Local

උසස් පෙළ ලියන දියණිය මෙලොව තනි කර අම්මාත් තාත්තාත් මඟමරු තුරුලට

Monday, 08 January 2024 - 9:51 am


වැස්ස නිසා ගෙදර තනියම ඉන්න එපා ඉස්සරහ ගෙදරට ගිහින් ඉන්න කියලා අම්මා කෝල් එකක් දුන්නා

මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් දියණිය පවසයි

“එදා ගෙදර එන අතරතුරේ ‘වැස්ස නිසා එන්න ටිකක් පරක්කු වෙනවා, තනියම ගෙදර ඉන්න එපා. ඉස්සරහ ගෙදරට ගිහින් ඉන්න’ කියා අම්මා කෝල් එකක් දුන්නා” යැයි ඇල්පිටිය අම්බලන්ගොඩ ප්‍රධාන මාර්ගයේ ඌරන්වල ප්‍රදේශයේදී කැබ් රියක යතුරුපැදියක් ගැටීමෙන් වූ අනතුරකින් මියගිය අඹුසැමි යුවළගේ වැඩිමහල් දියණිය වන සංජානි දිලෙන්යා ගුරුසිංහ (20) නමැති පාසල් ශිෂ්‍යාව පැවසුවාය.

මේ අනතුරින් මියගියේ බද්දේගම හල්පාතොට ප්‍රදේශයේ පදිංචි ප්‍රසන්න ගුරුසිංහ (42) සහ දහනායක මුදියන්සේලාගේ ගංගා නිල්මිණි (38) නමැති අඹුසැමි යුවළකි. මියගිය යුවළගේ හදිසි මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක මහේෂ් ධර්මරත්න මහතා විසින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදී ඊයේ (7) සිදු කරන ලදි.

එහිදී සාක්ෂිකාරිය තවදුරටත් සාක්ෂි දෙමින් මෙසේද කීවාය:

“මියගොස් ඇත්තේ මගේ අම්මා සහ තාත්තා. මා අම්පේගම විද්‍යාලයේ ඉගෙනුම ලබනවා. මෙවර අ.පො.ස උසස්පෙළ විභාගයට පෙනී සිටිනවා. මල්ලී ඒ පාසලේම 7 වැනි ශ්‍රේණියේ ඉගෙන ගන්නවා. අම්මා විදේශ රැකියාවකට යන අපේක්ෂාවෙන් මතුගම ප්‍රදේශයේ ආයතනයක පුහුණුව ලබමින් සිටියා. පසුගිය 6 දා පුහුණුව අවසන් නිසා අම්මා එක්කගෙන එන්න තාත්තා යතුරුපැදියෙන් ගියා. නිවෙසට එන අතරේ අම්මා මට කතා කරලා කිවුවා වැස්ස නිසා ටිකක් පරක්කු වෙනවා, ඒ නිසා ගෙදර තනියම ඉන්න එපා, ඉස්සරහ ගෙදරට ගිහින් ඉන්න කියලා. රෑ 9.00ට විතර පොලිසියෙන් දැනුම් දුන්නා අම්මා සහ තාත්තා අනතුරකට ලක් වෙලා ඇල්පිටිය රෝහලට ඇතුළත් කළා කියලා. නැවත පොලිසියෙන් කිවුවා මව හා පියා කරාපිටිය රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ බව. කරාපිටිය රෝහලේදී මව හා පියා මියගොස් ඇති බව දැනගත්තා.”

අනතුරට අදාළ කැබ් රිය පදවා ඇත්තේ ව්‍යාපාරිකයකු වන අතර, ඔහු මේ අනතුරින් පසු කැබ් රිය නොනවත්වා ධාවනය කොට ඇති බව පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී ඇත. ඔහු කැබ් රිය නිවෙස තුළ දමාගොස් ඇති අතර, පසුව පොලිසිය විසින් එය පොලිසියට රැගෙනැවිත් තිබේ. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ පවත්වන අතර, ඔහු පෞද්ගලික රෝහලකට ඇතුළත් වී ඇති බවද පැවසේ. ව්‍යාපාරිකයා පැදවූ කැබ්රථය කුරුදුගහහැතැප්ම දෙස සිට ඇල්පිටිය දෙසට ධාවනය වෙමින් තිබි ඇති අතර අඹු සැමි යුවළ ගමන්ගත් යතුරුපැදිය ඇල්පිටිය දෙස සිට කුරුඳුගහහැතැප්ම දෙසට ධාවනය වෙමින් තිබී ඇත. කැබ් රිය හා යතුරුපැදිය එකිනෙක ගැටීමෙන් මේ අනතුර සිදු වී තිබේ. යතුරුපැදියෙන් ගමන්ගත් යුවළ කැබ් රියේ ගැටීමෙන් පසු දෙපසට විසි වී ගොස් ඇති බවද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මියගිය අඹුසැමි යුවළගේ පශ්චාත් මරණ පරීක්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය යූ.සී.පී. පෙරේරා මහතා විසින් සිදු කළ අතර, අනතුරට අදාළ කැබ් රියේ රියැදුරු තමා හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ හදිසි මරණ පරීක්ෂකවරයා මාර්ග අනතුරකින් අඹු සැමි යුවළගේ සිරුරුවලට වූ බහුවිධ තුවාල නිසා මරණය වී ඇති බව තීන්දු කළේය.

හිනිඳුම – රවින්ද්‍ර ලියනගේ, ගාල්ල – නන්දසිරි වැලිගමගේ


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT