ශ්‍රී ලංකාවේ දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නංවමින් කිරිපිටි ආනයනය සඳහා වැය කරනු ලබන සැලකිය යුතු පිරිවැය අවම කිරීමේ අරමුණින් අදියර කිහිපයක් යටතේ කිරි ගවයන් ආනයනය කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නිකුත් කළ පළමු විශේෂ විගණන වාර්තාවේ නිර්දේශ නොසලකා නැවතත් කිරි ගවයන් ආනයනය කිරීම හේතුවෙන් රුපියල් 2,110,302,436ක මුදලක් නිෂ්කාර්ය වියදමක්ව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විශේෂ විගණන වාර්තාවක දැක්වෙයි. මුල් අදියර යටතේ ආනයනය කරන ලද කිරි ගවයන් පිළිබඳ විශේෂ විගණන වාර්තාව 2018 මැයි 04 වැනිදා ජාතික විගණන කාර්යාලය මඟින් නිකුත් කර තිබිණි. එම විශේෂ විගණන වාර්තාවෙන් ඇති වූ ගැටලු හා අලාභ හැඳිනගෙන ඒ සඳහා නිරීක්ෂණත්, එම තත්ත්වයන් නිවැරදි කරගැනීම සඳහා නිර්දේශත් ලබා දී තිබිණි.
නමුත්, ඒ පිළිබඳව නොසලකා 03 වැනි අදියරේ දෙවැනි පියවර යටතේ කිරි ගවයන් ආනයන කටයුතු ආරම්භ කර තිබුණි. එසේම මුල් අදියරයන් සම්බන්ධයෙන් විවිධ ගැටලු ඇති වී තිබියදී හා වර්ෂ 10කට පමණ පෙර තෝරා ගන්නා සැපයුම්කරු වූ ඔස්ට්‍රේලියාවේ වෙලාර්ඩ් රූරල් එක්ස්පෝර්ට් සමාගමෙන්ම නැවත ප්‍රසම්පාදනයක් සිදු නොකර කිරි ගවයන් ආනයනය කිරීම ගැටලුසහගත වූ බවත් මෙම විශේෂ වාර්තාවෙන් පෙන්වා දී තිබේ.
2018 වර්ෂයේදී එක්සත් ජනපද ඩොලර් 8,099,739ක් වටිනා කිරි දෙනුන් 2,500ක් පමණක් ආනයනය කිරීමට සැලසුම් කර තිබියදී එම වර්ෂයේදී කිරි දෙනුන් 15,000ටම අදාළව මුළු කොන්ත්‍රාත් වටිනාකමින් 20%ක අත්තිකාරම් මුදල වූ එක්සත් ජනපද ඩොලර් 11093108 ( රුපියල් 1,749,672,697) මුදලක් සැපයුම්කරුට ගෙවා ඇත. නමුත් ඒ වෙනුවෙන් කිසිදු ප්‍රතිලාභයක් 2025 පෙබරවාරි 27 වන විට ද ශ්‍රී ලංකා රජයට ලැබී නොතිබුණි.
තවද, එම අත්තිකාරම වෙනුවෙන් පිළිගත හැකි කාර්යසාධනය සුරක්ෂණයක් තබාගැනීමට ග්‍රාමීය ආර්ථික අමාත්‍යංශය කටයුතු කර නොතිබුණි.
කාර්යසාධන සුරක්ෂණයක් නොමැති වීම හේතුවෙන් එලෙස කිසිදු ප්‍රතිලාභයක් නොමැතිව විදේශ සමාගමකට ගෙවූ නිෂ්කාර්ය වියදම යම් ලෙසකින් ආවරණය කර ගැනීමට තිබූ අවස්ථාව ද අහිමිව ඇත.
මීට අමතරව නිසි අධ්‍යයනයකින් තොරව හා අදාළ මූලික කාර්යයන් ඉටු කිරීමට පෙර ගෙවන ලද රුපියල් 1,749,672,669ක මෙම අත්තිකාරම් මුදල නැවත අයකර ගැනීමට ප්‍රමාණවත් පියවර ගෙන ඇති බවට කරුණු විගණනයට නිරීක්ෂණය නොවුණි.
එලෙසම 03 අදියරෙහි එක පියවර යටතේ ආනයනය කරන ලද කිරි ගවයන්ගේ භාරකාර කිරි ගොවීන් ද ගැටලු රාශියකට මුහුණදී ඇති බැවින් එම ගොවීන් වෙනුවෙන් ද මූල්‍ය පහසුකම් සැලසීම අවශ්‍ය බව සඳහන් කරමින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ද ඉදිරිපත් කර ඇත.
ඒ අනුව නිෂ්කාර්යව ගෙවන ලද ඉහත සඳහන් අත්තිකාරම් මුදල හා එම මුදල ගෙවීමේදී විදේශ හුවමාරු අලාභය ද සමඟ මුළු නිෂ්කාර වියදම වූ රුපියල් 2,110,302,436ට අමතරව මෙලෙස කිරි ගොවීන් නඟාසිටුවීම සඳහා ද රජයට වැය බරක් දැරීමට සිදුවී තිබුණි.
ඉදිරියේදී ද මෙම ණය මුදල පියවීමේදී පොලී වියදම් සහ විදේශ විනිමය හුවමාරු අලාභයක් දැරීමට සිදුවිය හැකි බව ද එම විගණන වාර්තාවෙන් පෙන්වා දි තිබේ.
නිෂ්කාර්ය වූ අත්තිකාරමක් ගෙවීම සම්බන්ධයෙන් අදාළ නිරීක්ෂණයන් නිර්දේශ හා අනුමැතීන් ලබාදුන් පාර්ශ්ව සම්බන්ධයෙන් නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගැනීමටත්, එලෙස නිෂ්කාර්ය ලෙස ගෙවා ඇති අත්තිකාරම් මුදල සැපයුම්කරුවන්ගෙන් නැවත අය කරගැනීමට කටයුතු කරන ලෙසත්, එසේ අය කරගැනීමට නොහැකි නම් මෙම මුදල සැපයුම්කරුට ගෙවීමට දායකත්වය දක්වන ලද පාර්ශ්වයන්ගෙන් අය කරගැනීමට අවශ්‍ය ක