Local

මඩ නැතුව පුළුවන්නම් ප්‍රථිපත්ති එක්ක හැප්පෙන්න

Sunday, 15 September 2024 - 9:42 pm

මාලිමාව දිනවා දිනන්නේ ඔබමයි

කිසිවකුට නිය තුඩකින් හානියක් වෙන්න දෙන්නේ නැහැ

එක දවසෙන් පාර්ලිමේන්තුව විසුරවනවා

මඩ අවලාද ගහන්නේ ප්‍රතිපත්ති සමග හැප්පෙන්න බැරුව

අපි හදන්නේ ඉතිහාසයේ ගොඩනැඟෙන දීර්ඝතම ආණ්ඩුව

සියයට තුනක් ගන්න බෑ කිව්ව අය අද අපි දිනුවහම ආණ්ඩුව කරගෙන යන්න බෑ කියනවා…එතැනින්ම ෂුවර් අපි දිනුම් කියලා

මෙරට ජනාධිපතිවරණ ඉතිහාසයේ සෑම විටම ද්වන්ධ සටනක් බවට පත්ව තිබූ ජනාධිපති සටන මෙවර තුන්කොන් සටනක් බවට පත්ව තිබෙන්නේ ජාතික ජනබලවේගයේ නැඟිටීමත් සමගය.බලයට ආසන්න වෙමින් ඇති ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාව සාකච්ඡාවක් සඳහා සම්බන්ධ කරගත්තේ පවතින දේශපාලන තත්ත්වයන් සහ ඉදිරි වැඩපිළිවෙළ ඇතුළු කරුණු කාරණා ගණනාවක් පිළිබඳ සාකච්ඡා කිරීම පිණිසය.

පහතින් පෙළ ගැසෙන්නේ “දිවයින ඉරිදා සංග්‍රහය” අනුර කුමාර දිසානායක මහතා සමග සිදුකළ සාකච්ඡාවයි.

ප්‍රශ්නය – ජනාධිපතිවරණ ජයග්‍රහණය සඳහා තුන්කොන් සටනක් නිර්මාණයව තිබෙනවා. ඒ අතරින් ඔබ සහ සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන් පසුවන බව වාර්තා පළ වෙනවා. නමුත් ගැටලුව තිබෙන්නේ පසුගිය ජනාධිපතිවරණයේ සියයට තුනක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් ඔබ පක්ෂය මෙවර සියයට පනහ ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ගන්නේ කෙසේද යන්නයි.

පිළිතුර – ඉතිහාසයේ ජනතාව අපට තිබූ කැමැත්ත සහ එය ඡන්දයක් බවට පරිවර්තනය වීම අතර ගැටලුවක් තිබූ බව ඇත්ත. නමුත් දැන් එම තත්ත්වය ඉඳුරාම වෙනස්. කිසි සැකයක් තියාගන්න එපා, මෙවර ජනාධිපතිවරණයේදී ජාතික ජනබලවේගය සියයට පනහ ඉක්මවූ ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් ඉතිහාසය වෙනස් කරනවා. අප ඉතිහාසය වෙනස් කරනවා පමණක් නොව රටේ ජනතාවගේ අනාගතයත් වෙනස් කරනවා. ජාතික ජනබලවේගය වටා එකතු වී ඇති මහා ජන සන්නිපාතය මඩ අවලාදවලින් විතැන් කරන්න පුළුවන් පිරිසක් නෙවෙයි. ඒක සහතිකයි. නව පුනරුදයක් කරා යන ගමන විසිඑක් වැනිදායින් පසුව අපි ආරම්භ කරනවා.

ප්‍රශ්නය – ජනතා මනාපය සහ එය ඡන්ද බවට පත්වීම අතර ගැටලුවක් පැවැති බව ඔබ සඳහන් කළා. ජයග්‍රහණය පිළිබඳව සහතික දෙද්දී එම පැවැති ගැටලුව කුමක්ද යන්න අදහසක් අවශ්‍යයි.

