Local

නිකවැරටිය ප්‍රධාන කසිප්පු ජාවාරමාගේ කෝටි 10ක දේපොළ තහනම්

Friday, 22 March 2024 - 8:21 am

නිකවැරටියේ සිටින ප්‍රධානතම කසිප්පු ජාවාරම්කරුට අයත් බව කියන රුපියල් කෝටි දහයකට අධික වටිනාකමක් ඇති දේපොළ මුදල් විශුද්ධිකරණය යටතේ සිය භාරයට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් (21) පියවර ගෙන තිබේ.

වෑන් රථයක්, ලොරි රථයක්, ඉඩම් සහ නිවාස ඇතුළු දේපොළ ⁣ රැසක් ඒ අතර ඇතැයි පොලිස් තොරතුරු සඳහන් කළේය. ඇතැම් දේපොළ ඇත්තේ වෙනත් නම්වලින් බව ද පැවසේ.

මෙම දේපොළ විකිණීම, පැවරීම හෝ අන්සතු කිරීම තහනම් වන අතර මෙම දේපොළ උපයාගත් ආකාරය නඩු කටයුත්තේදී අනාවරණය කිරීමට එහි ලියාපදිංචි හිමිකරුවන්ට නොහැකි වුවහොත් නීති විරෝධිව උපයාගත් දේපොළ ලෙස සලකා රාජසන්තක කිරීමට පියවර ගන්නා බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ සිදු කර මෙම දේපොළ පොලිස් භාරයට ගෙන තහනම් කිරීමට පියවර ගෙන ඇත.

මෙම කසිප්පු ජාවාරම්කරු වසර 30කට අධික කාලයක්, වයඹ පළාත, කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් මහා පරිමාණ ලෙස කසිප්පු බෙදා හැරීමේ ජාවාරමේ නිරතව සිට ඇති බව ද පොලිසිය සඳහන් කළේය.

එම ජාවාරමෙන් ඔහු විශාල වශයෙන් මුදල් සහ දේපොළ උපයාගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට පෙනී ගොස් ඇත. මෙම ජාවාරම්කරුට අයත් බැංකු ගිණුම් මෙන්ම ඔහුගේ පවුලේ සමීපතමයන්ගේ බැංකු ගිණුම් ද පරීක්ෂා කිරීමට කටයුතු කරන බව ද පොලිසිය සඳහන් කළේය.

වාහන දෙකට අමතරව තහනම් කරන ලද දේපොළ අතර කුඹුරු අක්කර 30ක් පමණ ද ගොඩ ඉඩම් අක්කර දහයක් පමණ ද ඔහුගේ පුත්‍රයාට අයත් අක්කර තුනක ඉඩමක් සහ සුවිසල් නිවෙසක් ද බිරියගේ නමින් ඉදි කිරීම් අරඹා ඇති අක්කර තුනක පමණ ඉඩමක් ද ඇතුළු දේපොළ රැසක් වන බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.

මෙම පුද්ගලයාට එරෙහිව නීති විරෝධී මත්පැන් ජාවාරම සම්බන්ධයෙන් පෙර වැරදි 40ක් පමණ පවතින බව ද පොලිසිය කියයි. ඔහුගේ බිරිය සහ දරුවන් ද අවස්ථා කිහිපයකදී නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇති බව ද පොලිසිය සඳහන් කළේය.

වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල, නිකවැරටිය කොට්ඨාසය භාර පොලිස් අධිකාරි වසන්ත ජයමිණ කුමාර, නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල්, එහි සහකාර පොලිස් අධිකාරි රුවන් කාන්ත, ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දන පියතුංග පොලිස් සැරයන් ගුණසේකර යන නිලධාරීහු පරීක්ෂණ සිදු කළහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT