Local

විජය ඝාතනයට ජවිපෙ දැන්වත් ජාතියෙන් සමාව ගත යුතුයි

Friday, 16 February 2024 - 12:32 pm

ඝාතනයක් සඳහා වූ පශ්චාත් දේශපාලන මරණ පරීක්ෂණයක් ලෙස විජය කුමාරතුංග මරා දැමීම ගත් වන, රටම එහි ඝාතකයෝ දන්නේ නමුදු, ඒ ගැන ඝාතනයේ වගකීම උසුලන ජවිපෙ කිසිවක් කතා නොකරන්නේය. අනුන්ගේ ෆයිල් තොග ගාණට ප්‍රදර්ශනය කිරීමේ ආශාක්තභාවය ඇත්තේ මුත් මේ අය තවම තමන්ගේ ෆයිල් ගැන කතා නැත්තේය. අනුන්ගේ දේශපාලන අයිතිය සඳහා උණ්ඩය ප්‍රයෝජනයට ගත් මොවුහු ජාතියෙන් සමාව ගත යුතු මෙහොත දැන් එළඹ ඇත්තේය. එහි පළමු ස්ථානය සඳහා පත්විය යුත්තේ විජය කුමාරතුංගය. අදින් වසර අවුරුදු තිස් හයකට පෙර විජය මරා දැමූ පිරිස අනුන්ගේ ෆයිල් කතා පවසන්නට පෙර, තමන්ගේ ලේ තැවරුණු අතීතය පිළිබඳව පාපොච්චාරණයක් කළ යුත්තේය. ඒ උදෙසා වන සිහි කැඳවීමක් ලෙස විජය මරා දමා තිස් හය වසක් පිරෙන අද දින එම ඝාතනය පිළිබඳව සංක්ෂිප්ත සිහි කැඳවීමක් මෙසේ සටහන් කරමු.

අසූහයේ වසරේ සිට අසූ හත වසර දක්වා, කාලය ගමන් කරමින් තිබුණි. භීෂණය, එළිපත්ත පැන මැද සාලය දක්වාම පැමිණ තිබුණි.

මේ කාලය වන විට ජවිපෙ සිය යටිබිම් ගත දේශපාලනයේ අත්‍යවශ්‍ය අංගයක්වූ සන්නද්ධ අංශයෙන් සවිමත් වී තිබුණි.

තර්ජන විජය වෙත ද එල්ල විය. මේ පිළිබඳව කතාබහක් මහජන පක්ෂය තුළ ඇති විය. ජවිපෙ ත්‍රස්තවාදය සඳහා මුහුණ දීමේ අභියෝගය ජය ගැනීම සඳහා මහජන පක්ෂය අමුතුම උපායක් අනුගමනය කළේය. විජයගේ ජීවිතයට ඇති තර්ජන සඳහා රජයෙන් ආරක්ෂාව පැතිය යුතු බවට වන යෝජනාවක් චන්ද්‍රිකා කුමාරතුංග, පක්ෂයට ඉදිරිපත් කළාය.

විජයගේ හිත තවත් පාරන කටයුත්තක් වූයේ නන්දන මාරසිංහට වෙඩි තබා මරා දැමීමය.

විජය කුමාරතුංගගේ දේශපාලනයට සම්බන්ධ වී වැඩ කටයුතුහි යෙදුණු නන්දන, මින්නේරිය ආසනය සඳහා විජය තරග කරන අවස්ථාවේදී විජයගේ ජීවිතය ආරක්ෂා කිරීම සඳහා පුළුල් ආරක්ෂක දැලක් නිර්මාණය කරන ලද්දේය.

නන්දනගේ අවමංගල්‍ය උත්සවය සඳහා විජය ද සහභාගී විය. “නන්දන වගේ මිනිස්සු මරා කළ හැකි විප්ලවය කුමක්ද?” අවමංගල්‍ය සභාව අමතමින් විජය ප්‍රශ්න කළේය.

ජවිපෙ විසින් මහජන පක්ෂය තහනම් කරයි.

භීෂණය විසින් රට වෙළාගෙන තිබෙන බව පෙනී ගියේය. ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් තැබීමත් සමඟ ඇති වූ ගිනි කෙළිය එන්න එන්නම වර්ධනය වෙමින් තිබුණි. ගිවිසුමට විරෝධය පෑමේ බර කරට ගෙන සිටියේ ජවිපෙය.

තෙවන සතුරු හමුදාව

මේ වන විට මහජන පක්ෂයේ සාමාජිකයන් වෙත ජවිපෙ විසින් මරණ වරෙන්තු ලියමින් සිටිනා ලදී. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් ජනවාරි 25 වැනි දින නිකුත් කරන ලද නිවේදනයක් මඟින් වාමාංශික පක්ෂ නම් කරන ලද්දේ තෙවැනි සතුරු හමුදාව ලෙසය. මේ සතුරු හමුදාවේ ප්‍රධානත්වය උසුලන ලද්දේ විජය විසිනි. විජයගේ ජීවිතය පැහැදිලි අනතුරක තිබෙන බව ආරක්ෂක සහ දේශපාලන අංශ ඒ වන විටත් තේරුම් ගෙන සිටියේය.

පෙබරවාරි දහවැනිදා මහජන පක්ෂයේ මාතර දිස්ත්‍රික් සංවිධායක එම්. සී. එච්. අක්‍රම්, දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ සන්නද්ධ සාමාජිකයන් විසින් වෙඩි තබා මරා දමන ලදී.

පෙබරවාරි 11 වැනිදා කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයකු වූ පොලොන්නරුවේ ගාමිණි මැදගෙදර ඝාතනයට ලක්විය. ඔහු නීතිඥයකු වූ අතර ඉංග්‍රීසි ගුරුවරයකු ද විය. ගාමිණී පොලොන්නරුවේ සිටියදී ඔහුගේ සහෝදර අනුර සිය පවුල සහ මවුපියන් සමඟ රද්දොළුගම නිවාස යෝජනා ක්‍රමයේ පදිංචි වී සිටියෝය. මේ නිසා ගාමිණීගේ අවසන් කටයුතු සිදු කරන ලද්දේ රද්දොළුවේදීය. පෙබරවාරි 15 වෙනිදා පැවැත්වූ අවමංගල්‍ය සඳහා විජය ද සහභාගී විය.

එක්සත් සමාජවාදී පෙරමුණ

පසුදාට එළි විය. පෙබරවාරි 16 වැනිදා විජයට සුපුරුදු පරිදි කාර්ය බහුල දිනයක් විය. ශ්‍රී ලංකා මහජන පක්ෂය සහ වාමාංශික පක්ෂ එකමුතුව විසින් එක්සත් සමාජවාදී පෙරමුණ බිහිකිරීමේ වැඩකටයුතු කඩිමුඩියේ ලක ලැහැස්ති වෙමින් තිබුණි. පෙබරවාරි 21 වැනිදා සුගතදාස ක්‍රීඩාංගණයේදී එය මුලුදෙන්නට සැරසෙමින් තිබුණි. උදෑසන 5.30 ට පමණ ජීවන් කුමාරතුංග විසින් විජයට දුරකතන ඇමතුමක් දෙමින් පවසා සිටියේ, 21 වෙනිදා පැවත්වෙන පක්‍ෂ සමුළුව සඳහා සිදු කෙරෙන සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡා කර ගැනීමට විජයගේ පැමිණීම අත්‍යවශ්‍ය බවය. උදෑසන 6.30 වන විට තම වෑන් රථය තනිවම පැදගෙන කොළඹ 10, වජිරඥාන මාවතේ පිහිටි මහජන පක්ෂ මූලස්ථානයට විජය ළඟා විය.

තමන්ට ළඟදී හලාවත ප්‍රදේශයෙන් එකතු වූ ආධාරකරුවන් පිරිසක් හමුවීම සඳහා විජය හලාවත ප්‍රදේශය බලා පිටත්වන බව පක්ෂ මූලස්ථානයේ සිටි වයි. පී. ට දැනගන්නට ලැබුණි. අවි දැරූ භීෂණය විජයට ඉලක්කය අල්ලා තිබෙන බව දැන සිටි වයි. පී. ද සිල්වා, විජයගේ තනියට දේව බණ්ඩාර සේනාරත්න ද හලාවත ගමන සඳහා සහභාගි කරවිය.

