Local

ජනපතිවරණ සමයේ රනිල් දුන් මත්පැන් බලපත් පිළිබඳ විස්තර උසාවියට ඉල්ලයි

Wednesday, 04 June 2025 - 8:48 am

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සුරාබදු පනතට පටහැණිව යමින් නව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම මඟින් මුදල් ඇමතිවරයා ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් විසින් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීරණය කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (03) අවසර ලබා දුන්නේය.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ 2024 ජූලි මස 26 වැනිදා සිට ජනාධිපතිවරණය පැවැත්වූ 2024 සැප්තැම්බර් මස 24වැනිදා තෙක් නිකුත් කළ මත්පැන් බලපත්‍රවලට අදාළ තොරතුරු සහ 2024 වසර තුළ අලුතින් නිකුත් කළ මත්පැන් බලපත්‍රවලට අදාළ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වත්මන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට නියම කෙරිණ.

අදාළ පෙත්සම් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා, මහින්ද සමයවර්ධන යන මහත්වරුන් ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් විසින් මෙම නියෝගයන් කරන ලදි.

මාතලේ ප්‍රදේශයේ පදිංචි තංගවේලු ධනේන්දරාජා ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ගොනු කර තිබුණි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ඒ. ගුණසිරි, අතිරේක සුරාබදු කොමසාරිස් ඒ.එම්.පී. අරම්පල, නියෝජ්‍ය කොමසාරිස්වරුන් වන සී.ජේ.ඒ. වීරක්කොඩි, යූ.ඩී.එන්. ජයවීර සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා, අල්ලස් කොමිසමේ සභාපතිවරයා ඇතුළු 39 දෙනෙකු පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටිති.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ ඉකුත් ජූලි මස 26 වැනිදා සිට ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැති සැප්තැම්බර් මස 21 වැනිදා අතර කාලසීමාව තුළ වගඋත්තරකරුවන් විසින් සුරාබදු පනතේ විධිවිධානයන්ට පටහැණිව යමින් මත්පැන්හල් බලපත්‍ර ගණනාවක් නිකුත් කර ඇති බව පෙත්සම්කාර පාර්ශ්වයන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන සංජීව ජයවර්ධන සහ සාලිය පීරිස් යන මහත්වරු අධිකරණය හමුවේ සඳහන් කළහ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතාගේ 19 හැවිරිදි පුතුට සහ තවත් දේශපාලනඥයකු ට එලෙස බලපත්‍ර ලබා දී ඇති බව ද එහිදී සඳහන් කෙරිණ. ඔවුන්ගේ ඥාතීන්, හිතවතුන් සහ ආධාරකරුවන් සඳහා මෙම බලපත්‍ර නිකුත් කර ඇති බවට ද අදාළ මුදල් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදවන බවට ඒ වන විට තොරතුරු ලැබී ඇති බව මත්පැන් බලපත්‍ර ලාභීන්ගේ සංගමය විසින් මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දුන් බවද ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා එහිදී සඳහන් කළේය.

ජනාධිපතිවරණයේදී සහාය ලබා ගැනීමේ යටි දේශපාලනය අරමුණකින් යුක්තව මෙම බලපත්‍ර නිකුත් කර ඇති අතර සුරාබදු පනතේ විධිවිධානයන් මගහැර අත්තනෝමතික සහ අයුක්ති සහගත අයුරෙන් එම ඒවා නිකුත් කර ඇති බව එහිදී ජනාධිපති නීතිඥවරු පෙන්වා දුන්හ. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය සඳහන් කළේ මෙම පෙත්සම් සම්බන්ධයෙන් තමන් විරෝධය පළ කරන බවය.

මෙම එක් පෙත්සමක් කාලාවරෝධීව ඉදිරිපත් කර ඇති බවද ඇය පෙන්වා දුන්නාය.

එසේම පෙත්සම්කරුවන් විසින් අධිකරණයට කරුණු සඟවා මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇති බව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළාය. පෙත්සම් මඟින් පෙන්වා දී ඇති සුරාබදු රෙගුලාසි මේ වනවිට කල් ඉකුත් වී ඇති අතර නව රෙගුලාසි හඳුන්වා දී ඇති බවද ඇය පෙන්වා දුන්නාය.

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි සෙසු නීතිඥවරු ද අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළහ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල මෙම පෙත්සම් මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානයට යොමු විය යුතු කරුණක් මතුකර ඇති බැවින් විභාගයට ගැනීමට අවසර ලබා දෙන බව තීරණය කළේය.

තොරතුරු ලබා දෙන ලෙස නිකුත් කරන ලද අතුරු නියෝගය අනුව කටයුතු කරන ලෙස වත්මන් සුරාබදු කොමසාරිස්වරයාට නියම කළ අතර පෙත්සම සම්බන්ධයෙන් වන විරෝධතා සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් අදාළ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරන දින සිට සති හයක් ඇතුළත ගොනු කරන ලෙස වගඋත්තරකාර පාර්ශ්වයට නියම කෙරිණ.

එම විරෝධතා ගොනු කිරීමෙන් අනතුරුව සති හතරකදී ප්‍රති විරෝධතා ගොනු කරන ලෙස නියම කෙරිණ.

පෙත්සම් විභාගය නොවැම්බර් මස 18 වැනිදා සිදු කිරීමට නියම කෙරිණි.

නෙල්කා මැදගෙදර


Top Stories
wedivistara

නිලධාරී යාන්ත්‍රණයට නැවත නැවත කියන්නේ වෙනස් වෙන්න, නැත්නම් සහතික වශයෙන් වෙනස් කරනවා - ජනපති

wedivistara

හොඳ ප්‍රවාහන ක්ෂේත්‍රයක් ඇති කිරීමේ වැඩපිළිවෙළ ජුලි 01 වැනිදා සිට ආරම්භ කරනවා - බිමල් රත්නායක

wedivistara

මෙරට වයස්ගතම හිමිනම අපවත් වෙති

wedivistara

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතියේ දෝෂයක් හේතුවෙන් දුම්රිය දෙකක් එකම පීල්ලක ධාවනය වෙයි

wedivistara

පාසල් පරිශ්‍රවල ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග නිවාරණය කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

wedivistara

ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් පිටව යයි

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

හදිසි ආපදා තත්ත්වයකදී 117 අමතන්න

wedivistara

මිනිස්සු බලාපොරොත්තු වන්නේ අලුත් පක්ෂයක්. මෙතෙක් කල් ආණ්ඩුව කරපු දේවල් ගැන ජනතාව සෑහීමකට පත්වෙලා නැහැ.


NEWS ALERT