Local

අභියෝගවලට මුහුණදිය හැකි ප්‍රතිපත්තිගරුක අනාගත පරපුරක් බිහි කළ හැකි අධ්‍යාපන ක්‍රමයක් රටට අවශ්‍යයි – ජනපති

Thursday, 14 March 2024 - 7:29 am

අභියෝග ඉදිරියේ පළා නොගොස්, සෑමවිටම තම ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කරමින් එය ඉදිරියට ගෙන යාමේ ශක්තිය මෙරට අධ්‍යාපනය තුළින් දරුවන්ට ලබාදිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ කොළඹ වෙස්ලි විද්‍යාලයේ 150 වැනි සංවත්සරයට සමගාමීව (11) රාත්‍රියේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වුණු සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි.

රටට අවශ්‍ය පුද්ගලයන් නිර්මාණය කිරීමේ දී එදා මෙදා තුර කොළඹ වෙස්ලි විද්‍යාලය පුරෝගාමී මෙහෙවරක් ඉටුකර ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් විද්‍යාලයට සිය ස්තූතිය පිරිනමන බවද සඳහන් කළේය.

කොළඹ වෙස්ලි විද්‍යාලය 1874 වසරේදී බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනය පැවති සමයේ මෙතෝදිස්ත මිෂනාරි අධ්‍යාපන ක්‍රමය යටතේ ආරම්භ කරන ලද පාසලක් වන අතර එම විද්‍යාලය ශ්‍රී ලංකාවේ නිදහස් සටනේ පුරෝගාමීන්, අග්‍රාණ්ඩුකාරවරුන්, දේශපාලන නායකයින්, ව්‍යාපාරිකයන්, විද්‍යාඥයන්, ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාවට සේවයක් සිදුකළ කීර්තිමත් පුද්ගලයින් රැසක් රටට දායාද කිරීමට සමත්වී ඇත.

මෙම සැමරුම් උත්සවයේ ප්‍රධාන දේශනය “කෘත්‍රිම බුද්ධිය (AI) සහ අනාගතය ඉගෙනුම් හා ඉගැන්වීම් ක්‍රම” යන තේමාව යටතේ වෙස්ලි විද්‍යාලයේ ආදි ශිෂ්‍ය, ඇමරිකා එක්සත් ජනපදයේ සෙන් ඩියේගෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ආර්. සෝමනාදන් විසින් සිදු කළේය.

ඇල්ස්ටන් කොක්, ලැනරෝල් සහෝදරයින් වැනි ප්‍රවීණ ගායකයන් ඉදිරිපත් කළ විශේෂාංගවලින් ද මෙම අවස්ථාව වර්ණවත් විය.

මෙම සංවත්සර සැමරුම සඳහා ජනාධිපතිවරයාගේ පැමිණීම සනිටුහන් කරමින් විශේෂ සමරු තිළිණයක් සහ වෙස්ලි විද්‍යාලයේ 150 වැනි සංවත්සරය සහ එහි ඉතිහාසය පිළිබඳ සම්පාදිත විශේෂ කෘතියක් ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

වෙස්ලි විද්‍යාලය ආරම්භ කර වසර 150ක් සම්පුර්ණ වීම සමරන මෙම අවස්ථාවට සහභාගිවීමට ලැබීම පිළිබඳ මම සතුටු වෙනවා.

එමෙන්ම නිදහස් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට වෙස්ලි විද්‍යාලය සිදු කළ සේවයට ජාතිය වෙනුවෙන් ප්‍රණාමය පුද කිරීමට ද මා මෙය අවස්ථාවක් කරගන්නවා.

ඔබ විද්‍යාලයේ සංවත්සර සැමරුමක් සඳහා මම සහභාගීවන දෙවන අවස්ථාව මෙයයි. වෙස්ලි විද්‍යාලය රට වෙනුවෙන් කළ සේවාව සලකා මීට සහභාගීවිය යුතු බව මම තීරණය කළා.

ජාතිය ගොඩනගන පුද්ගලයන් බිහි කිරීමේ දී වෙස්ලි විද්‍යාලය මහඟු සේවයක් ඉටු කර තිබෙනවා. වෙස්ලි විද්‍යාලය පුද්ගලයින් සහ නායකයින් හැඩගැස්වූවා. ඔවුන් ජාතිය හැඩගැස්වූවා.

ඒ වගේම 1915 කලබල සමයේදී වෙස්ලි විද්‍යාලයේ විදුහල්පති හෙන්රි හයිෆීල්ඩ් මැතිතුමා ඉටු කළ භූමිකාව මා මෙහිදී සිහිපත් කළ යුතුයි. එතුමා ශ්‍රී ලංකාවට නිදහස ලබාගැනීමේදී ජාතික නායකයන්ගේ ජීවිත බේරා ගැනීමට මැදිහත් වූ එක් අයෙක්. එෆ්. ආර් සේනානායක මැතිතුමා අභාවයට පත් වී හිඩැසක් නිර්මාණය වූ අවස්ථාවේ ශ්‍රීමත් බාරොන් ජයතිලක මැතිතුමා එම නායකත්වය භාරගත්තා.

ඔහු රටේ ජනතාවගේ මතය හැඩගැස්වූවා වගේම සර්වජන ඡන්ද අයිතිය මත තෝරාගත් සභාවක් තුළ වැඩ කිරීම සඳහා අපව පුහුණු කළා. සර්ව ජන ඡන්ද බලය හිමි වූ ආසියාවේ පළමු රට බවට පත් වූයේ අපයි. ඒ නිසා ඔහු කළ සේවයට අප ඔහුට ණය ගැතියි. ඒ වගේම ඔහුව නිර්මාණය කළ වෙස්ලි විද්‍යාලයටත් අප ණයගැතියි.

ඒ වගේම වෙළෙඳාමේදී භාවිත කළ යුතු උපක්‍රම පිළිබඳ අපට කියාදුන් ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතාව බිහි කළේ ද වෙස්ලි විද්‍යාලයයි.1942 වසරේ කොළඹට බෝම්බ හෙළු අවස්ථාවේදී, කොළඹ නගරය මුහුණදුන් තත්ත්වය මගේ දෙමව්පියන් මට පවසා තිබෙනවා. ඒ කාලයේ සිටි ජනතාවට එය අමතක වන්නේ නැහැ.

අපට නිදහස ලබා ගැනීම වෙනුවෙන් ඩී. එස්. සේනානායක මහතා ඔහුව ලන්ඩන් නුවරට පිටත් කළා. නමුත් ඔබ සියල්ලන්ටම එය අමතක වී තිබෙනවා. 1919 දී ජාතිවාදී කෝලාහල ඇතිවු අවස්ථාවේදීත්, 1958 වසරේ ඇති වුණු තත්ත්වයේදීත්, එතුමා රට භාරගෙන පාලනය කළා.

අගමැතිවරයා සහ රටේ පරිපාලනය කඩා වැටුණු අවස්ථාවේදී එය පාලනය කළ පුද්ගලයා එතුමා බව අපි කවුරුත් දන්නවා. ඒ වගේම බණ්ඩාරනායක අගමැතිතුමා ඝාතනය කළ අවස්ථාවේදීත් එතුමා රට භාරගෙන රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට කටයුතු කළා. ඒ නිසා මේ පුද්ගලයින් දෙදෙනා පිළිබඳ සලකන විට ඔවුන් බිහි කළ වෙස්ලි විද්‍යාලය ශ්‍රී ලංකාවට විශාල සේවයක් ඉටු කර තිබෙනවා.

අධිකාරම් මැතිතුමා , වලිසිංහ හරිශ්චන්ද්‍ර මැතිතුමා ඇතුළු බොහෝ පිරිසක් මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු ක්ෂේත්‍ර රැසක ප්‍රවීණයන් මෙම පාසලෙන් බිහි වූ අය බව අප දන්නවා. ඒ නිසා සමස්ත ජාතියම වෙස්ලි විද්‍යාලයට ණයගැතියි. ඒ නිසා ඔබ මතක තබාගන්න ඔබේ පාසලේත් මගේ පාසලෙත් පළමු කාර්යය වූයේ පුද්ගලයින් නිර්මාණය කිරීමයි. ඔවුන් නැගීසිටිය හැකි පුද්ගලයින්, තීරණ ගත හැකි පුද්ගලයින්, බිය නැති, එඩිතර පුද්ගලයින් ලෙස බිහිව තිබෙනවා.

මේ පාසල් තුලින් ශ්‍රේෂ්ඨ චරිත රැසක් නිර්මාණය කර තිබෙනවා. ඒ නිසා තමයි අප අදටත් අපේ රට වෙනුවෙන් අපගේ සේවය ලබා දෙමින් සිටින්නේ. පළා යාම ඔබ ඉගෙන ගත් දේ හෝ මම ඉගෙන ගත් දේ නොවෙයි. අපට උගන්වා ඇත්තේ අපගේ ප්‍රතිපත්තිවල සිටිමින් සෑම විටම එය ඉදිරියට ගෙන යාමට කටයුතු කිරීමටයි.

අධ්‍යාපනයෙන් විය යුත්තේ ද මෙයයි. පොත පතේ දැනුම, නවීන තාක්ෂණය මෙන්ම ක්‍රිඩාව ඇතුළු විවිධ විෂයන් ඔබ ඉගෙන ගත යුතුයි.

මේ වන විට අප පාසල්වල කෘත්‍රීම බුද්ධිය (AI) පිළිබඳ සංගම් ඇති කිරීමට කටයුතු කරමින් සිටිනවා. ඒවගේම කෘත්‍රීම බුද්ධිය සහ කෘත්‍රීම බුද්ධිය නියෝජිත ආයතනය පිළිබඳ අලුත් නීතියක් ගෙන එනවා. කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පර්යේෂණ කටයුතු සඳහා අප රුපියල් බිලියනයක් වෙන් කර තිබෙනවා. මෙම කටයුතු නිසි ලෙස ඉදිරියට ක්‍රියාත්මක කරන විට අපට යහපත් අනාගතයක් කරා ගමන් කළ හැකියි.

අපි පාසල් අධ්‍යාපනය ලබන සමයේ රජයේ පාසල්, පෞද්ගලික පාසල් සහ ආධාර ලබන පාසල් වශයෙන් පාසල් වර්ග කිහිපයක් තිබුණා. අවාසනාවකට මෙන්, ඔබ සියලු දෙනාම දැන් එක පැත්තකින් රජයේ පාසල්වලටත් තවත් පැත්තකින් ජාත්‍යන්තර පාසල්වලත් සිරවී සිටිනවා. අධ්‍යාපන ක්‍රමයේ සිදුවිය යුතු මෙම වෙනස්කම් පිළිබඳ අප සාකච්ඡා කරමින් සිටිනවා.

ඒ වගේම අපේ රටට සේවයක් කළ මෙවැනි පාසල්වලට රජයෙන් උදව් කළහැකි වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරිමට ද අප බලාපොරොත්තු වෙනවා.

ඔබ මේ රටට සේවයක් සිදු කර තිබෙනවා වගේම ඔබට තවත් කළ හැකි බොහෝ දේ තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය නව ප්‍රතිසංස්කරණ අප ගෙන එනවා. ඒ පිළිබඳ නව සැලසුම් රැසක් අධ්‍යාපන අමාත්‍යවරයාට තිබෙනවා.

ඒ වගේම කොවිඩ් සමයේ නිසි වේලාවට විභාග පැවැත්වීමට නොහැකි වුණා. ඒ මත ඇති වූ ගැටලුව අවසන් කිරීමට ද කටයුතු කළයුතුයි. ඒ වගේම ඉංග්‍රීසි භාෂාව ප්‍රවර්ධනය කළයුතු පාසල් බොහොමයක් තිබෙනවා. එහිදි වෙස්ලි විද්‍යාලය වැනි පාසල්වලට පුළුල් කාර්යභාරයක් පැවරෙනවා. මෙම විද්‍යාලය ශ්‍රී ලංකාව හැඩගැස්වීමට දායක වූ විද්‍යාලයක් බව මා නැවත ප්‍රකාශ කළයුතුයි. ඒ වගේම අනාගතයේදීත් එය එලෙසම සිදුවන බවට කිසිඳු සැකයක් නැහැ.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික්, ශ්‍රී ලංකාවේ මෙතෝදිස්ත පල්ලියේ ප්‍රධාන පූජක එබනිසර් ජෝසෆ් පූජකතුමා, මහා බ්‍රිතාන්‍යයේ මොතෝදිස්ත පල්ලිය නියෝජනය කරමින් බාර්බරා ඊස්ටන් මැතිණිය සහ මාර්ටින් ඊස්ටන් මහතා, මෙතෝදිස්ත, ඇංග්ලිකන් හා බැප්ටිස් පල්ලි නියෝජනය කරන පූජකවරුන් ඇතුලු පූජ්‍ය පක්ෂය, පූජ්‍ය පෙරී බ්‍රෝහියර් මහතා ඇතුලු වෙස්ලි විද්‍යාලයේ කළමනාකාරීත්වය, වෙස්ලි විද්‍යාලයේ විදුහල්පති අවන්ත ප්‍රනාන්දු, ජර්මනියේ දේශපාලඥයකු මෙන්ම ප්‍රකට ව්‍යාපාරිකයෙකු ද වන ඉයන් කරන් මහතා සහ එම මහත්මිය, විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති කපිතාන් නවීන් ද සිල්වා මහතා ඇතුළු ආදි ශිෂ්‍යයින් විශාල පිරිසක් සහ සම්භාවනීය ආරාධිතයින් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද වැසි

wedivistara

ජපාන, දකුණු අප්‍රිකා, ස්විට්සර්ලන්ත තානාපතිවරු හා ජාතික ජන බලවේගය අතර හමුවක්

wedivistara

එදා අරලියගහ මන්දිරයට ආපු කිසි කෙනෙක්ගෙ අතේ ආයුධයක් තිබුනෙ නෑ - මහින්ද කහඳගම

wedivistara

මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

wedivistara

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී 20 වනදා දක්වා රිමාන්ඩ්

wedivistara

අනුර කුමාර දිසානායක හා UN නේවාසික සම්බන්ධීකාරක අතර හමුවක්

Trending
wedivistara

සාමාන්‍ය පෙළ අයදුම්කරුවන් 10,000කට අයදුම් නොකළ විෂයක් සහිත විභාග ප්‍රවේශපත් ලැබෙයි

wedivistara

එක්සත් අරාබි එමීරයේ ශ්‍රී ලාංකික සිරකරුවන් 44 දෙනෙකුට රාජකීය සමාව

wedivistara

Foxhill අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන් හා තුවාල ලැබූවන්ට වන්දි

wedivistara

2024 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අවසන් වෙයි

wedivistara

විදුලි පේනුවක් අලුත්වැඩියා කරමින් සිටි තිදරු පියා විදුලිසර වැදී මරුට

wedivistara

අද ජාතික ජන බලවේගය සැදී පැහැදී ඉන්​නේ ලංකාවේ විශාලතම දේශපාලන පිම්ම පනින්න - අනු​ර


NEWS ALERT