Local

ආර්ථිකය ගොඩ නැඟීම පසෙකලා එදා පළාත් පාලන මැතිවරණය පැවැත්වුවා නම් තවමත් ශ්‍රී ලංකාවේ ඉරණම ඛේදනීයයි

Saturday, 27 July 2024 - 12:54 pm

  • කිසිම සැකයක් නැහැ- ඉදිරි මැතිවරණය අපි ජය ගන්නවා – පළාත් පාලන ආයතනවල හිටපු ප්‍රධානීන් හමුවේ ජනපති පවසයි.
  • ජනාධිපතිතුමා කවදාවත් බොරු පොරොන්දු දී නැහැ- රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර.

ආර්ථිකය ගොඩනැඟීම පසෙකලා එදා පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් වැය කළා නම් අදවන විට මේ රට ඛේදනීය තත්ත්වයකට පත්වීම වැළැක්විය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

මැතිවරණයට වඩා මුදල් වෙන් කිරීමේදී එදා ප්‍රමුඛත්වය දිය යුතු කාරණා ගණනාවක් තිබු බව සඳහන් කළ ජනාධිපතිවරයා අභියෝග හමුවේ වුවත් මේ වන විට රටේ ආර්ථිකය ශක්තිමත් පදනමක් ඔස්සේ ඉදිරියට ගෙන ඒමට හැකි වී තිබෙන බව ද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ජයවර්ධනපුර, මොනාර්ක් ඉම්පීරියල් හෝටලයේදී අද (20) පැවති පළාත් පාලන ආයතනවල හිටපු ප්‍රධානීන් ගේ හමුවට එක්වෙමිනි.

දිවයින පුරා සිටින පළාත් පාලන නියෝජිතයින් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන් සිදු කරන ලද ඉල්ලීම අනුව මෙම හමුව සංවිධානය කර තිබිණ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය,

මීට වසර දෙකකට පෙර මම රට බාර ගන්නා අවස්ථාව වන විට රට අර්බුද ගණනාවකට මුහුණ පා සිටියා. එදා ආර්ථික කඩා වැටීමක් පමණක් නොව, නීතිය හා දේශපාලනයද කඩා වැටීමට ලක්ව තිබුණා. නමුත් මේ ඡන්දෙදී පක්ෂ කඩා වැටීමකුත් සිදුව තිබෙනවා.

එදා මට අගමැතිධුරය භාර ගැනීමට ආරාධනා කළ අවස්ථාවේ මා එය නොබියව භාර ගත්තා. නමුත් ඊට පෙර විපක්ෂ නායකවරයාට සහ අනෙකුත් පක්ෂ නායකයින්ට ආරාධනා කර තිබුණා. ඒ අවස්ථාවේ ඔවුන් කිසිවෙක් එම අභියෝගය භාර ගැනීමට ඉදිරිපත් වූයේ නැහැ. නමුත් මා අභියෝගය භාර ගැනීමෙන් පසුව රට ගොඩ නැඟීම සඳහා එක්වන ලෙස සියලු පක්ෂවලට ආරාධනා කළා.

ඒ අනුව ප්‍රථමයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති සමඟ සාකච්ඡා කරන්න සූදානම් වුණා. නමුත් එම පක්ෂයේ සභාපතිවරයා ඊට එකඟ වුණේ නැහැ. අනතුරුන මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කළා.ඒ අවස්ථාවේ එතුමා කියා සිටියේ තම පක්ෂය සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ තීරණය මා හට දැනුම් දෙන බවයි. ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මට සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කළා.

සමගි ජනබලවේගයේ සහයෝගය ලබා ගැනීමටද එදා මා උත්සාහ කළා. නමුත් ඒ අවස්ථාවේ එහි නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ තමන්ද ජනාධිපතිනරවකු තෝරා පත් කර ගැනීමට පැවැත්වෙන පාර්ලි‍මේන්තු ඡන්දයට ඉදිරිපත් වන බවයි. කෙසේ හෝ අවසානයේ ඔහු ඊට ඉදිරිපත් නොවී ඩලස් අලහප්පෙරුම මහතාව ඉදිරිපත් කළා. කෙසේ හෝ ඒ අවස්ථාවේ සමඟි ජනබලවේගයේ මන්ත්‍රීවරු කණ්ඩායමක් මට ඡන්දය ලබා දුන්නා. ඒ වගේම ද්‍රවිඩ පක්ෂ සහ අනෙක් පක්ෂ සමඟත් මා සාකච්ඡා කළා. ඒ අයගේද සහයෝගය මට ලැබුණා.

ඒ අනුව මා ජනාධිපතිධුරයට පත් වීමෙන් පසුව අභියෝග ගණනාවකට මුහුණ දීමට සිදු වුණා. ආර්ථිකය මුළුමණින්ම කඩා වැටී තිබුණා. බිම් මට්ටමේ පාලන යාන්ත්‍රණය වගේම දේශපාලන යාන්ත්‍රණයද කඩා වැටීමට ලක්ව තිබුණා.

මහජන නියෝජිතයින්ගේ මෙන්ම ක්‍රියාකාරීන්ගේ නිවාස ගිනි තබා ඔවුන්ව බිය වද්දා පාරට බහින්නවත් පුලුවන් වාතාවරණයක් ග්‍රාමීය මට්ටමේ තිබුණේ නැහැ. පොදුජන පෙරමුණේ අයට පමණක් නොවෙයි, අනෙක් පක්ෂවල උදවියටත් පාරට බහින්න පුලුවන් වාතාවරණයක් තිබුණේ නැහැ. මේ තත්ත්වය තවදුරටත් ඉදිරියට ගියා නම් කලහාකාරීන් ගමේ බලය සියතට ගන්නවා. ඔවුන් උත්සාහ කළේ බිම් මට්ටමේ බලය අල්ලා ගැනීමටයි.

මේ අභියෝග පරාජය කරමින් ක්‍රමානුකූලව රට ඉදිරියට ගෙන ඒමට මට හැකි වුණා. මේ ගමනේදී විරෝධතා මෙන්ම උද්ඝෝෂණවලට ද අපට මුහුණ දීමට සිදු වුණා.

මේ පසුබිම තුළ පළාත් පාලන මැතිවරණය පැමිණියා. නමුත් ඒ සඳහා එදා මුදල් වෙන්කර දීමට ශක්තියක් තිබුණේ නැහැ. එදා ඒ ඡන්දයට වඩා මුදල් වෙන් කරමින් ප්‍රමුඛත්වය දිය යුතු කාරණා ගණනාවක් තිබුණා. ඖෂධ, ඉන්ධන ආදිය ආනයනය සඳහා මුදල් වැය කිරීමට සිදුව තිබුණා.

ඒ අවස්ථාවේ එවකට පැවති මැතිවරණ කොමිසම පළාත් පාලන ඡන්දය සම්බන්ධව නීතිපතිතුමාගෙන් උපදෙස් නොගෙන සාලිය පීරිස් මහතාගෙන් උපදෙස් ලබා ගත්තා. එය වැරදි ක්‍රියාවක් බව කිව යුතුයි. කෙසේ හෝ පසුව එහි සාමාජිකයින් ඉල්ලා අස් වුණා. අලුත් කණ්ඩායමක් පත් වුණා. ඒ අවස්ථාවේදීද මා සත්‍ය ප්‍රකාශ කළා. පළාත් පාලන ඡන්දය පැවැත්වීමට රටේ මුදල් නැති බව මා නැවත ප්‍රකාශ කළා.

මේ ආකාරයට ක්‍රියා නොකර, ආර්ථිකය ගොඩ නැඟීම පසක තබා ඡන්දය පැවැත්වීමට මා ක්‍රියාකළා නම්, අද මේ රට පත්ව තිබෙන ඛේදනීය තත්ත්වය ගැන ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. එහෙම කළා නම් එදා රට තිබූණ තැනින් ගොඩ ඒමට හැකි වෙයිද? අස්වැසුමට සමෘද්ධිය මෙන් තුන් ගුණයක් මුදල් වෙන් කරන්න පුළුවන් වෙයිද? උරුමය සින්නක්කර ඔප්පු ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න හැකි වෙයිද? එහෙම වුනා නම් මේ එකක්වත් අපට කරන්න හැකි වෙන්නේ නැහැ.

කෙසේ හෝ මේ අභියෝග මතින් ඉදිරියට පැමිණ රටේ ආර්ථිකය ශක්තිමත් පදනමක් ඔස්සේ ඉදිරියට ගෙන ඒමට අපට හැකි වී තිබෙනවා. ඒ නිසාම අද ජනතාව අතේ මුදල් තිබෙනවා. මේ රටේ දුක් විඳින සාමාන්‍ය ජනතාවට යම් සහනයක් ලබා දීමට මට අවශ්‍ය වුණා. ඒ අනුව ඔවුන්ට අස්වැසුම ලබා දීමට කටයුතු කළා. සහල් කිලෝ දහය බැගින් ලබා දුන්නා. උරුමය වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් අයිතිය ලැබුණා. මහල් නිවාසවල ජීවත් වන අයට නිවාස අයිතිය ලබා දෙනවා. ඒ වගේම කෘෂි නවීකරණ වැඩසටහන ද ආරම්භ කර තිබෙනවා.

විමධ්‍යගත අයවැය මඟින් බිම් මට්ට‍මේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් වෙන් කර දීමට අපට හැකි වුණා. මෙම ක්‍රියා මාර්ග නිසා ජනතාවට අද සහනයක් ලැබී තිබෙනවා.

එදා රටේ විශාල පිරිසක් ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණට තමන්ගේ ඡන්දය ලබා දෙන බවයි. නමුත් අද ඒ තත්ත්වය වෙනස් වී තිබෙනවා. ඒ අය අද වන විට හොයා ගන්නත් නැහැ. තවත් කොටසක් සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය දෙන බව ප්‍රකාශ කළා. අද ඔවුන්ද නිහඬයි. අප දියත් කළ ශක්තිමත් වැඩපිළිවෙල නිසා ඔවුන්ට ජනතාව අතරට යාමට නොහැකි වී තිබෙනවා. අප ඇතිකර තිබෙන බලවේගයට ඔවුන්ට මුහුණ දීමට නොහැකි වී තිබෙනවා.

ඊට ඔවුන් ළඟ පිළිතුරු නැහැ. නමුත් අපේ ව්‍යාපාරය තාම ආරම්භ කළා පමණයි.

අද මෙහි රැස්ව සිටින ඔබ සියලු දෙනාට අසාධාරණයක් සිදුව තිබෙන බව අප පිළිගන්නවා. මේ සම්බන්ධව නීතිපතිතුමා සමඟ සාකච්ඡා කිරීමට අප සැලසුම් කර තිබෙනවා. කෙසේ හෝ එළඹෙන ඡන්දයෙන් පසු දැනට පනවා තිබෙන තහනම ඉවත් කිරීමට අප පියවර ගන්නවා. නාම යෝජනා භාර දී අවුරුද්දක් ගත වූ පසු නැවත ඡන්දය පැවැත්විය නොහැකියි. අලුත් අයටද තරග කිරීමට අවස්ථාව දිය යුතුයි. 1988 ප්‍රාදේශීය සභා ඡන්ද සඳහා නාමයෝජනා භාරගත් අයුරු මට මතකයි. නමුත් ඒ කාලය තුළ ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල නිසා එම නාම යෝජනා සියල්ල අහෝසි කර අලුතින් නාමයෝජනා කැඳවනු ලැබුවා.

මේ අනුව අලුතින් ක්‍රියාකර ඔබ සියලු දෙනාට සාධාරණය ඉටු කිරීමට අප ඉදිරියේදී කටයුතු කරනවා. ප්‍රාදේශීය මට්ටමින් ජනතාව අතරට යෑමට ඔබට අද හොඳ තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. එයින් ප්‍රයෝජන ගෙන ජනතාව අතරට ගොස් ඒ අය සමඟ සත්‍ය කතා කරන්න. අප පැමිණි කටුක ගමන ගැන ජනතාව තුළ තිබෙන අවබෝධය තවත් වැඩි කරන්න පියවර ගන්න. ඔබට එය කළ හැකියි.

ජනතා විමුක්ති පෙරමුණට හෝ සමඟි ජනබලවේගයට රටේ ප්‍රශ්න නිරාකරණය කර ජනතාවට යහපත් අනාගතයක් ගොඩ නඟා දීමට පැහැදිලි වැඩපිළිවෙළක් හෝ දර්ශනයක් නැහැ. ඔවුන් ගෙන යන බොරුව දැන් ජනතාවට අවබෝධ වී තිබෙනවා. බොරුවෙන් රටක් ඉදිරියට ගෙනයන්න බැහැ. සිංගප්පූරුව, ජපානය වැනි රටවල් ඉදිරියට පැමිණි ආකාරයට ශ්‍රී ලංකාව දියුණු කරන්නේ කෙසේද කියා අප බැලිය යුතුයි. දේශපාලන ක්‍රමය රටට සුදුසු ආකාරයට ගොඩ නැඟිය යුතුයි. පක්ෂ කිහිපයක් තිබිය හැකියි. එහෙත් අරමුණ එකක් විය යුතුයි.

දේශපාලන පක්ෂ එකට වැඩ කරන අවස්ථා මෙන්ම වෙන්ව වැඩ කරන අවස්ථා තිබිය හැකියි. නමුත් එක රාමුවක එකට එකතු වී වැඩ කිරීමටද හැකි විය යුතුයි.

අද මේ රටේ තවත් ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන්නේ විරැකියාවෙන් පෙළෙන තරුණ තරුණියන් හට රැකියා අවස්ථා ඇති කර දීමයි. එම කටයුතු අතර 25%ක් පමණ වන රටේ දිළිඳු ජනතාවද අමතක කළ නොහැකියි. ජනතාව එම තත්ත්වයෙන් මුදවා ගැනීමට අප ක්‍රියා කළ යුතුයි. ඒ සඳහා විවිධ ආර්ථික වැඩසටහන් තිබෙනවා. ඒවා ක්‍රියාත්මක කර ග්‍රාමීය මට්ටමේ තිබෙන දිළිඳු ජන සංඛ්‍යාව අඩු කිරිම සඳහා අප සැලසුම් සහගතව ක්‍රියා කළ යුතුයි.

කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත අප මේ වන විට සම්මත කර තිබෙනවා. කාන්තා නියෝජනය වැඩි කිරීමටද අප පියවර ගනු ලැබුවා. ඒ වගේම පළාත් සභා පැරණි ක්‍රමයට යා යුතු බවට එම්. ඒ සුමන්තිරන් මන්ත්‍රීතුමා යෝජනාවක් ඉදිරිපත් කර තිබුණා. එම යෝජනාව සඳහා මගේ විරුද්ධත්වයක් නැති බව ප්‍රකාශ කළ යුතුයි. නමුත් එහිදීද කාන්තා නියෝජනය ඇතුළත් කළ යුතු බව අප දැනුම් දී තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ සහ සමඟි ජනබලවේගය මේ වන විට ජනාධිපතිවරණය වෙනුවෙන් තම සංවිධාන කටයුතු ආරම්භ කර මාස හයක් පමණ වනවා. වසරක් පමණ ඔවුන් දුවලා තිබෙනවා. ඔවුන් තවත් දිවිය යුතුයි. අපි වෙලාවට අපේ වැඩ කටයුතු ආරම්භ කරමු. මට කිසිම සැකයක් නැහැ අපි ජය ගන්නවා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා,

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලෙස ආණ්ඩුව ගෙන යන සියලු දේශපාලන පක්ෂ සෑම සඳුදාවකම සාකච්ඡාවක් පවත්වනවා. පළාත් පාලන නියෝජිතවරු හමුවීමට අවශ්‍ය බවට එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් සිදු කළා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හැමදාම විශ්වාස කළේ පක්ෂයේ අනන්‍යතාවය රැකගෙන ඉදිරියට යා යුතු බවයි. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාත් පළාත් පාලන මන්ත්‍රීවරුන් පිළිබඳව විශ්වාසයක් ඇතිව කටයුතු කළා.

2015 වසරේ මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් වූ වෙලාවේ එතුමා නැවත බලයට පත් කිරීමට වෙහෙස මහන්සි වී වැඩ කටයුතු කළේ පළාත් පාලන මන්ත්‍රීවරුයි. ඒ නිසා තමයි අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාත් පළාත් පාලන නියෝජිතවරුන් හමුවී ඔවුන්ගේ අදහස් ලබා ගැනීමට කටයුතු කර තිබෙන්නේ. අපේ පළාත් පාලන නියෝජිතවරුන් හැමදාම රට වෙනුවෙන් කටයුතු කළා. එම නිසා ඔවුන්ගේ සහාය ජනාධිපතිතුමාට ලබා ගැනීමෙන් ඉදිරි මැතිවරණවල ජය තහවුරු කරගත හැකියි .

රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා,

මීට වසර දෙකකට පෙර අද වගේ දවසක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳ විශ්වාසයක් තබා ඡන්ද 134 ක් පාර්ලිමේන්තුවේ දී ලබාදී අප එතුමව ජනාධිපති ධූරයට අප පත්කළා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආශීර්වාදය ඇතිව ඔබතුමා පත් කර ගැනීමට හේතුව වුණේ ප්‍රජාතන්ත්‍රවාදීව රට ගොඩනැඟීමට ඔබතුමාට තිබෙන හැකියාව පිළිබඳව අපේ පැවති විශ්වාසයයි. අද වන විට ඕනෑම කෙනෙකුට දේශපාලනය කරන්න හැකි පරිසරයක් රට තුළ නිර්මාණය වී තිබෙනවා.රට ආර්ථික බංකොලොත්භාවයෙන් ගොඩ ගැනීමටද ඔබතුමාට හැකි වුණා.
ඔබතුමා කවදාවත් බොරු පොරොන්දු දීලා නැහැ. ජනාධිපතිතුමා යමක් පැවසුවොත් ඒ දේ කෙසේ හෝ ඉටු කරනවා. ඒ තමයි පරිණත දේශපාලන නායකුගේ ස්වභාවය.

අපේ විශ්වාසයට ඔබතුමා නියම පිළිතුරක් ලබාදී තිබෙනවා. අප තැබූ විශ්වාසය ඔබතුමා අබමල් රේණුවකින්වත් පළුදු කළේ නැහැ. ඒ පිළිබඳ අපේ ස්තුතිය සහ ගෞරවය ඔබතුමාට පුද කරන්න කැමතියි. දේශපාලනයේදී තීන්දු තීරණ ගන්නා ආකාරය පිළිබඳව ඔබතුමා අපට දේශපාලන ගුරුහරුකම් ලබා දුන්නා. මට පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වීම් ලබා දෙන විට පළාත් පාලන මැතිවරණය අත ළඟ තිබුණේ.එදා රට තිබුණේ ඉතා අමාරු තැනකයි. 90,000ක් පමණ එදා නාම යෝජනා භාර දී තිබුණා. එම නාම යෝජනා භාරදුන් දේශපාලන පක්ෂ අද නැහැ. එදා නාමයෝජනා භාරදුන් බොහෝ පිරිස් අද මේ රටේ වත් නැහැ.

පළාත් පාලන ආයතන වලට පත් කර තිබූ 8400ක පමණ පිරිසකගේ රැකියා ස්ථිර කිරීමට බොහෝ අපහසුතා තිබුණා. නමුත් ජනාධිපතිවරයා ඒ සඳහා මැදිහත්ව අවශ්‍ය කටයුතු සිදු කර ඒ අහිංසක සේවකයන් ස්ථිර කිරීමට කටයුතු කළා. ඒ අනුව එම පිරිස විශ්‍රාම වැටුප සහිතව රැකියාවේ ස්ථිර කිරීමට හැකි වුණා. පළාත් පාලන අමාත්‍යාංශයේ තිබෙන අඩුපාඩු කඩිනමින් නිවැරදි කිරීමටද ජනාධිපතිවරයා කටයුතු කළා. රාජ්‍ය නායකයා හැටියට රනිල් වික්‍රමසිංහ මහතා ගත් එඩිතර තීන්දු තීරණ නිසා අද දේශපාලන මැතිවරණ පැවැත්වීමට හැකි පරිසරයක් නිර්මාණය වී තිබෙනවා. එම තත්ත්වය ඉදිරියටත් පවත්වාගෙන යාමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඊළඟ වසර පහත් ලබාදීම සඳහා පළාත් පාලන නියෝජිතයන් වශයෙන් ඔබ කැපවීමෙන් කටයුතු කළ යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා,

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රකාශ කළ ආකාරයට රට ගමන් කරන්නේ අලුත් මාවතකයි. ඔබ රනිල් වික්‍රමසිංහ නැමැති ජාතික නායකයා බිහිකළේ පාට පක්ෂ අනුව නොවෙයි. ඒ සඳහා ඔබ දැවැන්ත කැප කිරීමක් සිදු කළා. ඔබේ නිවාස, දේපොළ සහ ඔබේ අනාගත දේශපාලන ව්‍යුහයන් පවා ඒ නිසා අහිමි වුණා. ඒ වෙනුවෙන් කැපවූ ඔබ සියලු දෙනාටම අපගේ ගෞරවයත් ස්තූතියත් හිමිවනවා.

මීට වසර දෙකකට පෙර අද වැනි දිනයක ඔබ සියලු දෙනාම නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ඊට සහය දැක්වූ සියලු පක්ෂවල නායකයින් සහ මන්ත්‍රීවරුන් එක්ව පාර්ලිමේන්තුවේදී ඡන්ද 134ක් ලබා දෙමින් මේ රටේ අටවැනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මැතිතුමා තෝරා පත්කර ගත්තා. එක්සත් ජාතික පාක්ෂිකයින් ලෙස දීර්ඝ කාලයක් අප ඒ සඳහා උත්සාහ කළත් අපට එය නොහැකි වුණා. නමුත් ඔබ එය සිදු කළා. අප එය අමතක කළ යුතු නැහැ. මා දන්නා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කෘතවේදී නායකයෙක්. ඒ නිසා අප බොහොම කල්පනාවෙන් මේ ගමන යායුතුයි.

ජනාධිපතිවරණය ඔක්තෝබර් 17 වැනිදාට ප්‍රථම පැවැත්විය යුතුයි. අප ඒ සඳහා සූදානම් වන විට ඔබ අප පිළිතුරු ලබා දිය යුතු ප්‍රශ්න තිබෙනවා. ඒ ඇතැමුන්ට සටන්පාඨ නොමැති නිසා ජනාධිපතිවරණය කල්දැමීමේ සූදානමක් පවතිනවා යැයි ප්‍රකාශ කිරීම නිසයි. අපට එවැනි කිසිඳු අවශ්‍යතාවක් නැහැ. 22 වැනි සංශෝධනය ඉදිරිපත් කරන්නේ මැතිවරණය කල්දැමීමේ අරමුණින් බව ඔවුන් චෝදනා කරනවා.එම පිරිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තිය හොඳින් කියවාගත යුතුයි. ජනාධිපතිවරණයට එහි කිසිඳු අදාළත්වයක් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කර ඇත්තේ සිදුවී ඇති වරද නිවැරදි කිරීම සඳහා පමණයි. අප සියලු දෙනා එක්ව සිටින නිසා මේ පවත්වන ජනාධිපතිවරණයේදි ලංකා ඉතිහාසයේ ඓතිහාසිකම ජයග්‍රහණය බවට එය පත්වන බව මා ප්‍රකාශ කළ යුතුයි.

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතීඥ ප්‍රේමනාත් සී. දොලවත්ත, නීතීඥ මධුර විතානගේ, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර,හිටපු නගරාධිපති නන්දන ගුණතිලක යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලු තවත් පක්ෂ නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවල හිටපු නගරාධිපතිවරුන්, උප නගරාධිපතිවරුන්, සභාපතිවරුන් සහ උප සභාපතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

රනිල්ට අනුරට හීනෙන්වත් හිතන්න බැරි ඩොලර් කන්දක් මාතෘ භූමියට ගේනවා.. ණය නොවේ තනිකරම ආධාර…

wedivistara

අනුර ජයග්‍රහණය කල පසු රට ගොඩනැගීම ඔහුගේම පමණක් කාර්යයක් නොව මෙරට සියලු පුරවැසියන්ගේ ඒකාබද්ධ කාර්යයක්...

wedivistara

රනිල්ට එරෙහිව සිරිකොතෙන් කුමන්ත‍්‍රණයක්.. මැතිවරණයට එජාපයෙන් සහායක් නෑ..

wedivistara

සජිත් කිසිම නාලිකාවක සජීව සංවාදයකට නෑ…

wedivistara

අනුර ජනතාවගෙන් සමාව ගත යුතු බව ජනපති යාපනයේදී කියයි

wedivistara

මැතිවරණ පැමිණිලි 2600 ඉක්මවයි

Trending
wedivistara

දෙමළ ඡන්ද මාගෙන් උදුරාගැනීමට සජබය දැරූ උත්සාහය අසාර්ථක වෙලා - ජනපති

wedivistara

සජිත්ගේ ඉංග‍්‍රිසි දැනුම ඉතා ඉහලයි.. ෂේක්ස්පියර් පවා සජිත්ගෙන් ටියුෂන් ගත්තා..

wedivistara

මැතිවරණ කොමිසමෙන් බාධා.. රනිල් මහජන රැලි තිහක් කපා හරී…

wedivistara

රට රැකියාවලට යන අයට පුහුණු ගාස්තු රජයෙන්

wedivistara

මාලිමා 40GW සුලං බලාගාරවලට ලංකාවෙන් අවම 10%ක් උපරිම 25%ක් යයි…

wedivistara

ජූලි අවසානයේ දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5.7ට නගී


NEWS ALERT