හලාවත ගමන නිමා කළ විජය, කෙළින්ම පැමිණියේ පොල්හේන්ගොඩ පිහිටා තිබූ සිය නිවෙස වෙතය. ඔහු වහ වහා තවත් ගමනක් යෑම සඳහා පිටත්වීමට සූදානම් වෙමින් සිටිනු නිවසේ සිටි සේවකකාරකාදීන් වෙත දිස්විය.

තානාපති කාර්යාලයේ දිවා භෝජනය

අමෙරිකානු එක්සත් ජනපද තානපති කාර්යාලයේ නිලධාරියෙක් සමඟ කලින් සූදානම් කර ගත් දිවා භෝජන සංග්‍රහයක් විජයට තිබුණි. ඒ සඳහා සූදානම් වූ විජය නිවසින් එළියට බසින්නට ලෑහැස්ති විය. උඩු මහලේ සිට පහළට බසින විජයට දැක ගැනීමට හැකිවූයේ, සිය දරු දෙදෙනා සහ බිරිය චන්ද්‍රිකා සමඟ නිවසේ සේවක සේවිකාවන් එහි සිටින ආකාරයය.

මහජන පක්ෂයේ ආධාරකරුවකු වූ උපාලි ඉලංගරත්න ද විජය හමුවීම සඳහා පහත මාලයේ බලාපොරොත්තු සහගත දෙනෙතින් රැඳී සිටියේය. විජයගේ මාර්ගයෙන් උපාලිට විදේශ රැකියාවක් සූදානම් වී තිබූ අතර, ඒ බව දන්වා විදේශ ගතවීමට උපාලිගේ විජය හමුවීමේ අරමුණ විය. රැකියා කාලය සම්පූර්ණ කොට යළි කවදා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ දැයි විජය මෙහිදී උපාලිගෙන් විමසා සිටියේය.

තමා තව වසර තුනකින් පමණ මෙරටට පැමිණෙන බව උපාලි සඳහන් කරනවාත් සමඟම “ අයියෝ… උපාලි ඔයා අවුරුදු තුනකින් ආයෙත් ලංකාවට එනකොට, අපි මැරිලා මැරිච්ච තැන්වල ගසුත් පැළවෙලා තියෙයි… ” යනුවෙන් සඳහන් කළ විජය සිය දියණිය දිගින් දිගටම පෙන්වමින් සිටින, ඇය විසින් ඇඳි චිත්‍ර සහිත පොත ද බලමින් එළිමහනට පිවිසියේය. දරු දෙදෙනා, අසල පිහිටි විජයගේ මවගේ නිවසට ඇරලවීම ද විජයගේ ගමනේ එක් අරමුණක් විය. ගේට්ටුව අසලට පැමිණි විජය, ටැක්සි රියැදුරු හේමපාල ප්‍රනාන්දු සහ ආරක්ෂක නියාමක පතිරාජ ඉලගරත්න සමඟ කතා බහ කරන්නට විය. ඒ සමඟම විජය සතු වූ, 27 ශ්‍රී 7227 අංකය දරන ඩැට්සන් පිකප් රථය, නිවසේ පැත්තකින් පිහිටා තිබූ, පිවිසුමේ සිට, බොරලු පාර දිගේ මහ පාරට ගමන් කරමින් තිබුණි. වාහනය පදවමින් සිටියේ දයාරත්නය. සේවය නිමවා යමින් සිටි විජයගේ ආරක්ෂක නියාමකයකු වූ ලලිත් සහ සූදානම් වෙමින් තිබූ නව පෙරමුණේ සමුළුව සඳහා කලා නිර්මාණයෙන් දායක වෙමින් සිටි රත්ගම උපාලි ද වාහනය තුළ සිටියෝය. ප්‍රධාන මාර්ගය අසල විජය පිරිසක් සමඟ කතා කරමින් සිටිනු දුටු, වාහනයේ ගමන් ගත් පිරිස ද වාහනය නවතා ඉන් බැස විජය සමඟ කතා බහ කිරීමේ අරමුණෙන් ඔහු සිටි දෙසට පැමිණෙමින් සිටියෝය.

