Local

නතරව තිබූ මෙරට සංවර්ධනය නැවත ආරම්භ කළේ ජනපති රනිල්

Sunday, 18 February 2024 - 12:52 pm

කොවිඩ් සහ ආර්ථික අර්බුදය හේතුවෙන් වසර තුනකට අධික කාලයක් නතරව තිබූ මෙරට සංවර්ධනය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නැවත ආරම්භ කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.

ඔහු අවධාරණය කරන්නේ සංවර්ධන වැඩසටහන් සිදු කිරීමේදී රාජ්‍ය යන්ත්‍රණයේ උපරිම සහයෝගය අපේක්ෂා කරන බවයි.

පළාතට, දිස්ත්‍රක්කයට හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ගැලපෙන සංවර්ධන ව්‍යාපෘති හදුනා ගැනීම දිස්ත්‍රික් සම්බන්ධිකරණ හා ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවල වගකීම බවද සඳහන් කළ ඇමතිවරයා එම සංවර්ධන කටයුතු හදුනා ගැනීමේදී මහජන අදහස් හා යෝජනා මගින් එය සිදු කළ යුතු බවද කියා සිටියේය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ බව සදහන් කළේ මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී කදුකර දශකය සංවර්ධන වැඩසටහන පිළිබඳව නිළධාරීන් දැනුවත් කිරීමේ අවස්ථාවට සිකුරාදා (16) දින සහභාගි වෙමින්ය. එය පැවැත්වුණේ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීය.

මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව පැවැත්වුණේ එහි සම සභාපතිවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ හා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ.ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.
ජුලි මස 31 වැනිදාට අවසන් කිරීමට හැකි ව්‍යාපෘති පමණක් සිදු කරන ලෙසද අමාත්‍යාවරයා මෙහිදී අවධාරණය කළේය.

කඳුකර දශකය වැඩසටහන මෙම වසර තුළ දිස්ත්‍රික්ක 10 ක ක්‍රියාත්මක කෙරේ. මහනුවර, මාතලේ, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, මාතර, ගාල්ල, කලුතර, බදුල්ල හා කුරුණෑගල එම දිස්ත්‍රික්ක වේ.

කදුකර දශකය වැඩසටහන දිස්ත්‍රික්ක 10 හි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 89 ක ග්‍රාම නිළධාරී වසම් 4,498 ක ක්‍රියාත්මකය. මේ සදහා තෝරාගෙන ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 200 ට වඩා වැඩි උසකින් පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වේ.

මෙහිදී අදහස් දක්වමින් ඇමතිවරයා සදහන් කළේ මෙම වැඩසටහන මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල 09 ක, ග්‍රාම නිළධාරී වසම් 409 ක ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි. එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වන්නේ විල්ගමුව, උකුවෙල, නාවුල, පල්ලෙපොල, යටවත්ත, ලග්ගල, පල්ලේගම, අඹන්ගඟ කෝරලේ, මාතලේ සහ රත්තොටයි.

මාතලේ දිස්ත්‍රික්කය සදහා සංවර්ධන අරමුදල් වෙන් කෙරෙන ආකාරය පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී නිළධාරීන් දැනුවත් කළේය. මාතලේ දිස්ත්‍රික්කයේ කදුකර දශකය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 900ක් වෙන් කර ඇත.

කඳුකර දශකය නමින් දස අවුරුදු බහුකාර්ය ග්‍රාමීය හා ප්‍රජා සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත්තේ මෙරට කඳුකර ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සදහායි. මෙම වැඩසටහන සදහා මෙවර අයවැයෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය වෙත වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 10,000 කි. මේ යටතේ එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකට රුපියල් මිලියන 100 බැගින් හිමිවේ.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සදහා ප්‍රධාන සංවර්ධන කේෂ්ත්‍ර 10 ක් හදුනාගෙන තිබේ. එනම් ජීවනෝපාය, වෙළදපොළ සංවර්ධනය හා සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය, අධයාපනය, පානීය ජල පහසුකම්, කෘෂි හා සුළු වාරිමාර්ග, විදුලිබල හා පුනර්ජනනීය, දුරකතන හා අන්තර්ජාල, සෞඛ්‍ය හා සනීපාරක්ෂක, පරිසර සංරක්ෂණය හා ආපදා කළමණාකරණය සහ නිවාස පහසුකම් වැඩිදියුණු කිරීමයි. කඳුකර ප්‍රදේශවල ජීවත්වන වතු ආශ්‍රිත ප්‍රජාවගේ ජන ජීවිතය නඟා සිටුවීමට කඩිනම් හා සැලසුම් සහගත ප්‍රවේශයක් ලබා ගැනීම මෙම වැඩසටහනේ අපේක්ෂාවයි.
මෙම ව්‍යාපෘතිය සඳහා දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය කමිටුවල එකඟතාවය ලැබීමෙන් පසුව දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ පූර්ණ මැදිහත්වීම හා සෙසු රාජ්‍ය ආයතන හා ප්‍රදේශීය කාර්යාල පූර්ණ සහයෝගය ඇතිව ඒකාබද්ධ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කෙරේ. ජනාධිපති කාර්යාලය, මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය විසින් මෙම වැඩසටහන අධීක්ෂණය කරනු ලැබේ.

මෙම අවස්ථාවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද, මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න යන මහත්වරුන් සහ රාජ්‍ය නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT