උල්හිටිය රත්කිද ජලාශයේ ජල මට්ටම ඉහළයෑමත් සමඟ අද (9) පස්වරුවේ ජලාශයේ පිටවානේ ගේට්ටු පහක් විවෘත කළ හෙයින් ජලාශයට පහළ ජනතාවට දැඩි විමසිල්ලෙන් සිටින්නැයි උල්හිටිය රත්කිද ජලාශ භාර නිලධාරි දීප්ත ජයසේකර මහතා පවසයි.
2024 යලකන්නයට උල්හිටිය රත්කිද ජලාශයෙන් වාරි ජලය නිකුත් කිරීම අවසන් වීමත් , දැනට පවතින වර්ෂාවත් සමඟ උල්හිටිය රත්කිද ජලාශයේ ජල මට්ටම ඉහළ යමින් රඳවා ගත යුතු ප්රමාණය ඉක්මවා යන හෙයින් මෙසේ මීටර් 0.1 බැගින් ජලාශයේ පිටවානේ ගේට්ටු පහක් විවෘත කළ බව හෙතෙම කීය.
මේ පිටවානේ ගේට්ටු විවෘත කිරීමත් සමඟ ගිරාදුරුකෝට්ට උල්හිටිය මාර්ගයේ රත්කිද කෝසුව ජල පහරින් යට වී යන බව පවසන උල්හිටිය රත්කිද ජලාශ භාර නිලධාරි දීප්ත ජයසේකර මහතා එම ජනතාවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට ද දැනුම් දී සිටි. ඡායාරූප-සොරණාතොට සමුහ:සී ගමගේ