Local

සමන් බෙලිඅත්තෙදි මරලා කියලා නිවුස්වලට කියද්දි තමයි -පුතා එයත් එක්ක හිටි බව දන්නේ

Wednesday, 24 January 2024 - 8:06 am

පස් පුද්ගල ඝාතනයේදී මියගිය ගැට්ටුවානේ බුද්ධිකගේ මව හඬා වැලපෙයි

“පුතා සමන් පෙරේරා කියන කෙනත් එක්ක ඔය ගමන ගියා කියලා ගෙදර අපි කවුරුත්ම දැනගෙන හිටියේ නැහැ. බෙලිඅත්ත නගරයේදී වෙඩි තියලා සමන් කියන කෙනා මරලා තියෙනවා කියලා ප්‍රවෘත්තිවලට කියන කොට තමයි අපි දැනගත්තේ පොඩි පුතා ඉඳලා තියෙන්නේ එයාලා එක්ක කියලා”යැයි බෙලිඅත්ත නගරයේදී පෙරේදා (22) සිදු වූ පස් පුද්ගල ඝාතනයේදී මියගිය කුරුණෑගල ගැට්ටුවාන ප්‍රදේශයේ පදිංචිව සිටි බුද්ධික රාජපක්ෂ තරුණයාගේ මව පැවසුවාය.

කුරුණෑගල ගැට්ටුවාන මහින්ද පිරිවෙන් විහාරස්ථානය ආසන්නයේම පිහිටි නිවෙසක ජීවත්වූ 36 හැවිරිදි බුද්ධික අවිවාහක තරුණයෙකි. ඔහුට වැඩිමල් සොහොයුරන් දෙදෙනකු හා සොහොයුරියක සිටින අතර ඔහු පවුලේ බාලයාය. ඔහුගේ වැඩිමල් සොහොයුරාද කුරුණෑගල මහා නගර සභාවේ සේවය කරන කවුරුත් හොඳින් දන්නා හඳුනන බුද්ධික හා සමානවම සමාජශීලි අයකු ලෙස ප්‍රසිද්ධය. රැකියා විරහිත තරුණයකු වූ බුද්ධික අතට හසු වූ රැකියාවක් කරමින් ජීවිතය ගෙන ගිය අයකු බවද මියයන විට ඔහු කුරුණෑගල යග්ගපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන යන ආපණශාලාවක සේවය කරමින් සිටි බවද කියයි. ඔහු මෝටර් රථ සම්බන්ධයෙන්ද කාර්මික දැනුමක් සහිත අයෙකි.

නිශ්චිත රැකියාවක් නොකළ නිසාම ඔහු ප්‍රදේශයේ දේශපාලනඥයන් සමඟද සමීපව කටයුතු කරමින් ඔවුන්ගේ දේශපාලන කටයුතු සඳහා උදවු කරමින් සිටි තරුණයකු ලෙසටද ප්‍රසිද්ධ පුද්ගලයෙකි. මේ ආකාරයටම ඔහු ඝාතනයට ලක්වූ අපේ ජනබල පක්ෂයේ නායක සමන් ප්‍රසන්න පෙරේරාද සමීපව ඇසුරු කර තිබේ. තම නිවෙසට ආසන්නව සමන් පෙරේරාගේ නිවෙසද පිහිටා තිබීම හේතුවෙන් ඔහු නිතරම එම නිවෙසට ආගිය අයෙකි. මේ නිසාම සමන් පෙරේරාගේ පවුලේ සාමාජිකයන් ඔහු ඉතා සමීපව ඇසුරු කළ බවද කියයි. ඔහුගේ දේශපාලන කටයුතු සඳහා සහයෝගය දුන්නා සේම ඔහුගේ පවුලේ කටයුතු සඳහාද බුද්ධික නිරන්තරයෙන්ම සහයෝගය දැක්වූ බවද පැවසේ. මේ සබඳතාව නිසාම බුද්ධික සමන් පෙරේරා යන එන ගමන් සඳහාද නිතරම සහභාගි කරවාගෙන තිබේ. ඒ ඔහුගේ කටයුතු සඳහා සහාය පිණිස බව පැවසේ. ඒ අකාරයටම පෙරේදාත් ඔහු තම ගමනේ සහායකයකු ලෙස බුද්ධිකද කැඳවාගෙන ගොස් තිබූ බව මව වන පී.ජී. ජයවති (78) මහත්මිය අප සමඟ පැවසුවාය.

“පුතා හරිම අහිංසකයෙක්. ගමෙි හැමෝමත් එක්ක හරිම හිතවත්. ගමේ හැම වැඩකදීම මගෙ පුතා මහන්සි වෙලා වැඩ කළා. එයාට හිතවත් කවුරු හරි උදවුවක් ඉල්ලුවොත් හරි නැත්නම් ගමන් යනකොට යන්න අඬගැහුවොත් දෙපාරක් බලන්නේ නැතිව යනවා. ඒ විදියටම තමයි පුතා මේ සමන් කියන කෙනා එක්කත් මේ ගමන ගිහින් තියෙන්නේ. පුතා මේ ගමන යනවා කියලා අපි කවුරුත්ම දැනගෙන හිටියේ නැහැ. අඩුම ගානේ පුතාවත් මට කීවේ නැහැ එයත් එක්ක යනවා කියලා. බෙලිඅත්ත ටවුමේදී සමන් කියන කෙනා වෙඩි තියලා මරලා කියලා ප්‍රවෘත්තිවලට කියන කොට තමයි අපි දැනගත්තේ පුතත් එයාලත් එක්ක ඉඳලා තියෙනවා කියලා. මට මුලින්ම කීවේ පුතාගේ කකුලකට වෙඩි වැදිලා ඉස්පිරිතාලෙ ඉන්නවා කියලා. අනේ පස්සේ තමයි දැනගත්තේ මගේ පොඩි පුතත් වෙඩි වැදිලා මැරිලා කියලා.

“සමන් කියන්නේ පාතාල වැඩවලට සම්බන්ධ කෙනෙක් කියලාවත්, එයාට මරණීය තර්ජන තිබුණු බවක්වත් පුතා දැනගෙන සිටියේ නැතිව ඇති. ඒ නොදන්නාකම නිසාම තමයි අහිංසකයා නිකරුණේ පිට මිනිහෙක් වෙනුවෙන් ජීවිතය පූජා කළේ.”

ගැට්ටුවාන මහින්ද පිරිවෙන් විද්‍යායතනයේ අධිපති දෙබත්ගම පියසුමන හිමියන්ද පැවසුවේ බුද්ධික යනු කිසිවකුටත් වරදක් නැති කිසිදු චෝදනාවකට ලක් වී නැති අහිංසක තරුණයකු බවයි. ප්‍රදේශවාසීන් මෙන්ම තමන්ද මේ අහිංසක තරුණයාගේ අකල් මරණය සම්බන්ධයෙන් දැඩි ලෙස කනගාටු වන බවද උන් වහන්සේ පැවසූහ.

අප යන විටද බුද්ධිකගේ මෘත දේහය නිවෙසට ගෙනැවිත් නොතිබුණු අතර, ප්‍රදේශවාසීන් ⁣මෙන්ම කුරුණෑගල මහා නගර සභාවේ කාර්ය මණ්ඩල සාමාජිකයන් බොහෝ දෙනකුද ඔහුගේ දේහය පිළිගැනීමට නිවෙස හා පිවිසුම් මාර්ගයද සකස් කරමින් සිටින අයුරු දැකගත හැකි විය.

ඝාතනයට ලක් වූ ජනබලවේගය පක්ෂයේ නායක සමන් ප්‍රසන්න පෙරේරා පාතාල ක්‍රියාකාරකම්වලට සමිබන්ධ වූවකු බවට අනාවරණය වීමෙන් පසු ඔහු පිළිබඳ දැන සිටි කුරුණෑගල ප්‍රදේශයේ ජනතාව දැඩි විමතියක් පළ කරති.

දෙදහස් පහ වසරේදී පමණ දකුණේ සිට කුරුණෑගලට පැමිණ ඇති සමන් පෙරේරා ඔහු වර්තමානයේ පදිංචිව සිටින කුරුණෑගල ආඳාගලවත්⁣තට ආසන්නයේ පිහිටි කුඩා නිවෙසක් කුලියට ගෙන තම බිරිය සහ පුතුන් දෙදෙනා සමඟ එහි පදිංචිව සිට ඇත. කුඩා දරුවන් දෙදෙනා යග්ගපිටිය ප්‍රදේශයේ පිහිටි ජාත්‍යන්තර පාසලකට ඇතුළත් කර ඔවුන්ට අධ්‍යාපනය දී තිබිණි. ඉන් අනතුරුව ක්‍රමයෙන් දේශපාලනයට පිවිසි ඔහු ටික කලකින් තම කුලී නිවෙස ආසන්නයේම වෙන්දේසි ඉඩමකින් බිම් කොටසක් මිල දී ගෙන එහි තෙමහල් සුපිරි නිවෙසක් ගොඩ නඟා ඇත. කුරුණෑගල පැමිණි පසුව ත්‍රිරෝද රථයක් භාවිත කළ ඔහු වසර ගණනාවක ඇවෑමෙන් කෝටි ගණනක් වටිනා සුපිරි ඩිපෙන්ඩර් රථයක හිමිකරුවකු බවටද පත් වූයේ ප්‍රදේශයේ ජනතාවටද ප්‍රශ්නාර්ථයක් ඇති කරවමිනි. ඔහුට හිතවත් විදේශිකයකු ඔවුන් සමඟ රැඳී සිටිමින් දියුණුව සඳහා උදවු උපකාර කරන බවටද ප්‍රචාරය වී තිබෙන බවද ජනතාව කියති.

ඔහු නායකත්වය දැරූ දේශපාලන පක්ෂයේ මුල් පෙළේ සාමාජිකයන් වූ ගලගොඩඅත්තේ ඥානසාර සහ අතුරලියේ රතන හිමිවරුන් ඔහුගේ නිවෙසට යන එන ආකාරය ප්‍රදේශවාසීන්ට පසුගිය දේශපාලන සමයේ දුටු සුලබ දසුනක් විය. ⁣ක්‍රියාකාරි දේශපාලනඥයකු වුවද ඔහුට හිතවත් ක්‍රියාකාරි දේශපාලන නියෝජිතයන් කුරුණෑගල ප්‍රදේශයේ නොවූහ. ප්‍රදේශයේ වුවද ඔහු ඇසුරු කර තිබුණේ ඉතා සුළු පිරිසකි. ප්‍රදේශයේ මාධ්‍යවේදීන් පවා ඔහු ඇසුරු නොකිරීමද විශේෂත්වයකි. ඔහු බොහෝ විට තම දේශපාලන අදහස් තොරතුරු ඉදිරිපත් කළේ කුරුණෑගල මඟහැර කොළඹට ගොස්ය.


Top Stories
wedivistara

වෙසක් උත්සවය වෙනුවෙන් සුරාසල් දින 03 ක් වැසෙයි

wedivistara

නීතිඥ කාමරයේ තිබූ ලැප්ටොප් එක උස්සලා

wedivistara

FitsAir ගුවන් සමාගම, ව්‍යාපාරික පන්තිය හඳුන්වා දෙයි

wedivistara

Hayleys Solar Powers වෙළෙඳපොළට හඳුන්වා දෙයි

wedivistara

තොරතුරු තාක්ෂණය ආර්ථිකයේ ප්‍රමුඛ අපේක්ෂාවක්

wedivistara

කෝටි දෙකක මංකොල්ලයක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT