස්වීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (11) පැවැත්විණ.

ප්‍රාදේශීය හා දිස්ත්‍රික්ක සම්බන්ධීකරණ කමිටු හරහා අදාළ සංවර්ධන ව්‍යාපෘති හඳුනාගෙන ක්‍රියාත්මක කරනු ඇති අතර, 2024 ජනවාරි 31 වන විට දිස්ත්‍රික් මට්ටමින් යෝජනා ලබා ගැනීම අවසන් කරන බවත්, අනුමත වූ ව්‍යාපෘති ජූලි 31ට පෙර අවසන් කළ යුතු බවත් මෙහිදී අවධාරණය කෙරිණි. දිස්ත්‍රික්ක 25 සඳහාම ව්‍යාපෘතිවලට විමධ්‍යගත අය වැය වැඩසටහන වෙනුවෙන් වෙන්වූ සම්පූර්ණ මුදල රු. මිලියන 11,250කි. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති අමාත්‍ය මණ්ඩල අනු කමිටුව මඟින් සමස්ත වැඩසටහනම අධීක්ෂණය කරනු ලබයි. ප්‍රාදේශීය සහ දිස්ත්‍රික්ක මට්ටමින් ප්‍රගතිය සතිපතා සමාලෝචනය කෙරෙන අතර, ජාතික මට්ටමේදී මහා භාණ්ඩාගාරයේ ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයට ලක්වනු ඇත. එම තොරතුරු අමාත්‍ය මණ්ඩල අනු කමිටුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සංවර්ධනයේ ප්‍රතිලාභ සියලු දෙනාටම සමානව ලැබෙන අයුරින් මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ජනාධිපතිතුමා ඇතුළු රජයේ අපේක්ෂාව බව, මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. දරිද්‍රතාවය, ජනගහනයේ ව්‍යාප්තිය, වර්ග සැතපුම් ප්‍රමාණය සලකා බලමින් දිස්ත්‍රික්කය තුළ සමතුලිත සංවර්ධනයක් කළ යුතු බවද ඔහු කියා සිටියේය. මේ සංවර්ධන වැඩසටහනට කිසිදු බාධාවක් සිදු නොවිය යුතුය යන්න නිලධාරීන්ට අවධාරණය කළ අග්‍රාමාත්‍යවරයා, එවැන්නක් සිදුවන්නේ නම් සම්බන්ධීකරණ කමිටු ප්‍රධානීන් ඒ බව වහා ජනාධිපති කාර්යාලය වෙත දැනුම්වත් කරන්නැයි විශේෂයෙන් දැනුම් දුන්නේය. ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළි‍ෙවළ හේතුවෙන් මේ වන විට රටේ ආර්ථිකය ස්ථාවර වෙමින් තිබෙන බව ද එබැවින් එම ආර්ථික ස්ථාවරත්වය ඉදිරියට ගෙනගොස් රජයේ සංවර්ධන ඉලක්කය ජය ගැනීමට සියලුදෙනා තවදුරටත් කැපවී කටයුතු කළ යුතු බව ද හෙතෙම අවධාරණය කළේය.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී සඳහන් කළේ, සංවර්ධන කටයුතු සඳහා මුදල් නොලැබෙන බවට චෝදනා එල්ල නොකර, දිස්ත්‍රික් සංවර්ධන කමිටුවලට සහභාගී වී සංවර්ධන යෝජනා ඉදිරිපත් කිරීමෙන් සියලු දෙනාටම අදාළ ප්‍රතිලාභ ලබා දිය හැකි බවයි. මේ වනවිට පළාත් පාලන ආයතන ක්‍රියාත්මක නොවන බැවින් එම ආයතන විසින් ක්‍රියාත්මක කරනු ලැබූ පළාත් සභා සංවර්ධන ව්‍යාපෘතිද මෙම වැඩපිළිවෙළටම අනුගත වන බවද, දැනට මෙහි නියාමන වැඩසටහන ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය. මේ රැස්වීමට අමාත්‍යවරු, ආණ්ඩුකාරවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ ජනාධිපති කාර්යාලයේ, අග්‍රාමාත්‍ය කාර්යාලයේ, මුදල් අමාත්‍යාංශයේ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ, ආණ්ඩුකාර කාර්යාලයන්හි ඇතුළු රාජ්‍ය ආයතන නිලධාරීහු සහභාගී වී සිටියහ.


Top Stories
wedivistara

දේශබන්දු තෙන්නකෝන්ට 19 වනදා විමර්ශන කමිටුවෙන් කැඳවීමක්

wedivistara

අද සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරේ

wedivistara

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සුපිරි වෙළෙඳසැලකට මිලියන 2ක දඩයක්

wedivistara

බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශය​ට කඩා වැටෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT