Local

බටඅත උද්‍යානයේ පැවැත්වෙන AgriTech-24 කෘෂි තාක්ෂණික ප්‍රදර්ශනය අදින් අවසන්

Tuesday, 05 March 2024 - 8:18 am

බටඅත කෘෂි තාක්ෂණික උද්‍යානයේදී පැවැත්වෙන AgriTech- 24 කෘෂි තාක්ෂණික ප්‍රදර්ශනය නැරඹීමට විශාල පිරිසක් පසුගිය තෙදිනේ පැමිණි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. පසුගිය 02 වැනිදා ආරම්භ වූ මෙම කෘෂි තාක්ෂණික ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි (05). මෙය පෙරවරු 10 සිට රාත්‍රි 07 දක්වා ප්‍රදර්ශනය පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ගොවි ජනතාව, පාසල් දරුවන් මෙන්ම විදේශීය සංචාරකයන් රැසක් ද මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණීම සුවිශේෂී විය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ සියලුම ආයතන මෙන්ම පෞද්ගලික අංශය විසින් ද සකස් කරන ලද ප්‍රදර්ශන කුටි 150කට අධික ප්‍රමාණයක් මෙම ප්‍රදර්ශන භූමියේ ස්ථාපිත කර ඇති අතර, සෑම ප්‍රදර්ශන කුටියකම පාහේ ‘කෘෂිකර්මාන්තයේ ඉදිරි අභියෝග ජයගැනීමට නම් නව කෘෂි තාක්ෂණය වෙත රටේ සියලුම ගොවීන් ගමන් කළ යුතුය ‘ තේමාව පිළිබිඹු කරමින් තම සේවා කටයුතු ප්‍රදර්ශනය කර තිබේ.

නව කෘෂි තාක්ෂණය, නව බීජ වර්ග, නව බීජ හා අත්හදාබැලීම් මඟින් නිපදවන ලද කෘෂිකාර්මික නිෂ්පාදන, පැළ නොමිලේ බෙදා දීම, පළිබෝධ හානි වළක්වාගැනීම, ඩ්‍රෝන තාක්ෂණය කෘෂිකර්මාන්ත සඳහා යොදා ගැනීම, අපනයනය ඉලක්ක කර ගත් වගාවන්, ගොවීන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් රැසකින් සමන්විතය.

ඒ අනුව සමාරම්භක දිනය වන පසුගිය 02 වැනි දින කෘෂිකර්ම දිනය ලෙසත්, දෙවන දිනය වන පෙරේදා (03) පශු සම්පත් සංවර්ධන දිනය ලෙසත්, ඊයේ (04) දිනය ග්‍රාමීය සංවර්ධන දිනය ලෙසත්, අවසන් දිනය වන අද (05) වැවිලි කර්මාන්ත දිනය ලෙසත් නම් කර තිබිණි. මේ සෑම දිනයකම ආරම්භයේ පටන් අවසානය දක්වාම ඇමැති මහින්ද අමරවීර මහතා මෙම ප්‍රදර්ශනයේ පැවැත්වෙන සියලු වැඩසටහන්වලට සහභාගි වෙමින්, පවතින ගැටලු සඳහා විසඳුම් දෙමින් කටයුතු කිරීම විශේෂත්වයකි.එහිදී ඇමැතිවරයා වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්වීය.

“මෙරට කෘෂිකර්මාන්තයේ ඉදිරි අභියෝග ජයගැනීමට නම් නව කෘෂි තාක්ෂණය මෙරට ගොවීන්ට හඳුන්වාදීමේ වැඩපිළිවෙළ පුළුල් කළ යුතුයි. විශේෂයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අය-වැය ලේඛනය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළ පරිදි සුහුරු කෘෂිකාර්මික පිළිවෙත් ගොවි ජනතාවට හුරු කරවීමත්, තරුණ ප්‍රජාව කෘෂි කර්මාන්තයට ආකර්ෂණය කර ගැනීමත් ඉලක්ක කරමින් සියලු වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. මේ වන විට සහලින් ස්වයංපෝෂණය වීමට අපට හැකිවූවාක් මෙන් අර්තාපල්, ලොකු ලූනු, මිරිස් සහ බඩඉරිඟු ස්වයංපෝෂිත මට්ටමට ළඟාවීමත්, අපනයන ඉලක්ක කර ගනිමින් එළවළු සහ පලතුරු නිෂ්පාදනය ඉහළ නැංවීමත් සිදු කරනවා.”

රාජ්‍ය ඇමැතිවරුන් වන ඩී. බී. හේරත්, මොහාන් ප්‍රියදර්ශන සිල්වා, කාදර් මස්තාන් මහත්වරුන් ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමල් රාජපක්ෂ, දුමින්ද දිසානායක මහත්වරුන් ඇතුළු කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ සියලුම ආයතනවල නිලධාරීහු ද මේ වැඩසටහනට සහභාගිවී සිටියහ.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT