පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන් ඇතුළු විවිධ පුද්ගලයන්ට ව්‍යාජ තොරතුරු යොදා විදෙස් ගමන් බලපත්‍ර සකස් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙෙළඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන ඒකකය විසින් කරනු ලබන පරීක්ෂණයකට අදාළව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියකු ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිතය.
එසේ ව්‍යාජ තොරතුරු යොදා සකස් කර ඇති විදෙස් ගමන් බලපත්‍ර අතර කෝරාලගමගේ මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේ නමැති අයගේ විදෙස් ගමන් බලපත්‍රයද ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇත.
මෙම පාතාල අපරාධකරුට ව්‍යාජ ලෙස විදෙස් ගමන් බලපත්‍ර සකස් කර දීමට මැදිහත්කරුවන් වූ ඡායාරූප ශාලා හිමිකරුවන් දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 23 වැනිදා අත්අඩංගුවට ගත්තේය.
කොළඹ, අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ දී ගණේමුල්ලේ සංජීව ඝාතනය, ගම්පහ අධිකරණය ආසන්නයේ දී පස් පොඩ්ඩා ඇතුළු සිවු දෙනෙක් මෝටර් රථයක් තුළ වෙඩි තබා ඝාතනය ඇතුළු ඝාතන රැසක් විදේශයක සිට මෙහෙයවා ඇතැයි අනාවරණය වී ඇත්තේ “කෙහෙල්බද්දර පද්මේ” නමැති පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුය. මෙම පාතාල අපරාධකරු 2014 වසරේ දී ලබාගත් විදෙස් ගමන් බලපත්‍රයකින් 2021 වසරේ දී ඩුබායි රාජ්‍යය බලා ගොස් තිබිණි. මේ වනවිට ඔහු යුරෝපීය රටක රැඳී සිටින බව සඳහන්ය. ජාත්‍යන්තර පොලීසිය මගින් ඔහුට එරෙහිව රතු නිවේදනයක් ද නිකුත් කර තිබේ. එම රතු නිවේදනය නිකුත් කර ඇත්තේ 2021 වසරේ දී ඔහු රටින් පිටවීමට යොදාගත් විදෙස් ගමන් බලපත්‍රයේ තොරතුරු ද ඇතුළත් කරමිනි.
මෙම විදෙස් ගමන් බලපත්‍රය 2024 වසරේ දී කල්ඉකුත්වීම මත එය අලුත් කරවා ගැනීමට ඔහු විදේශගතව සිටියදීම කටයුතු කර ඇති බව අනාවරණය වී තිබේ. ඒ සඳහා ඔහුගේ ඡායාරූපයක් සමඟ ව්‍යාජ නම් ගම් සහිත තොරතුරු ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත යොමුකර විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කරගෙන ඇති බව ද විමර්ශනයේ දී අනාවරණය වී ඇත. එම විදෙස් ගමන් බලපත්‍රය සකස් කරගෙන ඇත්තේ ද එක්දින සේවාව මඟින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම විදෙස් ගමන් බලපත්‍රයට අමතරව 2025 වසරේ ද තවත් විදෙස් ගමන් බලපත්‍ර දෙකක් ඔහුගේ මුහුණ යොදා වෙනත් නම්වලින් සකස් කර ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙළිකරගෙන ඇත. ඒ අනුව මෙම විදෙස් ගමන් බලපත්‍ර 03 සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවයේ නිරත දූෂිත නිලධාරීන් කිහිප දෙනකුගේ සහාය ඇතිව මෙම විදෙස් ගමන් බලපත්‍ර සකස් කරගෙන ඇති බවය. රුපියල් මිලියන ගණනක මුදලක් ඒ වෙනුවෙන් හුවමාරුවී ඇති බව ද පෙනී ගොස් තිබේ.
දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් හෙළිකරගෙන ඇත්තේ මෙම ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර සඳහා ඡායාරූප ඇතුළු ලියකියවිලි ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇත්තේ බත්තරමුල්ලේ සහ කොහුවල පිහිටි ඡායාරූප ශාලා දෙකක් ඔස්සේ බවය. ඒ අනුව එම ඡායාරූප ශාලා හිමිකරුවන් දෙදෙනා පසුගිය 23 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ප්‍රශ්න කිරීමකින් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ වට්ස් ඇප් ඔස්සේ කෙහෙල්බද්දර පද්මේ විසින් එවූ ඡායාරූප සංස්කරණය කර ව්‍යාජ තොරතුරු සමඟ ආගමන විගමන දෙපාර්තමේන්තුවට යොමු කිරීම සම්බන්ධයෙනි.
එම ඡායාරූප සහ තොරතුරුවලට අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවයේ නිරත දූෂිත නිලධාරීන් කිහිපදෙනකුගේ සහාය ඇතිව ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර සකස් කර ඇති බවත් ඒ සඳහා ව්‍යාජ ජාතික හැඳුනුම්පත් සහ උප්පැන්න සහතික පවා යොදාගෙන ඇති බව පෙනී ගොස් තිබේ. විදෙස් ගමන් බලපත්‍රයේ අයදුම්කරු සජීවී ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිට එක් දින සේවාව මඟින් විදෙස් ගමන් බලපත්‍ර සකස් කර නිකුත් කළ නිලධාරීන් කවුරුන්දැයි පැහැදිලිවම මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන ඇති බව සඳහන්ය. තවත් සක්ෂි කිහිපයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව ඒ අය අතරින් පළමු නිලධාරියාව වැඩිකල් නොගොස් අත්අඩංගුවට ගන්නා බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
කෙහෙල්බද්දර පද්මේට අමතරව විදෙස්ගතව සිටින තවත් පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන් කිහිප දෙනෙක්ට ද ව්‍යාජ තොරතුරු යොදා විදෙස් ගමන් බලපත්‍ර සකස් කර ඇති බව ද විමර්ශනවලින් පෙනී ගොස් තිබේ. ඒ සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන පවත්වයි.
කෙහෙල්බද්දර පද්මේට ව්‍යාජ තොරතුරු යොදා විදෙස් ගමන් බලපත්‍ර තුනක් සකස් කර දීමට සම්බන්ධ වූ ඡායාරූප ශාලා හිමිකරුවන් දෙදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පසුගිය 23 වැනිදා ඉදිරිපත් කර ඇත. එහි දී ඔවුන් දෙදෙනා ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ගයාන් කුමාර වීරසිංහ