Local

රට ආර්ථික පරිවර්තනයක් කරා ගෙන යාමට නම් ලොවට ගැළපෙන නව අධ්‍යාපන ක්‍රමවේදයක් අවශ්‍යයි

Wednesday, 14 February 2024 - 2:25 pm

  • වෘත්තිකයන් බිහිකළ හැකි අධ්‍යාපන ක්‍රමයක් ඉදිරියේදී ඇති කරනවා – 2024 වර්ෂයට අදාළ පාසල් පෙළ පොත් හා නිල ඇඳුම් රෙදි බෙදාදීමේ ජාතික වැඩසටහනට එක්වෙමින් ජනපති පවසයි.

රට ආර්ථික පරිවර්තනයකට යොමු කිරීමට නම් ලොවට ගැළපෙන නව අධ්‍යාපන ක්‍රමවේදයක් අවශ්‍ය බවත්, එමඟින් තරගකාරී ලෝක වෙළෙඳපොළට අවශ්‍ය වෘත්තිකයන් බිහිකළ හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේය.

විභාග බර අඩුකර ඉංග්‍රීසි සහ තාක්ෂණ විෂයන් අධ්‍යාපන ක්‍රමයට ඇතුළත් කරමින් රැකියාවට සුදුසු දරුවෙක් බිහි කිරීමට අපේක්ෂා කරන බවත්, නව වෘත්තීය විද්‍යාල හා තාක්ෂණ විශ්වවිද්‍යාල ඇති කිරීමට සැලසුම් කර තිබෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ අද (14) පෙරවරුවේ පැවති පිරිවෙන් හා පාසල් සිසු සිසුවියන්ට නොමිලේ පාසල් පෙළ පොත් හා පාසල් නිල ඇඳුම් රෙදි බෙදාදීමේ ජාතික වැඩසටහනට එක්වෙමිනි.

මෙම පාසල් පෙළපොත් හා නිල ඇඳුම් රෙදි ලබාදීමේ වැඩසටහනට සමගාමීව දිවයිනේ පාසල් 10,126ක සිසු දරුවන්ට හා පිරිවෙන් 822ක ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට සහ සිල් මාතාවන්ට පෙළපොත් හා නිල ඇඳුම් රෙදි ලබාදීම සිදු කෙරේ.

සංකේතාත්මකව ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා සහ සිසු දරුවන් කිහිප දෙනෙකුට නිල ඇඳුම් රෙදි සහ පාසල් පෙළ පොත් බෙදාදීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ඈන් ක්‍රිස්ටීන් කන්‍යා සොයුරිය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ද සමරු තිළිණයක් පිළිගැන්වූවාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,

මගේ නිවස අවට පාසල් පහක් තිබෙනවා. ඒ මම අධ්‍යාපනය ලැබූ පාසල් දෙකක් වන රාජකීය විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය වගේම කාන්තා විද්‍යාලය, මහානාම විද්‍යාලය සහ මේ ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය ඒ අවට පිහිටා තිබෙනවා. එම නිසා අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට මට හැකි වී තිබෙනවා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලයේත් මෙම පාසලේ සංවර්ධන කටයුතු පිළිබඳ අප අවධානය යොමු කළා.

2022 වසරේදී රට තුළ ඇති වූ දරුණු ආර්ථික අර්බුදය නිසා අධ්‍යාපන ක්ෂේත්‍රය පමණක් නොව සෑම ක්ෂේත්‍රයක්ම කඩා වැටීමකට ලක් වුණා. පාසල් පෙළපොත් හා නිල ඇඳුම් රෙදි ලබා දීමට හැකියාවක් තිබුණේ නැහැ. එම ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට කිසිදු නායකයෙක් ඉදිරිපත් වුණේ නෑ. එම අවස්ථාවේදී මම එම අභියෝගය භාරගෙන රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කළා.

එම ආර්ථික වැඩපිළිවෙළ නිසා අද වන විට රට යම්කිසි ආර්ථික ස්ථාවරභාවයකට පත්වෙමින් තිබෙනවා. ඒ අනුව පාසල් නිල ඇඳුම් රෙදි සහ පාසල් පෙළ පොත් නියමිත කාලයට ලබා දීමට රජයට හැකි වුණා. ඒ සඳහා රුපියල් බිලියන 14කට වඩා වැඩි මුදලක් වැය කළා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කර නව අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ඇති කළ යුතුයි. ලෝකයට ගැළපෙන වෘත්තිකයන් නිර්මාණය කිරීමට අප අවධානය යොමු කළ යුතුව තිබෙනවා. රට ආර්ථික පරිවර්තනයකට යොමු කිරීමට නම් අධ්‍යාපන ක්‍රමවේදය ලොවට ගැලපෙන ආකාරයෙන් නිර්මාණය කළ යුතුයි. එමඟින් ලොවට ගැළපෙන වෘත්තිකයන් බිහි කළ හැකියි. ජාත්‍යන්තර වෙළෙඳපොළ සමඟ තරග කිරීමට එමඟින් හැකියාව තිබෙනවා. විභාග බර අඩුකර ඉංග්‍රීසි සහ තාක්ෂණ විෂයන් අධ්‍යාපන ක්‍රමයට ඇතුළත් කරමින් රැකියාවට සුදුසු දරුවෙක් බිහි කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා වෘත්තීය විද්‍යාල හා තාක්ෂණ විශ්වවිද්‍යාල ඇති කිරීමටද අපේක්ෂා කරනවා.

අප කිසිවෙක් 2022 මේ රට පැවති තත්ත්වයට නැවත යාමට කැමති නැහැ. ගෑස් පෝලිම් නැති, ඉන්ධන පෝලිම් නැති, ආහාර පෝලිම් නැති සමාජයක් තමයි අපි කවුරුත් බලාපොරොත්තු වන්නේ. එවැනි අඳුරු යුගයකට නැවත රට පත්නොවී ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කිරීමට අප කටයුතු කරනවා. ශක්තිමත් ආර්ථිකයක් සහිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළ දැන් ක්‍රියාත්මක කරමින් තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත,

මෙම ජාතික වැඩසටහනට සමගාමීව පළාත් 09 තුළ සියලු පාසල්වලට නිල ඇඳුම් රෙදි සහ පාසල්පෙළ පොත් ලබාදීම අද දින සිදු කරනවා. 2022 වසරේදී රට තුළ පැවති ආර්ථික අර්බුදය නිසා පාසල් නිල ඇඳුම් රෙදි හා පාසල් පෙළ පොත් ලබාදීම නියමිත දිනට සිදු කිරීමට නොහැකි වුණා. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයේ වැඩ භාර ගත් වහාම අධ්‍යාපන ක්ෂේත්‍රයේ අංශ හතරක්, එකම අමාත්‍යාංශයක් යටතට ගෙන මානව සම්පත කළමනාකරණය කරමින් දරුවන්ට විධිමත් අධ්‍යාපනයක් ලබාදීමට අදාළ පහසුකම් සම්පාදනය කළා.

අද ලබා දෙන පාසල් නිල ඇඳුම් රෙදි 80%ක් පරිත්‍යාග කළේ චීන රජයයි. ඉතිරි 20%ක ප්‍රමාණය ශ්‍රී ලංකා රජය විසින් දරනු ලැබුවා.

ඉන්දියානු ණය ආධාර ක්‍රමය අනුව ලැබුණු කඩදාසිවලින් පෙළපොත් මුද්‍රණය කිරීම එදා සිදුකළා. අද වන විට නියමිත දිනට පෙළ පොත් ලබාදීමට රජයට හැකි වී තිබෙනවා. රජයේ මුද්‍රණාලය මුද්‍රිණ කටයුතුවලින් පසුගිය වසරේදී ලාභයක් ඉපයීමටද සමත් වී තිබෙනවා.

සියලුම පාසල් සිසු දරුවන් වෙනුවෙන් පාසල් නිල ඇඳුම් රෙදි සහ පාසල් පෙළ පොත් ලබාදීම සඳහා රජය රුපියල් බිලියන 19ක් වැය කර තිබෙනවා.

ඒ වගේම කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය නිසා ප්‍රමාද වී තිබෙන සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග 2025 වසර වන විට නියමිත දින වකවානුවට පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සඳහා ජනාධිපතිවරයා විශාල දායකත්වයක් සපයනවා. ලොවට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් සකස් කිරීම වෙනුවෙන් එතුමා කැපවී සිටිනවා. මේ සියලු වැඩපිළිවෙළ සමඟ ලොව දිනන දරු පරපුරක් නිර්මාණය කිරීම අපේ බලාපොරොත්තුවයි.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර්, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිනි ගුණවර්ධන , බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක , අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, ග්‍රන්ථ ප්‍රකාශන කොමසාරිස් ඉසෙඩ්. තාජුඩීන් යන මහත්වරුන් ද, ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය සහ ගුරුවරුන්, සිසු දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT