නොකළ වරදක් භාර ගන්නැයි ඉහළින් ආ බලපෑම් ගැන තැවුලින් සිටි යුද හමුදාවේ තරුණ දෙවැනි ලුතිනන්වරියක නුවර-කොළඹ අන්තර් නගර දුම්රියේ ගැටී මියයාමේ සිදුවීමක් ගැන පරීක්ෂණ ආරම්භ කර තිබේ. මේ කියන දෙවැනි ලුතිනන්වරිය ඊයේ (7) උදේ මහනුවර සිට කොළඹ බලා ගමන් කළ අන්තර් නගර ශීඝ්‍රගාමී දුම්රියේ ගැටී මරණයට පත් වූ බව පරීක්ෂණ පවත්වන මීරිගම පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ හිඟුරක්ගොඩ යුද හමුදා කඳවුරක සේවයේ නියුතුව සිටි මීරිගම ලින්දර පමුණුවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක වූ ගමරාලලාගේ නිෂ්මි හසාරා ගමගේ නමැති 23 හැවිරිදි අවිවාහක තරුණියකි.
මියගිය තරුණිය දෙවසරකට ඉහතදී යුද හමුදාවේ දෙවැනි ලුතිනන්වරියක ලෙස සේවයට එක්ව ඇති බවද ඉකුත් 29 දින නිවාඩු ලබා නිවෙසට පැමිණි ඇය පසුදිනම පරීක්ෂණයක් සඳහා දියතලාව කඳවුරට කැඳවා ඇති අතර පසුව වෙනත් දිනයක් ලබා දී ඇති බවද මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත.
ඒ අනුව ඇය 4 දා හිඟුරක්ගොඩ කඳවුරට ගොස් නිල ඇඳුම් ලබාගෙන පසු දින දියතලාව කඳවුරේදී අදාළ පරීක්ෂණයට පෙනී සිට ඇත. එදින රාත්‍රියේම ගණේමුල්ල වෙසෙන සිය සොහොයුරාගේ නිවෙසට පැමිණි ඇය පසුව නිවෙසට පැමිණ සිටි අතරතුර ඊයේ (7) උදේ මෙසේ දුම්රියේ ගැටීමෙන් බරපතළ තුවාල ලබා මරණයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
අනතුර හේතුවෙන් දෙවැනි ලුතින්වරියගේ දෙපා ඉණ ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම වෙන් වී ඇති අතර, ඇයගේ සිරුරේ කොටස් මීරිගම දුම්රිය ස්ථානයේ තිබියදී පරීක්ෂාවට ලක් කළ මීරිගම හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය තුසිත ප්‍රමෝද් විජේවර්ධන මහතා එහිදී මියගිය අයගේ මව වන කේ.ටී. මානෙල් ශ්‍රියාලතා (56) මහත්මියගේ සාක්ෂි සටහන් කරත්තේය. එහිදී උපලුතින්වරියගේ මව මෙසේ පැවසුවාය:
“දියණිය නිවාඩු ආ දවසේම රාත්‍රියේ පරීක්ෂණයක් සඳහා දියතලාවට එන්න කියා පණිවිඩයක් ලැබුණා. ඇය එහාට මෙහාට කතා කිරීමෙන් පස්සේ ඒ සඳහා වෙනත් දිනයක් ලැබුණා. දියණිය පසුගිය දෙසැම්බර්වලදී වැඩිදුර පුහුණුවක් සඳහා හම්බන්තොට ප්‍රදේශයට ගොස් සිටියදී කඳවුරේ පැවති බඩු ගණන් ගැනීමේ පරීක්ෂණයකට ඇය සහභාගි වූ බවට චෝදනා කර තිබුණා. ඇය කිවුවේ ඒ පරීක්ෂණයට තමා සහභාගි නොවූ බවයි. ඒ අනුව ඇය පසුව 5 දා දියතලාව කඳවුරේ පරීක්ෂණයට පෙනී සිටියා. ඇය එහි සිට මට කතා කර පැවසුවේ අදාළ ලේඛනයේ ඇති අත්සන තමාගේ නොවන බවයි.