වාහනයේ රැඳී සිටි රියැදුරු දයාරත්නට දැක ගත හැකි වූයේ, හෙල්මට් පැලඳ නොසිටි දෙදෙනකු, සී. ඩී. 200 වර්ගයේ රතු පැහැති මෝටර් සයිකලයකින් පොල්හේන්ගොඩ පැත්තේ සිට විජයගේ නිවසට දෙසට පැමිණෙන අන්දමය.

උඩ පැන පැන විජයගේ මුහුණටම වෙඩි

පෙබරවාරි 16 වැනිදා නිවාඩු දිනයක් විය. පොල්හේන්ගොඩ පාරේ වෙනදාට දකින්නට ලැබෙන වාහන තදබදය එදා නොතිබුණි. නාඳුනන බයිසිකලය විජය දෙසට හැරෙනවාත් සමඟම පසු පස අසුනේ සිටි පුද්ගලයා, ධාවනය වන බයිසිකලයේ සිටම විජයට වෙඩි තබන්නට විය. ධාවනය වන මෝටර් සයිකලයෙන් පැන, දිගින් දිගටම විජයට වෙඩි තබන්නට ප්‍රහාරකයා සමත් විය. වෙඩි පහරවල් විජයගේ ශරීරයේ පිටුපස ප්‍රදේශයට වැදෙන්නට පටන් ගත්තේය. අනපේක්ෂිත වෙඩි වරුෂාව පතිත වෙනවාත් සමඟම විජය කුමාරතුංග මුනින් අතට ඇද වැටුණේය. ඇද වැටුණු විජය ආසන්නයට පැමිණි ඝාතකයා, රටක් මනමත් කළ, විජයගේ මුහුණට ළංවී, වෙඩි තබන්නට පටන් ගත්තේය. වෙඩි ප්‍රහාරය සමඟම, විජයගේ සිරුරෙන් විදින ලද රුධිර ධාරා, ඝාතකයාගේ තුවක්කුවේ කටට ද විසි වී ගියේය. විජයගේ හිසෙන් සහ මුහුණෙන් රුධිරය වෑස්සෙන්නට පටන් ගත්තේය. අසල සිටි රත්ගම උපාලි ද වෙඩි ප්‍රහාරයට ලක්විය. රියැදුරු අසුනේ වාඩි වී සිටි දයාරත්න, මේ සියල්ල දෙස වික්ෂිප්තව බලා සිටියේය. ඇසිල්ලකින් ඔහු වාඩිලා ගෙන සිටි පිකප් රථයට ද වෙඩි ප්‍රහාරයක් එල්ල වෙන්නට පටන් ගත්තේය. එම ප්‍රහාරය කැබ් රථය සිදුරු කළා මිස දයාරත්නට හානියක් නොකළේය.

ප්‍රහාරය නිමා කළ ඝාතකයා, විජය අසලම වැටී තිබූ ඔහුගේ ලියකියවිලි සහිත ගොනුව පරීක්ෂා කළේය. අනතුරුව ප්‍රධාන මාර්ගය දෙසට ඇවිද ගිය ඔහු තමා සමඟ පැමිණි සගයා ‘යූ’ හැරවුමක් ගෙන මෝටර් සයිකලයෙන් පැමිණෙනවාත් සමඟම එයට නැඟ ගත්තේය. නාරාහේන්පිට සිට පොල්හේන්ගොඩ දෙසට ගමන් ගන්නා බස් රථයක් මේ අවස්ථාවේදී බයිසිකලයට බාධාවක් වූයේ, ඇති වී තිබූ තදබදය නිසාය. සිය ජීවිත කාලයේ පමණක් නොව සංසාරය පුරාම මතකයේ රැඳෙන දසුනක් බස් රථයේ එක් පැත්තක සිටි පිරිසට දැක ගන්නට ලැබිණි. පැන යමින් සිටි ඝාතකයා, තමාට බාධාවක් වූ බස්රථය අසලදී යළිත් බැස ගත්තේය. රථයේ රියැදුරු වෙත ගිය ඝාතකයා, සිද්ධිය පිළිබඳ කිසිවක් හෙළි නොකරන ලෙස ඔහුට සහ සිද්ධිය දුටු ඉදිරි පෙළ වාඩි වී සිටි සියලු දෙනාට තර්ජනය කළේය. බස් රථයේ රියැදුරු අසුනට යාබඳව අසුන්ගෙන සිටි නිහාල් කොඩිතුවක්කු, වෙඩි තැබීමේ සිද්ධිය හොඳින්ම දුටු අතර, තර්ජනය කිරීම පිණිස ඝාතකයා සහ සගයා බස්රථය අසලට පැමිණීමත් සමඟ ඔවුන් දෙදෙනාගේ මුහුණු ද හොඳින්ම දැක ගත්තේය.

බයිසිකලයට නැඟුණු ඝාතකයන් පොල්හේන්ගොඩ හන්දිය දෙසට පලා යන ලද්දේ, සිද්ධිය ඇසින් දුටුවන් බියට පත්කිරීමට සහ තමන් පසුපස ලුහුබැඳ ඒම නවත්වාලනු පිණිස අහසට වෙඩි තබමිනි.

කැඩපතක ඡායා චිත්‍රපටයේදී විජයගේ මුහුණ විනාශ වූයේ ඇසිඩ් වැදීම නිසාය. සිනමා තිරයෙන් එළියට ඇවිත් ඔහුගේ මුහුණ වෙඩි වරුසාවකින් එසේ වේ යැයි කිසිවකු විශ්වාස නොකළේය.

දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මරණයේ වගකීම භාර ගත්තා… 
– බීබීසීය කියයි

මේ කාලයේ ජනතාව කට කතා මාධ්‍යයට තදින් පෙම් බැඳ තිබුණි. මේ නිසා අත්තටු ලැබූ කට කතා ජාලයක් කොළඹ සහ ඒ අවටින් පැන නැඟී රට පුරා ව්‍යාප්ත වී ගියේය. ඒ කට කතා ජාලය තුළින් ‘විජයට වෙඩි තියලා..’ලු යන්න කිහිප විටක්ම ප්‍රචාරය වී ගොස් තිබුණි. විජයට ඇත්තටම වෙඩි තැබූ දවසේ, කට කතා ජාලයට යළිත් පණ ලැබුණි. විජයට වෙඩි තබා මිනිත්තු කිහිපයක් ගත වන විට, කට කතා ඔස්සේ, ආරංචිය ලැබුණු සිනමා නළු නිළියන් සහ රසික ප්‍රජාව කොළඹ මහ රෝහල අවට, වට කොට තිබුණි. සමහරෙක් රෝහලේ තාප්පෙන් පැන, විජයගේ නිසල රුව දකින්නට තැත් කළහ. මේ නිසා බොරැල්ල, පුංචි බොරැල්ල, පුරහල අවට මහා ජන සන්නිපාතයකින් වැසී යන්නට පටන් ගත්තේය.

මරණය ආරංචි වූ මොහොතේ පටන් තවත් ජන සන්නිපාතයකින් රේමන්ඩ් මල් ශාලාව සහ විජයගේ පොල්හේන්ගොඩ නිවස පිරෙන්නට පටන් ගත්තේය. පෙබරවාරි 17 වැනිදා පොල්හේන්ගොඩ නිවසේ විජයගේ මිනිය තැන්පත් කර තිබෙන අතරේ කොළඹ ඉන්ටර් කොන්ටිනන්ටල් හෝටලයේ ජනමාධ්‍ය සම්මන්ත්‍රණයක් මුළුදී තිබුණේය. බීබීසී ගුවන් විදුලියේ කොළඹ වාර්තාකරු ජෝන් රෙටී විසින් එහිදී ප්‍රකාශ කරන ලද්දේ, විජය ඝාතනයේ වගකීම ජනතා විමුක්ති පෙරමුණට සන්නද්ධ අංශය වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය භාරගත් බවය. එම ව්‍යාපාරයේ ප්‍රකාශකයකු, දුරකතනය ඔස්සේ තමාට ඒ බව ප්‍රකාශ කළ බව රේටි එහිදී සඳහන් කළේය. එදින රාත්‍රියේ බීබීසී ගුවන් විදුලිය ද මෙම ප්‍රවෘත්තිය විකාශය කළේය. මීට අමතරව විජයගේ මරණය සම්බන්ධයෙන් ශෝක ප්‍රකාශයක් නිකුත් කරන ලද ස්වාධීන ශිෂ්‍ය සංගමය, “ ජවිපෙ ත්‍රස්තවාදියෝ තම භීෂණ ක්‍රියාදාමයේ තවත් පියවරක් තබමින් ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායකයා මරා දමා ඇති බව ප්‍රකාශ කළේය.

