Local

කිඹුලා, පුතාව කටේ තියාගෙන ටිකක් ඈතින් මතු වුණත් බේරගන්න කවුරුත් ගියේ නෑ – ආච්චි අම්මා හැඬූ කඳුළින් කියයි

Thursday, 18 January 2024 - 3:22 pm

දිස්නගේ සිරුර හමු වේ

කිඹුලකු විසින් ඩැහැගෙන ගිය දිස්න ප්‍රබෝද් දරුවාගේ සිරුර ඊයේ (17) රාත්‍රියේදී හමු වූ බව කඩුවෙල පොලිසිය පවසයි.

අදාළ සිද්ධිය වූ ස්ථානයේ සිට මීටර් 100ක් පමණ අඹතලේ දෙසට වන්නට තිබී දරුවාගේ සිරුර හමු වූ බවත්, සිරුරේ කිසිදු කොටසක් අඩුව ඇති බවට සලකුණක් නොතිබූ බවත් කිඹුලාගේ දත් පහරවල් කිහිපයක් ශරීරයේ තැනින් තැන තිබෙන ආකාරය දැක ගන්නට හැකි වූ බවත් කඩුවෙල පොලිසියේ උසස් නිලධාරි‍ෙයක් පැවසීය.

අදාළ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා දේහය කොළඹ ජාතික රෝහලට රැගෙන යෑමට නියමිත බවද එම උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය. කඩුවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කාන් වීරසිංහ මහතාගේ උපදෙස් පරිදි මරණය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිත වේ.  –මීගොඩ – බී.කේ. කත්‍රිආරච්චි

ගඟේ කිඹුලෝ ඉන්නවා කීවාට මෙහෙම අනතුරක් වෙලා නෑ: මට පෙනි පෙනී තමයි ඌ දරුවා අරන් ගියේ -දසුන්ගේ පියා හඬමින් කියයි

දැන් ජීවිතයක් නැති වෙලා ඉවරයි: ගඟේ අපි හිතනවට වඩා කිඹුල්ලු ඉන්න පුළුවන් – කඩුවෙල හිටපු නාගරික මන්ත්‍රී ධනවංශ උහන්ඕවිට

කීප සැරයක් දරුවා කටේ තියාගෙන උඩට ආපු කිඹුලා අන්තිමට එනකොට කටේ දරුවා හිටියේ නෑ -සුගත් චමින්ද පෙරේරා

මල්ලීගේ උපන්දිනය සමරා සතුටින් සිටි දිස්න සිය ආච්චි අම්මා සමඟ කැලණි ගඟේ පුරුදු තොටුපොළට ගියේ දියේ පීනා ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවෙනි. ආච්චි රෙදි සෝදද්දී දිස්න තවත් අසල්වාසී දරුවන් දෙදෙනකු ද සමඟ කැලණි ගංදියේ කිමිදී පිහිනමින් සිටියේය.

එහෙත් දිය යට මේ දරුවන් ඩැහැගැනීමට මාරයකු සැඟව සිටින බව කිසිවෙක් දැන සිටියේ නැත. දිස්නගේ මල්ලී සිටියේ ආච්චි ළඟමය. මෙතැන තව දෙතුන් දෙනෙක් හිටියා. දරුවො දෙන්නා සෙල්ලම් කර කර හිටියේ මට අඩි හතර පහක් දුරින්. එක පාරටම මොකක්ද වුණේ කියලා හිතා ගන්න බැරි වුණා. පොඩි පුතා මාත් එක්ක හිටපු ලේලිගේ අම්මා උස්සලා ගන්නවත් එක්කම ලොකු පුතා කිඹුලා අරන් ගියා. මම හයියෙන් කෑගැහුවා සුදු පුතේ පීනන්න ඉක්මනට පීනන්න කියලා. ඒත් පුතා නොපෙනී ගියා. වෙච්ච දේ හිතා ගන්න බෑ. මම කෑගැහුවා කිඹුලා ආවා පුතා ගොඩට එන්න කියලා. එතකොටම එයා ආච්චි කියලා කෑගැහුවා. මම දැක්කා එයා දිය යටට ඇදිල යනවා වගේ.

ඊට පස්සෙ පුතා කටේ තියාගෙන ටිකක් ඈතින් කිඹුලා මතුවුණා. අනේ බේරගන්න කවුරුත් ආවේ නෑ. මගෙ දිස්න ඌ අරන් ගියා. ඔය කිඹුලා මරන්න. නැතිනම් තවත් ජීවිත බිලි ගනීවි. ඒ ආච්චි අම්මා වන චන්ද්‍රිකා මහත්මියගේ හඬයි.

කැලණි ගඟේ කඩුවෙල, වැලිවිට සාන්ත අන්තෝනි මාවත තොටුපොළ දී පෙරේදා (16) සවස දිය නෑමට ගොස් සිටි 11 හැවිරිදි දිස්න ප්‍රබෝද් පෙරේරා දරුවා මෙලෙස කිඹුලකු ඩැහැගෙන ගොස් තිබුණි.

සිද්ධිය සැලවීමත් සමඟ ඒ ස්ථානයට පැමිණි කඩුවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් ප්‍රදේශවාසීන් හා එක්ව ගඟේ දරුවා සෙවීමේ කටයුතු ආරම්භ කළ අවස්ථාවේදී දරුවාගේ ශරීරය මැදින් කටේ රඳවාගත් කිඹුලා වරින් වර කීප වතාවක් ජලයෙන් උඩට පැමිණ නොපෙනී ගිය බව ප්‍රදේශවාසීහු පවසති.

තම මුණුබුරා වූ දිස්න ප්‍රමෝද් පෙරේරාට අත් වූ අවාසනාවන්ත සිද්ධිය ගැන සුමනාවතී මහත්මිය මෙසේ ද කීවාය.

Òමගෙ පුතාට දරුවෝ තිදෙනෙක් ඉන්නවා. මේ සිද්ධියට මුහුණ දුන්නේ එයාලගේ ලොකු පුතා. දෙවැනි පුතාගේ උපන් දිනය 16 වැනිදාට යෙදී තිබුණේ. ඒ නිසා ගෙදර කේක් කපන්න ඔක්කොම සැරසිලි කර තමයි දෙන්නත් එක්ක නාන්න ආවේ. ඒ මාත් එක්ක. 17 වැනිදා කට්ටියත් එක්කම සත්තු වත්ත බලන්න යන්න හිටියේ.Ó පුතා ගඟේ එගොඩ මෙගොඩ පීනනවා. කිඹුලා අල්ලගන්නවත් එක්කම පුතා “ආච්චී” කියලා කෑගැහුවා.

මියගිය දරුවාගේ පියා වන හිටපු නාවික හමුදා සාමාජිකයකු වූ ඉෂාර මධුසංක පෙරේරා මහතා –

Òමට දරුවෝ තිදෙනෙක් ඉන්නවා. ඔය සිද්ධියට මුහුණ දුන්නේ මගේ වැඩිමලා. කඩුවෙල, වැලිවිට සාන්ත අන්තෝනි විද්‍යාලයේ එයා ඉගෙන ගත්තේ. ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන්නේ ගිය අවුරුද්දේ. හොඳට පීනන්න පුළුවන්. ගඟේ කිඹුලෝ ඉන්නවා කියා දැනගෙන හිටියට කවදාවත් මෙහෙම අනතුරක් වෙලා තිබුණේ නෑ. මට පෙනි පෙනී තමයි මගේ දරුවා කිඹුලා අරගෙන ගියේ. දරුවෝ වෙනදටත් ගඟේ නාන්න එනවා. පොඩි පුතාගේ උපන්දිනේ රෑ තියෙන්න තිබුණ හින්දා හරිම සන්තෝසෙන් තමයි නාන්න ආවේ දෙන්නත් එක්ක. එයාගෙ අම්මා මේ දුක කොහොම දරා ගනීවිද කියන්න මං දන්නේ නෑ.Ó

දරුවාගේ ඥාතියකු වූ සුගත් චමින්ද පෙරේරා මහතා –

Òසිද්ධිය ආරංචි වුණු ගමන් මම විනාඩි දහයක් ඇතුළත වගේ ගඟ ළඟට ආවා. එතකොටත් කිඹුලා දරුවා කට මැද තියාගෙන ගඟේ ඉහළ පහළ යනවා. පොලිසියත් ආවා එවේලේ. කිඹුලට වෙඩි තියලා හරි දරුවා බේරගන්න තමයි උත්සාහ කළේ. ඒත් අවස්ථාවක් හම්බ වුණේ නෑ. කීප අවස්ථාවක් දරුවා කට මැද තියාගෙන උඩට ආපු කිඹුලා අන්තිම අවස්ථාවේ උඩට එනකොට උගේ කටේ දරුවා හිටියේ නෑ. එක්කෝ දරුවව හංගලා. නැත්තං දරුවා කිඹුලගෙ ග්‍රහණයෙන් මිදිලා. මගේ යාළුවො කට්ටියක් ඔරුවකින් කිඹුලා ඉන්න තැනට යනකොටම කිඹුලා යට ගියා. පස්සේ ගඟෙන් එගොඩ පට්ටියවිල ජල පවිත්‍රාගාරය අසල රාත්‍රි කාලයේ වරින් වර කිඹුලා උඩට ඇවිත් ඉන්නවා දැක්කා. අලුයම් කාලයෙත් ආයෙත් උඩට ඇවිත් හිටියා.Ó

නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් ද ඊයේ (17) තොටුපොළට පැමිණ පැය කීපයක් තිස්සේ ගඟේ කිමිදී දරුවාගේ සිරුර හෙවුවත් සොයා ගැනීමට නොහැකි විය.

මේ සිදුවීම වුණේ අඟහරුවාදා සවසය. සඳුදා සිය මල්ලීගේ උපන් දින සැමරුම නිවසේ තිබී ඇත. ඒ වෙනුවෙන් එල්ලූ බැලුන් සහ සැරසිලි තවමත් නිවසේය.

දිස්නගේ මව කාංචනා තවමත් ඉන්නේ දැඩි කම්පනයකිනි. පාසලේ චාරිකාවක් යෙදී තිබුණ ද මල්ලීගේ උපන් දිනය යෙදී තිබීම නිසා දිස්න එයට ද සහභාගී නොවීය.

පවුලේ නෑයකු වන ඉරේෂා අතුකෝරල මේ සිදුවීම ගැන පැවසුවේ මෙවැන්නකි. “අනේ මේ පොඩි එකා අපි හැමෝගෙම ආදරේ දිනා ගත්තා. ගඟේ ඔය කිඹුලා ඉන්නවා අපි දැකලා තියෙනවා. අඩි 12ක් විතර දිගයි. වතුර බිල් අහස උසට හින්දා කවුරුත් ගඟේ නානවා. එහා ගෙදරක ළමයි දෙන්නෙකුත් නාමින් ඉඳ තිබෙනවා. ඒ ගොල්ලන්ගේ අම්මා ඇවිත් එයාට කතා කර එයා ගොඩට ආවා විතරයිලු. කිඹුලා පුතා කටේ තියාගෙන වතුර උඩටත් ආවා, කීප පාරක්ම. පොලිසියත් ආවා.

ඒත් කිසිදෙයක් කරගන්න බැරිවුණා. පැයක් විතර මෙහෙම දඟල දඟල ඉඳලා කිඹුලා දිය යටට ගියා. පස්සෙ උඩට ආවත් එතකොට දරුවා හිටියේ නෑ.

ප්‍රදේශයේ වැඩිහිටියෙක් කීවේ මෙවැන්නකි. අවුරුදු ගණනාවක් අපි කැලණි ගඟේ නෑවා. ඒත් මෙහෙම කිඹුල් කරදරයක් තිබුණේ නෑ. මුන් කවුරු හරි ගඟට ගෙනත් දානව ද මන්දා.

කැලණි ගඟේ පූගොඩ, මල්වාන, හංවැල්ල, කඩුවෙල, බෝමිරිය, බියගම, අංගොඩ ප්‍රදේශවලින් කිඹුලන් දැක ගැනීමට හැකි වී තිබෙනවා. මේ නිසා බොහෝ විට පැරණි නාන තොටුපොළවල් ද පාළුවට ගොස් ඇත. නමුත් ඇතැම් පිරිස් තවමත් ගඟේ දිය නෑමට, රෙදි සේදීමට යති.

වාර්තා අනුව කැලණි ගඟේ කිඹුල් ගහනය බොහෝ දෙනා සිතන ප්‍රමාණයට වඩා වැඩි බවයි මිටියාවතේ ජනතාවගේ අදහස. ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ දිය නෑමට කිඹුලන්ට ඒමට නොහැකි කොටු සාදා දෙන ලෙසයි. නැතිනම් කිඹුලන් අල්ලා වෙනත් ප්‍රදේශවලට රැගෙන යන වැඩපිළිවෙළක් සකසන්න.

මේ වන විටත් කඩුවෙල පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. කාන් වීරසිංහ මහතා ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් නාවික හමුදාවේ ද සහාය ඇතිව කැලණි ගඟේ අදාළ ප්‍රදේශය පීරමින් දරුවාගේ සිරුර සෙවීමට උත්සාහ ගත්ත ද මෙතෙක් එය සාර්ථක වී නැත.

කැලණි මිටියාවතේ ජනතාව විශ්වාස කරන්නේ රංවල දෙවියන් මේ ගංගාවට අරක් ගෙන වැසියන්ගේ ජීවිත රකින බවයි. ඔවුහු රංවල දෙවියන් වෙනුවෙන් ගං ඉවුරුවල පුහුල් පහන් දල්වා දේව ආශිර්වාද යදිති.

ප්‍රදේශවාසීන් හා එක්ව අදාළ ආයතන දැනුම්වත් කරමින් විශාල කාර්යභාරයක් ඉටුකළ කඩුවෙල හිටපු නාගරික මන්ත්‍රී ධනවංශ උහන්ඕවිට මහතා පැවසුවේ මෙවැන්නක්.

දැන් ජීවිතයක් නැති වෙලා ඉවරයි. ගඟේ අපි හිතනවට වඩා කිඹුල්ලු ඉන්න පුළුවන්. ඒ නිසා රෙදි සේදීමට, දිය නෑමට යන අය ප්‍රවේසම් වන්න. කිඹුලන්ට එන්න බැරි විදිහට කිඹුල් කොටු තොටුපොළවල ඉදිකිරීමට අවශ්‍යයි.


Top Stories
wedivistara

දේශබන්දු තෙන්නකෝන්ට 19 වනදා විමර්ශන කමිටුවෙන් කැඳවීමක්

wedivistara

අද සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරේ

wedivistara

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සුපිරි වෙළෙඳසැලකට මිලියන 2ක දඩයක්

wedivistara

බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශය​ට කඩා වැටෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT