Local

කරාඬුගල පොලිසියේ PC තම සගයකු ඇතුළු 3ක් ඝාතනය කර දිවි නහගෙන

Monday, 05 August 2024 - 9:06 am

බිබිල, කරාඩුගල පොලිස් ස්ථානයේ රාත්‍රී උපසේවක ලෙස සේවයේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයකු ඊයේ (04) අලුයම ටී 56 වර්ගයේ අවිය රැගෙන පොලිස් ස්ථානයේ සිට කිලෝමීටර් 32ක් දුර අම්පාර, ඉගිනියාගල පිහිටි නි‍ෙවසකට ගොස් එහි සිටි එම පොලිස් ස්ථානයේම සේවයේ නිරත කොස්තාපල්වරයකු වෙඩි තබා ඝාතනය කර අනතුරුව තවත් නි‍ෙවසකට ගොස් මවකට හා දියණියකටත් වෙඩි තබා මරා දමා පොලිස් ස්ථානය ඉදිරිපිටට පැමිණ වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

මෙම කොස්තාපල්වරයා විසින් වෙඩි තබා ඝාතනය කර ඇති මව අවුරුදු 54ක් වයසැති තැනැත්තියක් වන අතර දියණිය අවුරුදු 17ක් වන බව පොලිසිය කියයි. මෙම මවත් දියණියත් සියදිවි හානිකරගත් පොලිස් කොස්තාපල්වරයාගේ අසල්වැසියන් බවත් දීර්ඝ කාලයක් තිස්සේ මෙම පවුල් දෙක අතර ඉඩම් ආරවුලක් තිබී ඇති බවත් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

සහෝදර පොලිස් නිලධාරියාට වෙඩි තැබීමට මුල්වී ඇති සිද්ධිය අනාවරණය නොවන අතර එම නිලධාරියාගේ සහ මෙම මවත් දියණියත් පදිංචි නිවාස අතර දුර කිලෝ මීටර් 13ක් වන බව පොලිසිය කියයි. පොලිස් නිලධාරියාව මරා දැමීමෙන් පසු කිලෝ මීටර් 13ක් පැමිණ මවත් දියණියත් ඝාතනය කර නැවත ඔහු පොලිසියට ගොස් ඇත්තේ තමා ගැන සොයන්නට එපා යැයි පවසමින් බිරියට දුරකතන ඇමතුමක් ද ලබාදීමෙන් අනතුරුව බව අනාවරණය වී ඇත. එහි දී ඔහු බිරියට පවසා ඇත්තේ තමාගේ බැංකු පොතේ ඇති මුදල් ලබාගෙන දරුවන් තිදෙනා බලා ගන්නා ලෙසය.

එම ඇමතුමෙන් කලබල වූ එම කොස්තාපල්වරයාගේ බිරිය ත්‍රිරෝද රථයකින් දරුවන් දෙදෙනෙක් ද රැගෙන පොලිස් ස්ථානය වෙත පැමිණ ඇති බවත් පොලිස් කොස්තාපල්වරයා එහි දී කලබල වී ළඟට නොඑන ලෙස බිරියට කෑගසා තර්ජනය කර වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බවත් පොලිසිය කියයි.

මෙම පොලිස් කොස්තාපල්වරයා රාජකාරියේ රැඳී සිටිය දී පොලිසියේ ප්‍රධාන ගේට්ටුවේ ආරක්ෂාවට සිටි සිවිල් ආරක්ෂක බළකා සෙබළාගේ ගිනි අවිය රැගෙන එම සිවිල් ආරක්ෂක නිලධාරියාගේම යතුරු පැදියේ නැ‍ඟී පොලිස් ස්ථානයෙන් පිටත්ව ගොස් ඇති බව සඳහන්ය. එසේ පොලිස් ස්ථානයෙන් ඔහු පිටව ගොස් ඇත්තේ අලුයම 2.05ට පමණ බව විමර්ශනයේ දී අනාවරණය වී ඇත. කිලෝමීටර් 32ක් දුර ගොස් කොස්තාපල්ට වෙඩි තබා ඇත්තේ අලුයම 2.45ට පමණි. එම ඝාතනයෙන් අනතුරුව නෙල්ලියද්ද පදිංචි මවත් දියණියත් ඝාතනය කර තිබෙන්නේ අලුයම 3.15ට පමණය. මෙම නි‍ෙවසේ වෙනදාට ඥාති දියණියක් සිටින බවත් ඇය මෙම අවස්ථාවේ දී එහි නොසිටි බැවින් ජීවිතය බේරී ඇති බව ද පොලිසිය සඳහන් කළේය.

මෙම නිලධාරියා පොලිස් ස්ථානය වෙත පැමිණ වෙඩි තබාගෙන ඇත්තේ අලුයම 4.10ට පමණ බව පොලිසිය කියයි.

ඝාතනය වූ පොලිස් කොස්තාපල්වරයා අම්පාර බී නව නගරයේ පදිංචිව සිටි විතානගමගේ ළහිරු උදාර නමැති අය බව පොලිසිය සඳහන් කරයි. අවුරුදු 43ක් වයසැති වසර 20ක සේවාකාලයක් ඇති නිලධාරියෙක් බවත් තිදෙනෙක් ඝාතනය කරමින් සියදිවි හානි කරගත් පොලිස් කොස්තාපල්වරයා වසර 14ක සේවා කාලයක් ඇති නිලධාරියෙක් බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ කරාඩුගල පොලිසියට අනුයුක්තව සේවයකරන ඉඟිනියාගල, රත්මල්ගහඇල්ල, නෙල්ලියද්ද පදිංචි පො.කො (75830) තුසිත කුමාර නමැති අයෙකි.

මෘත ශරීරය අධිකරණ වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා මොනරාගල දිස්ත්‍රික් රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර වෙඩි තැබීමට හෝ වෙඩිතබා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. මවත් දියණියත් ඝාතනය ඉඩම් ආරවුලක් මත සිදුවී ඇති බවට සැකකරන අතර පොලිස් කොස්තාපල්වරයා ඝාතනයට නිශ්චිත හේතුවක් අනාවරණය වී නැත. දින දෙකකට පෙර බස් රථ රියැදුරකුට පහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ඝාතනය වූ පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව පැමිණිල්ලක් ලැබී තිබී ඇති අතර එම පැමිණිල්ල සටහන්කර ගැනීමට උපසේවයේ සිට ඇතැයි පැවැසෙන්නේ සියදිවි හානිකරගත් පොලිස් කොස්තාපල්වරයාය. ඝාතනය වූ කොස්තාපල්වරයා එම පහරදීමට හේතුව ලෙස පවසා ඇත්තේ සිය බිරියගේ අතින් ඇල්ලූ බව පවසා ඇති බවත් එම පැමිණිල්ල විභාග කර ඇත්තේ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් බව ද පැවැසේ.

බස් රථ රියැදුරු එහි දී පවසා ඇත්තේ තමා එම නිලධාරියාගේ බිරියගේ අතින් ඇල්ලීමක් නොකළ බවත් පොලිසිය බොරු චෝදනා කරන බැවින් මොනරාගල පොලිස් අධිකාරිවරයාට පැමිණිලි කරන බවත්ය. “මට ලෙඩක් වැටෙයි ද දන්නේ නැහැ. පැමිණිල්ල ලියාගත්තේ නැහැ කියල” යැයි එහි දී වෙඩි තබාගෙන සියදිවි හානිකරගත් පොලිස් කොස්තාපල්වරයා පවසමින් සිට ඇති බවත් මිනී මරන්නට තරම් පැහැදිලි හේතුවක් ඒ හැරුණුකොට වාර්තා නොවන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

සියදිවි හානි කරගත් පොලිස් කොස්තාපල්වරයාගේ මරණය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය බිබිල වැඩබලන මහේස්ත්‍රාත් තක්ෂිලා සූරියආරච්චි මහත්මිය විසින් පැවැත්වීමට නියමිත අතර පශ්චාත් මරණ පරීක්ෂණය මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබිණි.


Top Stories
wedivistara

ඉහළ කොත්මලේ ජලාශයට පහළින් සිටින ජනතාවට විශේෂ දැනුම්දීමක්

wedivistara

උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනියි

wedivistara

පළාත් පාලන ආයතන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍ර නිකුත් කෙරේ

wedivistara

මත්කුඩු කිලෝ 3.6ක් සමඟ අයෙකු අත්අඩංගුවට

wedivistara

අයහපත් කාලගුණ තත්ත්වය අද සිට ක්‍රමයෙන් පහව යන ලකුණු

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

තුසිත හල්ලොලුවගේ රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT