Local

සිලින්ඩර-ටෙලිපෝන් ලොකු වලියක්.. සාකච්චා බිද වැටේ.. සජිත් අගමැතිකම, විපක්‍ෂ නායකකම දෙකම ඉල්ලයි..

Sunday, 29 September 2024 - 9:48 am

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට එකම සන්ධානයක් ලෙස තරග කිරීම උදෙසා එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර පැවැති සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් ජනාධිපතිවරයාට සහාය දැක්වූ මන්ත්‍රි කණ්ඩායම ‘සිලින්ඩරය’ ලකුණින්ම මහ මැතිවරණයට තරග කිරීමට තීරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂය පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ සමගි ජන බලවේගය සමග පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම සඳහා සාකච්ඡා කරන බවයි. ඒ අනුව, පසුගිය දිනවලදී සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ඡා වට කිහිපයක් පැවැත්විණි.

එහිදී දෙපිරිසම පාර්ලිමේන්තු මැතිවරණයට ‘අලියා’ ලකුණින් තරග කිරීමට තීරණය කර ඇත. නමුත්, සමගි ජන බලවේගය මෙහිදී පවසා ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් සජිත් ප්‍රේමදාසට අගමැති ධුරය හිමිවිය යුතු බවත්, පැරැදුණහොත් විපක්ෂ නායක ධුරය හිමිවිය යුතු බවත්ය. තවද එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉවත්වී නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධනට නායකත්වය ලබාදිය යුතු බවටද සමගි ජන බලවේගය යෝජනා කර ඇත. නමුත්, එක්සත් ජාතික පක්ෂය ඊට කැමැත්ත පළකර නැති බැවින් සාකච්ඡා බිඳවැටී ඇත.

මේ හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපතිවරයාට සහාය දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු ඇතුළු අනෙකුත් දේශපාලන පක්ෂ සම්බන්ධ කරගෙන ‘සිලින්ඩරය’ ලකුණින්ම තරග කිරීමට සැලසුම් කර ඇත. තවද ඊට අදාළ ලිපි ලේඛන ද මැතිවරණ කොමිෂන් සභාවට යවා ඇතැයි පැවසේ.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව ජනාධිපතිවරයාට සහාය දැක්වූ තවත් මන්ත්‍රි කණ්ඩායමක් පොදුජන එක්සත් නිදහස් පෙරමුණේ ‘කුසලානය’ ලකුණ යටතේ පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට සැලසුම් කර ඇත. ඊට අදාළ ලේඛනද මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාවට යවා තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් එකතුව මෙම ‘පොදුජන එක්සත් නිදහස් පෙරමුණ’ ඉකුත් ජනාධිපතිවරණයට පෙරදී පිහිටුවා ගන්නා ලදී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර ජනාධිපතිවරණයේදී තරග කරන්නේ තනිවමද, නැතිනම් කණ්ඩායමක් සමග ද යන්න පිළිබඳව අවසන් තීරණයකට එළැඹ නැතැයි හිටපු ඇමැති මහින්ද අමරවීර කීවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකයන් පසුගියදා ගම්පහට ගෙන්වා මේ පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වුවද අවසන් තීරණයක් ගෙන නොතිබිණි.

මේ අතර, දෙමළ සහ මුස්ලිම් පක්ෂ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී එකම සන්ධානයක් ලෙස තරග කිරීමට ද සැලසුම් කර තිබේ.

පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා භාර ගැනීම ඔක්තෝබර් 04 වැනිදා සිට 11 වැනිදා මධ්‍යහ්න 12.00 දක්වා මැතිවරණ දිස්ත්‍රික්ක 22 හි පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී සිදු කිරීමට නියමිතය.

2020 වසරේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අපේක්ෂකයෝ 7,452 ක් තරග කළහ.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් සභිකයන් 196 දෙනකු තෝරා පත්කර ගැනීමට නියමිත අතර, ඉතිරි පිරිස ජාතික ලැයිස්තුවෙන් තෝරා පත්කර ගැනේ. 2024 ඡන්ද හිමි නාම ලේඛනය අනුව වැඩිම ජනගහනයක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. ඒ අනුව පසුගිය මහ මැතිවරණයට සාපේක්ෂව කොළඹ දිස්ත්‍රික්කයෙන් එක් මන්ත්‍රි ධුරයක් අඩුවී එය ගම්පහ දිස්ත්‍රික්කයට එකතුවී ඇත. ගම්පහ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රි ධුර 18 ක් වෙනුවට මෙවර මන්ත්‍රි ධුර 19 ක් තෝරා ගැනීමට නියමිතය. කොළඹ දිස්ත්‍රික්කයෙන් තෝරා ගන්නා මන්ත්‍රි ධුර සංඛ්‍යාව 18 කි.


Top Stories
wedivistara

දේශීය ඖෂධ නිෂ්පාදනය දිරිගැන්වීමට රජයෙන් සහය

wedivistara

කැබ් රථයක් සහ මෝටර් රථයක් ගැටී 04 දෙනෙකු රෝහලේ

wedivistara

මිලියන 167,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

wedivistara

ප්‍රදේශ රැසකට හෙට දිනයේදීත් වැසි

wedivistara

පරිසර පවිත්‍රාවය පිළිබඳ දැනුවත් කිරීමේ දිනය අදයි

wedivistara

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

තුසිත හල්ලොලුවගේ රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්


NEWS ALERT