පිළිතුර – එම තත්ත්වයට බලපෑ හේතු කිහිපයක් තිබෙනවා. අපට බලයට එන්න පුළුවන්ද කියලා ජනතාව කල්පනා කරන ප්‍රශ්නයක් තිබුණා. අනෙක් කාරණය තමයි සෑම ජනාධිපතිවරණයකදීම කේන්ද්‍ර දෙකක් එකිනෙකාට එරෙහිව ශක්තිමත් වී තිබීම. ඉතිහාසය පුරාම තිබූ තත්ත්වය එයයි.

නමුත් අද දවස ගත්විට අද එලෙස ප්‍රබල දේශපාලන කේන්ද්‍රයන් නැහැ. ඔවුන් එකටම සිට එකටම විසිරී සිටි කණ්ඩායමක්. මෙම තත්ත්වය තුළ ප්‍රබලතම ඒකමතයක් සහිත කණ්ඩායම ජාතික ජනබලවේගය බවට පත්ව තිබෙනවා. ඒ වගේම අපගේ ජයග්‍රහණය පිළිබඳ රටේ ජනතාවට විශ්වාසයක් ගොඩනැඟී තිබෙනවා. අප සමග කතාබහ කරන අප වෙනුවෙන් පෙනී සිටින අයට අමතරව පා වෙමින් ඇති ඡන්ද දායකයා පවා අප බලවේගය වටා එකතු වෙමින් තිබෙනවා.

අද පොදුජන පෙරමුණ වටා එකතුව සිටින්නේ, 2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් සිය ඡන්දය භාවිතා කළ ඡන්ද දායකයන්ගෙන් ඉතාම සීමිත පිරිසක්.

එක නීතියක්, වංචා දූෂණයෙන් තොර රටක් සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ලබා දුන් පිරිස අතර අපේක්ෂාවක් තිබුණා. ඔවුන්ගේ අපේක්ෂා බිඳ වැටුණා. ඔවුන් අපේක්ෂා කළ දේශපාලනය අප නියෝජනය කරනවා. ඒ වගේම ගියවර සජිත් ප්‍රේමදාස මහතාට හිමි ඡන්දවලින් ඡන්ද විශාල ප්‍රමාණයක් ඔහුගෙන් ගිලිහී තිබෙනවා. ඔහුට එවර ඡන්ද හිමිවුණේ ඔහුගේ හොඳ කමට වඩා ගෝඨාභයට එරෙහි වීම තුළ. නමුත් අද එහෙම මූලයක් නියෝජනය වන්නේ නැහැ.

ගියවර අපට ලැබුණු නිශ්චිත ඡන්ද ප්‍රමාණයක් තිබෙනවා. ඒ වගේම අලුතින් අප වටා එකතු වුණු විශාල ඡන්ද ප්‍රමාණයක් තිබෙනවා. ඒ වගේම ගෝඨාභයට ලබා ගැනීමට නොහැකි වූ දෙමළ මුස්ලිම් ඡන්දවල විශාල නැඹුරුවක් අපට තිබෙනවා. එය වෙනදා ගෙඩිය පිටින් අනෙක් පාර්ශ්වයට ලැබුණු ඡන්ද. මේ සියල්ල සංසන්දනය කර බැලූ විට සියයට පනහ ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලැබීම ස්ථිරයි. එය විද්‍යාත්මක දේශපාලන විශ්ලේෂණයක්. ඊට අමතරව සමාජ බලවේගවල හැසිරීම ගත් කල සෑම සමාජ කවයකම වැඩිම ක්‍රියාකාරීත්වය හා මැදිහත්වීම තිබෙන්නේ ජාතික ජනබලවේගයට. මේ සියලු කාරණා එක තැනකට ගත් කළ ජයග්‍රහණය සක්සුදක්සේ පැහැදිලියි.

ප්‍රශ්නය – දෙවැනි මනාපයක අවශ්‍යතාවයක් මතු නොවෙයි කියලද ඔබ හිතන්නේ?