විජය යැව්වේ ඇයි…? මළගමදා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් පත්‍රිකාවක්…

අවාසනාවන්ත ලෙස මිය ගිය ද මහා ජනසන්නිපාතයකින් සිය මරණයට උපහාර ලබන්නට විජය වාසනාවන්ත විය. සමහරු හැඬූ කඳුළෙන් ආදාහනය තෙක් දින කිහිපයම, විජයගේ දේහය අසල ගත කළේය. විජයගේ ආදාහන කටයුතු සූදානම් කර තිබුණේ, පෙබරවාරි 21 වැනිදාට ය. ඔහු ජීවත්ව සිටියේ නම්, එදින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී, එක්සත් සමාජවාදී පෙරමුණේ සමාරම්භක රැස්වීම පැවැත්වීමට නියමිතව තිබුණි. ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයා ලෙස විජය නම් කිරීමේ සැලසුමක් ද එදිනට යොදාගෙන තිබුණි. එසේම විජය – චන්ද්‍රිකා මංගල්‍යයේ දස වැනි සංවත්සරය යෙදී තිබුණේ ද 20 වැනිදා සෙනසුරාදාය. 21 වැනිදා කොළඹ නගරය ජනතාවගෙන් පිරි ඉතිරී යන්නට විය. විජයගේ ආදාහන කොළඹ නිදහස් චතුරශ්‍රයේ පැවැත්විණි.

විජයගේ අවමඟුල් උත්සවය පැවැත්වෙන 21 වැනිදා දහවල් වන විට, ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් මෙහෙයවුණු දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින්. “ විජය යැව්වේ ඇයි? ” යන සිරස්තලයෙන් නිවේදනයක් නිකුත් කරමින්, එම ඝාතනයේ වගකීම භාර ගත්තේය. එම නිවේදනයේ. “ අප විසින් දඬුවම් කරනුයේ මව්බිමේ සතුරන්ට පමණි. ඒ හැර අපේ දේශපාලනයට එකඟ නොවූව ද ද්‍රෝහීන් නොවූ කිසිවකුට හෝ පොදු මහජනයාට හෝ අපි කිසිදු හිංසාවකට ඉඩ නොතබමු ”. යනුවෙන් එහි සඳහන් විය.

   


Top Stories
wedivistara

ඩයනා ගියාට සජබට මන්ත්‍රී ධුර අහිමි වන්නේ නෑ

wedivistara

සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය හතර අතේ බෙදපු ගුරුවරයා හා ගුරුවරිය මාට්ටු

wedivistara

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ඉදිරි වසරේ දී අපේක්ෂිත 3%ක ආර්ථික වර්ධනයත් සමඟ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට ද කටයුතු කරනවා

wedivistara

බුද්ධ දේශනාව සහ කෘත්‍රීම බුද්ධිය පිළිබඳ පර්යේෂණ කටයුතු ලබන වසරේදී ආරම්භ කරනවා

Trending
wedivistara

WhatsApp Group හරහා සිදුවන මුදල් වංචාවලින් ප්‍රවේශම් වන ලෙස දැනුම්දීමක්

wedivistara

අමෙ­රි­කානු සහ­කාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ ළඟ­දීම මෙර­ටට

wedivistara

මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

wedivistara

විදුලිබල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය ආරම්භ වෙයි

wedivistara

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

wedivistara

ජපාන, දකුණු අප්‍රිකා, ස්විට්සර්ලන්ත තානාපතිවරු හා ජාතික ජන බලවේගය අතර හමුවක්


NEWS ALERT