පිළිතුර – නැහැ. එවැනි අවශ්‍යතාවයක් නැහැ. රටේ ජනතාවගෙන් අපේ ඉල්ලීම මාලිමාව ඉස්සරහින් කතිරේ ගසා අපගේ ජයග්‍රහණය ස්ථිර කිරීම පමණයි.

ප්‍රශ්නය – ඔබ ජයග්‍රහණය ස්ථිර හැඟීමෙන් කතා කරනවා. නමුත් අනෙකුත් පාර්ශ්ව චෝදනා කරන්නේ ජවිපේ ප්‍රමුඛ ජාතික ජනබලවේගය භීෂණයක් වපුරා මිනිසුන්ගේ ඡන්ද මංකොල්ල කන්න උත්සාහ ගන්න බව. ඊට උදාහරණ ලෙස හිටපු හමුදා සෙබළෙකු මාලිමාවේ කමිසයක් පැළඳ “මේ බලාපල්ලා සෙනඟ, අපි එනවා. ආවම බලාගන්නම්.” යැයි කියන වීඩියෝ සඳහන් කරනවා. ඇත්තටම භීෂණය වපුරා ඡන්ද ගන්නද මේ හදන්නේ ?

පිළිතුර – ඔබ ඇත්තටම හිතන්නේ භීෂණයක් වපුරා ඡන්දය ගන්න පුළුවන් කියලද? අප රටේ ඡන්ද දායකයෝ එතරම් මෝඩද? එහෙම චෝදනා කරන අයට අප රටේ ඡන්ද දායකයන් ගැන කියැවීමක් නැහැ. ඔවුන් ඒ කරන්නේ ඡන්ද දායකයන්ට අගෞරවයක්.

තර්ජනය කර බලහත්කාරයෙන්, බයකර ඡන්ද ලබාගන්න බැහැ. එසේ කිරීම ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීමක්. ඡන්ද ලබාගත හැකිවන්නේ ජනතාවගේ විශ්වාසය ආදරය, බලාපොරොත්තුව ශක්තිමත් කර ගැනීමෙන්. අප වෙත ඡන්ද ලැබෙන්නේ ආදරයට විශ්වාසයට බලාපොරොත්තුවට.

ප්‍රශ්නය – ඉතා සුළු ඡන්ද ප්‍රමාණයකින් ජාතික ජනබලවේගයට බලය අහිමි වුවහොත් ගහලා අල්ලන්න ප්ලෑන් එකක් ජාතික ජනබලවේගය තුළ තිබෙන බවට චෝදනාවක් තිබෙනවා. ඒ සඳහා ආයුධ සන්නද්ධ කණ්ඩායම් ස්ථානගතව සිටින බවත් චෝදනා නැගෙනවා. ජාතික ජනබලවේගය මේ අර අඳින්න හදන සෙල්ලම මොකක්ද?

පිළිතුර – ඇත්තටම ඔබ හිතනවද ඒ වගේ මෝඩ බාල බොළඳ වැඩක් අපි වගේ පක්ෂයක් කරාවි කියලා. ඔබ ප්‍රශ්නය ඇහුවට එහෙම හිතන්නේ නැති බව මම දන්නවා. අපි එහෙම මිනිස්සු නෙවෙයි. අපි ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම වෙනුවෙන් උපරිමයෙන්ම කැපවෙන මිනිස්සු. ඔය අනිත් අය වගේ නමට ප්‍රජාතන්ත්‍රවාදය රකින්නේ නැහැ. ඒවා ක්‍රියාවෙන් ඔප්පු කරනවා.

මම කියන්නේ කවුරුහරි එහෙම චෝදනා කරනවා නම් ඒ තොරතුරු ආරක්ෂක අංශවලට දෙන්න. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්න. එහෙම නැතුව වේදිකාවල කෑ මොර දීලා, මඩ පෝස්ට් නිර්මාණය කර බොරු චෝදනා කර වැඩක් නැහැ. ඇත්තටම මේ මිනිස්සු කාවද රවට්ටන්න හදන්නේ? මේ රටේ ඡන්ද දායකයෝ මෝඩයි කියලා, ඒවා කියන හදන මිනිස්සු හිතනවා. හැබැයි ඒ අය හිතන විදිහට අප රටේ ඡන්ද දායකයන් අන්දන්න ඔවුන්ට ඉඩ ලැබෙන්නේ නැහැ.

මඩ නැතුව පුළුවන්නම් ප්‍රථිපත්ති එක්ක හැප්පෙන්න

ප්‍රශ්නය – ඔබ කියන කතාවට එක් කිරීමක් කරනවා නම් ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයන් සඳහන් කරන තවත් කාරණයක් වන්නේ ජාතික ජනබලවේගය ඇවිත් මාස හයක් තමයි කරන්න වෙන්නේ කියලා. ඊට එහා රට කරගෙන යන්න ඔබලාට ශක්‍යතාවයක් නැති බව ඔවුන් කරන චෝදනාවක්.

පිළිතුර – එයින් පෙන්නුම් කරන්නේ පරාජිතයා පරිණාමය වුණු විදිහ. ඔබ හිතනවද ජීවිත කාලය පුරා කැපකිරීම් කර දේශපාලනය කරපු අපි ආණ්ඩු බලය ලබාගෙන අසාර්ථක වේවි කියලා. අපේ කණ්ඩායම අසාර්ථක වෙන්න පුළුවන් කණ්ඩායමක් නෙවෙයි. අපි සමග ඉන්නේ ගල් වැලි පස් ජාවාරම්කාරයෝ, මහජන මුදල් වංචා කරපු දූෂකයෝ නෙවෙයි. අපි සමග ඉන්නෙ අවංකවම රටට ආදරය කරන සැබෑ මිනිස්සු.

අප රටේ ආර්ථිකය තිබෙන තැන, ජනතාවගේ මනස හැසිරෙන ආකාරය, ඔවුන්ගේ බලාපොරොත්තු බිඳ වැටුණු පසු හැසිරෙන ආකාරය පිළිබඳ අපි අත්දැකපු මිනිස්සු. අපි බලය ගන්නේ ඉතා කුඩා වරදක් හෝ සිදු නොවිය යුතු තැන සිට.

අපේ ආණ්ඩුවක් පවතින්නේ මාස හයයි කියලා ඔවුන්ට සතුටු වෙන්න පුළුවන්. හැබැයි ජාතික ජනබලවේගය හදන්නේ ලංකා ඉතිහාසයේ ගොඩනැඟෙන දීර්ඝතම ආණ්ඩුවයි. බලන්න ජනතාව එවැනි තීන්දුවක් නොගනීවිද කියලා. රටේ සුවහසක් ජනතාව ආදරයෙන් වැළඳ ගන්න ආණ්ඩුව මාලිමා රජය වේවි.

ප්‍රශ්නය – රටේ ජනතාව ආදරයෙන් වැළඳගන්නා රජය බවට අපගේ රජය යැයි ඔබ කීවත් ඒ රජය යටතේ බෞද්ධ පෙරහැරක් හෝ පවත්වන්න සිදු නොවෙන බව ප්‍රතිවිරුද්ධ පාර්ශ්ව චෝදනා කරනවා. මැතිවරණ වේදිකාව තුළ අපට ඇසුණේ දළදා මාලිගාවේ පෙරහැරට අත තියන්න ජාතික ජනබලවේගයේ ආණ්ඩුව කටයුතු කරනු ඇති බව. මේවා කරලා කොහොමද රටේ ජනතාවගේ ආදරණීය ආණ්ඩුව වෙන්නේ ?

පිළිතුර – අපේ ආණ්ඩුවක් පත්වූ පසු දළදා පෙරහැර කරන්න ඉඩ නෑ කියපු අයට විරුද්ධව දැන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ඔවුන් මේ මොකක්ද කරන්න හදන්නේ. අපි ආවොත් මෙහෙම වෙනවා අරම වෙනවා කිය කිය භීතිය වපුරනවා.

නිකමට හිතන්න, අති බහුතරයක් වන සිංහල බෞද්ධ ජනතාවගේ හෘද ස්පන්දනයට අත තියන්න මොන මෝඩයද උත්සාහ කරන්නේ. එහෙම තියලා ආණ්ඩු කරන්න පුළුවන්ද ? දළදා පෙරහැර නතර කරන්න වගේ එකක් හීනෙකින්වත් අපි හිතන්න්නේ නැහැ. මඩ, මඩ, මඩ, අවලාද අවලාද, අවලාද. අපට එරෙහි පාර්ශ්වයන්ට කරන්න තියෙන්නේ එච්චරයි. මට තියෙන ප්‍රශ්නේ මෙච්චර මඩ ගහන්නේ රටේ මිනිස්සු එච්චර මෝඩයෝ කියලා හිතලද? මේ තත්ත්වයන් මිනිස්සු සබුද්ධිකව තේරුම්ගත යුතුයි. ඇත්තටම මෙම බොරු මඩ අවලාදවලට තිත තබන්න ඕන නැද්ද?

ප්‍රශ්නය – ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ බුද්ධාගමට ප්‍රමුඛත්වය ලබාදීම සම්බන්ධයෙන් සඳහනක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා මැතිවරණ වේදිකාවකදී ප්‍රකාශ කළා.

පිළිතුර – මීට පෙර ලංකාවේ මැතිවරණ ප්‍රකාශනවල බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන බව කොතැනකවත් සඳහන් කර තිබෙන බව මම නම් දැකලා නැහැ. මොකද බුද්ධාගමට ප්‍රමුඛතාව දෙනවා කියන එක ව්‍යවස්ථාවේ සඳහන් වෙන කාරණයක්. තියෙන එකක් නැවත ප්‍රතිපත්ති ප්‍රකාශනවල ඇතුළත් කරන්න දෙයක් නැහැ. එහෙම ඇතුළත් කරනවා නම් මුළු ව්‍යවස්ථාවේ තියෙන සේරම ප්‍රතිපත්ති ප්‍රකාශනයට දාන්න වෙනවා. මැතිවරණ ප්‍රකාශනයට එන්නේ වෙනස් කරන ඒවා. මේ සියලු සිදුවීම්වලින් කියන්නේ ඔවුන් අන්තිම අඩියට වැටී ඇති බව.

ඔබ දන්නවද අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සෑදීමේ කමිටුවේ මමත් හිටියා. එතන බිමල්, නිමල් සිරිපාල, දිනේෂ් ගුණවර්ධන, සම්බන්ධන්, සුමන්තිරන්, මනෝ ගනේෂන්, හකීම් ඇතුළු කණ්ඩායමක් හිටියා. එතන හිටපු කිසිම මන්ත්‍රීවරයෙක්ගෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වැනි වගන්තිය වෙනස් කළ යුතු බවට කිසිම යෝජනාවක් ගෙනාවේ නැහැ. එහෙම තිබියදී මේ කරන මිත්‍යාව පරණ ජාතිවාදී මඩ ගොහොරුව අවුස්සන්න හදන ප්‍රයත්නයක්.

ප්‍රශ්නය – ජාතික ජනබලවේගය ඉලක්ක කර දැවැන්ත මඩ, අවලාද එල්ල වෙමින් තිබෙන බව පෙනෙන්න තිබෙන කාරණයක්. මේව දකිද්දී ඔබට දැනෙන හැඟීම කුමක්ද ?

පිළිතුර – මට දැනෙන්නේ අපේ ජයග්‍රහණය සහතික බව. අපගේ ප්‍රතිවාදීන් ශක්තිමත් දේශපාලන විවේචනයක් කරන්න බැරි තරමට අසරණ වෙලා. අතට අහුවෙන ඕනෑම ගල් කැටයක් අරගෙන පහර දුන් පසු ඒක තමයි දේශපාලනය කියන තරමට අපරිණත තත්ත්වයකට ඔවුන් ඇද වැටිලා. ඔවුන්ගේ කලබලවීම, අසරණභාවය අපගේ ජයග්‍රහණයේ ස්ථිර බව කියාපාන්නක්.

ප්‍රශ්නය – ඔබට අනුව ජාතික ජනබලවේගය රටේ බලය ලබාගන්නවා. හැබැයි ආණ්ඩුවක් කරගෙන යෑම සඳහා අවශ්‍ය මානව සම්පත් ඔබ බලවේගය සතුව නැති බව නැඟෙන තවත් චෝදනාවක්. ඔය අනුර, හඳුන්, විජිත, නලින්ද, හරිනි වගේ ටික දෙනෙක් පමණයි ජාතික ජනබලවේගය සතුව ඉන්නේ කියලා. ඇමැති ධුර විසිපහට සහ නියෝජ්‍ය ඇමති ධුර විසිපහට මිනිස්සු හොයාගන්න බැරි වේවි කියලා අදහසක් පළවෙනවා. ඇත්තටම අවශ්‍ය ඒ මානව සම්පත නැද්ද ?

පිළිතුර – අපෝ ඕන තරම් ඉන්නවා. මේ රටේ මෙතෙක් තනතුරු ඇමැතිකම් කරපු ආණ්ඩු කරපු හැමදෙනාටම වඩා අත්දැකීම් ඇති අවංක අදූෂිත වැඩ කිරීම සඳහා අවංක වුවමනාව ඇති කණ්ඩායම ඉන්නේ අපි ගාව.

ඒ ඒ ක්ෂේත්‍රයන් සමග අත්දැකීම් ඇති, ඥානය ඇති මේ රටේ මෙතෙක් නොතිබූ දියුණුම කැබිනට් මණ්ඩලය අපි හදනවා.

ප්‍රශ්නය – ඔබ ජනාධිපති වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳව යම් අදහසක ඉන්නවද ?

පිළිතුර – එක දිනක් තුළ පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා.

ප්‍රශ්නය – මඩ අවලාදවලට ඔබ උත්තර ලබා දුන්නා. නමුත් ආණ්ඩු බලය ගත් පසු ඔබට උත්තර දෙන්න ප්‍රධාන කාරණා ගණනාවක් තිබෙනවා. ඉන් ආර්ථික අර්බුදය ප්‍රමුඛ යි.

පිළිතුර – දැනට ජාතන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති ප්‍රමිතීන්ට යටත්ව සාකච්ඡා ඉදිරියට ගෙනා යා යුතුයි. ක්ෂණිකව ආර්ථිකයට ඉදිරි පිම්මක් ගත හැකි සංචාරක, ධීවර, කෘෂිකර්මාන්තය, නාවික සේවා ක්ෂේත්‍රය තුළ ඉතා ඉක්මන් පිම්මක් ගන්න අවශ්‍යයි. අප එය කඩිනමින් ගන්නවා. ඒ වගේම ලෝකයේ දිගුකාලීනව සිදුවන චලනයන් පිළිබඳ කල්පනා කර ඊට අනුරූපී වන පරිදි ආර්ථික ක්‍රියාමාර්ග ගැනීමට අප කටයුතු කරනවා. මෙහි සියලු දේ සඳහා අපි බලයට පැමිණෙන්නේ සැලසුමක් ඇතිවයි. රට තිබෙන තැන රට ඉදිරියට ගෙනියන්නේ කොහොමද? කියන එක ගැන අපට නිසි වැටහීමක් තිබෙනවා.

ප්‍රශ්නය – අප රටේ භූ පිහිටීම අනුව විදේශීය රාජ්‍යයන්හි අතපෙවීමට ගොදුරු නොවී සිටීමේ අවස්ථාවක් නැහැ. ජාතික ජනබලවේගය චීනය සමග ලැදියාව පවතින බව කියවෙන කාරණයක්. එය එසේ නම් මෙම තත්ත්වය ඉන්දියාවට ඔරොත්තු දෙන එකක් වෙන්න විදිහක් නැහැ. ඉන්දියානු බලපෑම චීනයේ සහයෝගය මේ සියල්ල තුලනය කරගන්නේ කොහොමද?

පිළිතුර – සමහර අය කියනවා අපි ඉන්දියානු හිතවාදියි කියල. තවත් සමහරු කියන්නේ අපි චීන හිතවාදියි කියල. තවත් සමහරු අපි ඇමෙරිකානු බළල් අතක් කියනවා. ඔය එකක්වත් ඇත්ත නෙවෙයි.

ප්‍රශ්නය – එහෙනම් මොකක්ද ඇත්ත?

පිළිතුර – ඇත්ත අපි අපේ රටට හිතවත් මිනිස්සු. නොබැඳි ප්‍රතිපත්තියක් තුළ අප කටයුතු කරනවා.

ප්‍රශ්නය – රටේ ජනතාව අනුර කුමාර දිනවිය යුත්තේ ඇයි ?

පිළිතුර – මුලින්ම කියන්න ඕනෑ මේ දිනවන්නේ අනුර කුමාර කියන එක් චරිතයක් නොවෙයි. ඔබගේ ඡන්දයෙන් මේ දිනවන්නේ ඔබවමයි. ඔබේ කණ්ඩායමයි. මෙතෙක් කලක් අපි ඡන්දය ලබාදී දිනවා තිබෙන්නේ අති දූෂිත එක් ප්‍රභූ පංතියක්. අපි අපේ ජයග්‍රහණය ලබාගත යුත්තේ, මේ දූෂිත පාලනයෙන් රට බේරගන්න, දූෂණය නතර කර දූෂිතයන්ට දඬුවම් දෙන්න, රටේ ආර්ථිකය ගොඩනඟන්න, නීතියේ විධානයේ ආධිපත්‍යය ඇති රටක් හදන්න, දූෂිත ප්‍රභූ පවුල් කිහිපයක් අත ඇති බලය සාමාන්‍ය ජනතාව අතට හුවමාරු කරගන්න, ලෝකයේ අපකීර්තිමත් රටක් අපරාජිත රටක් බවට පත් පත්කරන්න, අනාගතයක් නැති දරුවන්ට අනාගතයක් නිර්මාණය කරන්න ආදී සමස්ථය වෙනුවෙන්. ඔබ තෝරා ගැනීම් රැසක් සිදුකර තිබෙනවා වෙන්න පුළුවන්. නමුත් ඒ සියලු තෝරා ගැනීමට අවසාන ඵලය ඔබගේ ඡන්දයෙන් ඔවුන් දියුණු වීම් සහ රට හපයක් බවට පත්කිරීම පමණයි. එම නිසා දැන් තිබෙන්නේ එකම තෝරා ගැනීම වන මාලිමාව පමණයි.

ප්‍රශ්නය – යම් හෙයකින් ඔබ ජයග්‍රහණය කළහොත් ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයන්ට කිසියම් හෝ අවැඩක් සිදු නොවෙතැයි සහතිකයක් දෙන්න පුළුවන්ද ?

පිළිතුර – විරුද්ධ පාර්ශ්වයන්හි කිසිවකුට නියතුඩකින් හෝ හානියක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. ජයග්‍රහණය කියන්නේ අනෙකාට රිදවන එකක් නෙමෙයි. ජයග්‍රහණයෙන් පසු අනෙක් පාර්ශ්වයන්ට ගෞරවය දෙන්නේ කෙසේද යන්න අප කරන වෙනස තුළ තිබෙනවා. රට නව පුනරුදයකට ගෙනයනවා කියන්නේ මේ සියල්ලගේම එකතුවකට.


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT