Local

දැනුම්වත් සහ ශිෂ්ඨ සම්පන්න සමාජයක් තුළින් රටක ආර්ථිකය ගොඩනැගිය හැකියි

Wednesday, 31 January 2024 - 6:29 pm

දැනුම්වත් සහ ශිෂ්ඨ සම්පන්න සමාජයක් තුළින් රටක ආර්ථිකය ගොඩනැගිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (31) පෙරවරුවේ එක් වෙමිනි.

ජීවිත අරගලය ජය ගැනීම සඳහා බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය ඉතාම වැදගත් වන අතර එම ධර්මය වඩා ගැඹුරින් අධ්‍යයනය කර ලෝකයට ගෙන යාම සඳහා ථෙරවාදි බුදු දහමේ කේන්ද්‍රස්ථානය වන ශ්‍රී ලංකාවට මහඟු වගකීමක් පැවරී තිබෙන බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ථෙරවාදි බුදු දහම පිළිබඳ පර්යේෂණ ආයතනයක් ස්ථාපිත කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවත්, ථෙරවාදි බුදු දහම ලෝකයට ගෙන යාමට මෙන්ම බෞද්ධ රටවල් අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට මෙවැනි බෞද්ධ ආයතනවලට විශාල හැකියාවක් තිබෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

තාක්ෂණ යුගයට අවශ්‍ය පරිදි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ශක්තිමත් කිරීමට සැලසුම් කර ඇති බවද පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෑම විශ්වවිද්‍යාලයකම කෘතිම බුද්ධිය පිළිබඳ පාඨමාලා ආරම්භ කිරීමට පියවර ගන්නා බවද සඳහන් කළේය.

එසේම පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ සිසුන්ගේ කැමැත්ත අනුව එහි ශිෂ්‍ය නේවාසිකාගාරයක් ඉදිකිරීමට අවශ්‍ය ඉඩම සහ රාජ්‍ය අනුග්‍රහය ලබා දීමට සූදානම් බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

නව ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම සඳහා ආධාර ලබා දුන් විදේශීය පරිත්‍යාගශීලින්ට සමරු තිළිණ ප්‍රදානය කිරීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

2019 වසරේදී මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමට එවකට අගමැතිවරයා ලෙස මා පැමිණියා. අද මෙම ගොඩනැගිල්ල විවෘත කිරීම සඳහා ජනාධිපතිවරයා ලෙස පැමිණ තිබෙනවා. කොරෝනා වසංගතය නිසා මෙම ගොඩනැගිල්ලෙහි ඉදිකිරීම් කටයුතු ප්‍රමාද වුණා. විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ ආයතනය ආරම්භ කිරීමට පූජ්‍ය හැවැන්පොළ රතනසාර ස්වාමීන් වහන්සේ සිදුකළ මෙහෙය ඉතා විශිෂ්ටයි. ඒ වගේම කොටපිටියේ රාහුල අනුනායක ස්වාමීන් වහන්සේ මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා විශාල කැපවීමක් සිදු කළා.

ජීවිත අරගලය ජය ගැනීම සඳහා බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය ඉතාම වැදගත් වෙනවා. එම ධර්මය මීට වඩා ගැඹුරින් අධ්‍යයනය කර ලෝකවාසී ජනතාවට ලබාදීම සඳහා මෙම ආයතනයට විශාල වැඩ කොටසක් සිදුකළ හැකියි. මෙම ආයතනය පිහිටුවා වසර පනහකට ආසන්න කාලයක් ගත වෙනවා.

ථෙරවාදි බුදු දහම පිළිබඳ බෞද්ධ රටවල්වල පමණක් නොව අනෙක් රටවලටද අවබෝධය ලබාදීම සඳහා සිදු කළ හැකි කාර්යභාරයක් තිබෙනවා. ඒ වගේම ථෙරවාදි රටවල් අතර සබඳතා ශක්තිමත් කර ගැනීමටත් මෙම ආයතන හරහා හැකියාව තිබෙනවා.

මහා විහාර කැණීම් මේ වනවිට ආරම්භ කර තිබෙනවා. ලුම්බිණියේ කැණීම් කටයුතු සිදුකළ මායාදේවී කැනීම් කණ්ඩායම විසින් එම කටයුතු සිදු කරමින් සිටිනවා. ඒ වගේම බුදු දහම තවත් ගැඹුරින් අධ්‍යයනය කිරීමට පර්යේෂණ ආයතනයක් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳ වාර්තාවක් මෙම වසර අවසානයට පෙර ලබා ගැනීමට කටයුතු කරනවා.

රජයක් හැටියට ථෙරවාදි බුදු දහම ලෝකයට ගෙන යාම සඳහා සහාය ලබාදීමට කටයුතු කරනවා. මෙම ආයතනය මඟින් ජාත්‍යන්තර බෞද්ධ රටවල් අතර සබඳතා ඇතිවීම සිදුවෙනවා. ඒ වගේම තායිලන්ත අගමැතිවරයා සමග ඉදිරි දින කිහිපය තුළ අත්සන් තැබීමට නියමිත නිදහස් වෙළඳ ගිවිසුම මඟින් බෞද්ධ රටවල් දෙකක් වන ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සබඳතා පුළුල් කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.

තාක්ෂණික යුගය එක තැන නතර වී තිබෙන්නේ නැහැ. අද තාක්ෂණය විශාල වශයෙන් දියුණු වී තිබෙනවා. අද අපි ස්වයංක්‍රීය යන්ත්‍ර දකිනවා. කෘත්‍රීම බුද්ධිය සමග ඒවා ක්‍රියාත්මක වෙනවා. මේ දියුණුව කෙළවර කුමක්ද කියා අප අවධානය යොමු කළයුතුයි. මේ පිළිබඳ අද බටහිර රටවල විශාල ලෙස විවාද සිදු වෙනවා. එසේ නම් අපේ ආගමික දියුණුව සහ බෞද්ධාගමික ප්‍රචාරක කටයුතු සඳහා මෙම තාක්ෂණය භාවිතයට ගත යුතුයි. ඒ නිසා අධ්‍යාපන ඇමතිවරයා සමඟ සාකච්ඡා කර සෑම විශ්වවිද්‍යාලයකම කෘතිම බුද්ධිය පිළිබඳ පාඨමාලාවක් ආරම්භ කිරීමට ඉදිරියේදී කටයුතු කරනවා. එම තාක්ෂණ යුගයට අවශ්‍ය පරිදි මෙරට අධ්‍යාපන ක්‍රමය ශක්තිමත් කිරීමට ඒ අනුව අප බලාපොරොත්තු වෙනවා. දැනුම්වත් සහ ශිෂ්ඨ සම්පන්න සමාජයක් තුළින් රටේ ආර්ථිකය ශක්තිමත් කළ හැකියි.

දැන් අප සිටින තාක්ෂණික යුගය මෙතෙක් නොතිබූ යුගයක්. පරමාණු බෝම්බය නිපදවූවාට පසුව අප සිතුවේ ඒ තාක්ෂණය එතනින් අවසන් කියලයි. මෙම නවීන තාක්ෂණය පාලනය නොකළහොත් එය පරමාණු බෝම්බයට වඩා භයානක වෙනවා. ඒ පිළිබඳවත් අපේ අවධානය යොමු කළයුතුයි කියා මම ප්‍රකාශ කරනවා.

කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය මැදවච්චියේ ධම්මජෝති හිමි,

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එවකට අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස විද්‍යාපිඨ ආරම්භ කරමින් අධ්‍යාපනය සඳහා විශාල මෙහෙයක් සිදු කළා. ඒ වගේම එතුමාගේ ආර්ථික දැක්ම අනුව විදේශ මුදල් මෙරටට ගලා ඒම වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ අගය කළයුතුයි. මෙම පශ්චාත් උපාධි ආයතනය මගින් විදේශ මුදල් ලංකාවට ගෙන ඒමේ වැඩපිළිවෙළ තවත් ශක්තිමත් වනු ඇතියි. දැනටමත් මෙම ආයතනය තුළ විශාල විදේශීය සිසුන් ප්‍රමාණයක් අධ්‍යාපනය ලබමින් සිටිනවා. අද මෙම අධ්‍යාපන ආයතනය තුළ ස්වර්ණම අවස්ථාවක් විවෘත වී තිබෙනවා.

බෞද්ධ සංස්කෘතික අංශයේ පීඨාධිපති මහාචාර්ය පූජ්‍ය මිරිස්වත්තේ විමලඥාන හිමි,

පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනය යනු මෙරට විශිෂ්ඨ අධ්‍යාපන ආයතනයක්. අද ඉතාම වැදගත් දවසක්. ඒ වගේම අප ඉතාමත් සතුටු වෙන දවසක්. එමෙන්ම අද දවස මේ ආයතනයේ වැදගත්ම දිනය ලෙස සඳහන් කළ හැකියි. වසර 49කට ආසන්න කාලයක් මේ ආයතනය ලංකාවේ විවිධ ප්‍රදේශවල පවත්වාගෙන ගියා. අද තමයි පළමු වතාවට රාජ්‍ය අනුග්‍රහය ඇතිව විදේශ ධානපතියන්ගේ උදව් ඇතිව අපේම ආයතනයක් හිමි වුණේ. මෙම ආයතනය වැඩිම විදේශීය සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබන සහ වැඩිම විදේශ ආදායමක් අධ්‍යාපනයෙන් උපයන, ඒ වගේම අනාගතයේ දී විශාල ආදායමක් ඉපැයිය හැකි ආයතනයක්. මෙම කාර්යය සඳහා අපට රජයෙන් ලැබුණු සහය විශේෂයෙන් ජනාධිපතිතුමාගෙන් ලැබුණු සහායට අප ස්තූතිවන්ත වෙනවා.

බෞද්ධ චින්තනය පිළිබඳ අධ්‍යනාංශයේ මහාචාර්ය පූජ්‍ය රළුවේ පද්මසිරි හිමි,

මෙම ආයතනය ආරම්භ වී වසර 49ක් වෙනවා. පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි සඳහා රජයේ තිබෙන එකම ආයතනය මෙයයි. ශ්‍රී ලංකා රජයේ ආධාර සහ විදේශ ආධාර සහිතව මෙම ආයතනයට සිව් මහල් ගොඩනැගිල්ලක් ලැබී තිබෙනවා. රටේ ජනාධිපතිවරයා මෙම ගොඩනැගිල්ල විවෘත කිරීමට පැමිණීම පිළිබඳව අපේ ආශීර්වාදය පිරිනමනවා. රටේ නායකයාට හෝ ඕනෑම දේශපාලඥයෙකුට විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට හැකියාව තිබිය යුතුයි. විශ්වවිද්‍යාල කියන්නේ මුදා නොගත් ප්‍රදේශ නොවෙයි. බෞද්ධ හා පාලි පශ්චාත් උපාධි ආයතනය ඕනෑම කෙනෙකුට විවෘතයි. මේ ආයතනයට පක්ෂයක් නැහැ. ධර්මයටත් පාට පක්ෂ නැහැ. ධර්මය ගැන ලංකාවට මෙන්ම ජාත්‍යන්තරයටද හොඳ අවබෝධයක් ලබාදීමට මෙම ආයතනය මඟින් හැකියාව තිබෙනවා.

හොංකොං හී සම්මානිත මහාචාර්ය පූජ්‍ය කේ.එල්. ධම්ම ජෝති හිමි,

මා මෙම ආයතනයෙන් අධ්‍යාපනය ලැබුවා. එදා අප අධ්‍යාපනය ලැබූ කාලයට වඩා විශාල සංවර්ධනයක් දැන් මෙම ආයතනයේ සිදුව තිබෙනවා. එදා අපට අධ්‍යාපන කටයුතුවල නිරත වීමට සිදු වූයේ ස්ථාන කිහිපයක සිටයි. නමුත් අද එකම ස්ථානයක සිට සියලු අධ්‍යාපන කටයුතු සිදු කිරීමටත්, බුදු දහම බෙදා හැරීමටත් හැකි පහසුකම් ලැබී තිබෙනවා. මෙහි සිටින සියලු ආචාර්ය මහාචාර්යවරුන්ගේ කැපවීම මත පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනය සංවර්ධනයක් වී තිබෙන අතර එය බෞද්ධ අධ්‍යාපනය ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමට මහත් පිටිවලක් වෙනවා.

පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයේ ශිෂ්‍ය ශාස්ත්‍රපති පූජ්‍ය පස්සරමුල්ලේ දයාවංශ හිමි,

අද විවෘත වුණු පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයේ ගොඩනැගිල්ල අනාගතයේ බෞද්ධ අධ්‍යාපනය ජාත්‍යන්තර තලයට ගෙන යාමට මහඟු පිටුවහලක් වෙනවා. දෙස් විදෙස් විද්‍යාර්ථයින්ට මෙමඟින් අධ්‍යාපනය ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ජනාධිපතිවරයා අද දවසේ පොරොන්දු වූ පරිදි විදේශ ශිෂ්‍යන්ට නේවාසිකාගාරයක් ඉදිකිරීම සිදුකළහොත් එය ථෙරවාද බුදු දහමේ අධ්‍යාපන මූලස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට ඉවහල් වන බව කිවයුතුයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා,

අද මෙම විවෘත කිරීම ජාතියේ සුවිශේෂ සටහනක් බව කිවයුතුයි. මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල 17 ක් තිබෙනවා. ඒ තුළ ආයතන 19ක් ක්‍රියාත්මක වන අතර එයින් 09ක්ම පශ්චාත් උපාධි ආයතනය කියන්නේ ඒ අතරින් එක් ආයතනයක්.

කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන ආයතනය. විශාල විදේශ ආයෝජනයක් සමග දැවැන්ත කණ්ඩායමකගේ කැපවීමෙන් මම ගොඩනැගිලි සංකීර්ණය විවෘත කෙරුණා. මෙය අපේ රටටත්, ශාසනයටත්, ලෝකයටත් වැදගත් අවස්ථාවක් ලෙස මම සලකනවා. ථෙරවාදි බුදු දහමේ ඉගැන්වීම් මේ හරහා ලෝකයට ගෙන යාමට අප අපේක්ෂා කරනවා.

පසුගිය දිනවල කැළණිය විශ්වවිද්‍යාලය ආශ්‍රිතව නොසන්සුන් තත්ත්වයක් තිබුණද අද එය අතිශය සාමකාමියි. අද ඉතා හොදින් මේ කටයුත්ත සිදු වුණා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාත් ජාතික විශ්වවිද්‍යාලයකින් බිහි වූ අපේ විද්‍යාර්ථයෙක්. ඒ නිසාම ඉතා පහසුවෙන් කටයුතු සිදු කරමින් මේ පණිවිඩය ලෝකයට රැගෙන යාමට උදව් කිරීම පිළිබඳ මම කැළණිය විශ්වවිද්‍යාලයටත්, එහි සිසුන්ටත් ස්තූතිවන්ත වෙනවා.

පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය වසන්ත ප්‍රියදර්ශන මහතා,

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයාව සිටින සමයේ මුල් ගල තැබූ පශ්චාත් උපාධි ආයතන ගොඩනැගිලි පරිශ්‍රය ජනාධිපතිවරයා ලෙස එතුමාට විවෘත කිරීමට හැකි වීම පිළිබඳ අප සතුටට පත්වනවා. මෙම ආයතනය ථෙරවාදී බුදු දහම ජාත්‍යන්තර තලයට ගෙන යාම සඳහා විශාල වැඩ කොටසක් සිදුකරනවා. ඒ වගේම මෙරටට විශාල වත්කමක් ලබාදීමත් මෙම ආයතනය මගින් සිදුවෙනවා. මෙම පශ්චාත් උපාධි ආයතනය ලෝකයේ සියලු දෙනාටම විවෘත වී තිබෙන ස්ථානයක්. ථෙරවාදී කේන්ද්‍රස්ථානයක් ලෙස දහම් පණිවිඩය ලෝකයට ගෙන යාමට මෙමගින් හැකියාව තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී එල්.ඒ. සුමිත් මහතා,

පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනය වසර 49කට ආසන්න කාලයක් දෙස්, විදෙස් භික්ෂුන් වහන්සේලාට සහ ගිහි පිරිස වෙත අධ්‍යාපනය ලබාදෙන ආයතනයක්. ලෝකයේ ඇති බොහෝ ගැටලුවලට විසදුම් ලබාදීමට බුදු දහමින් ලබාගත හැකි අභාෂයන් බොහෝයි. ඒ සඳහා පුළුල් අවස්ථාවක් මෙම ආයතනය තුළ තිබෙනවා. මෙම වැදගත්කම පිළිබඳ අවබෝධයෙන් යුතුව රටේ රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයා මෙහි පැමිණ ස්වාධීන ආයතනයක් වු මෙම ආයතනයේ උන්නතිය වෙනුවෙන් දායකත්වය ලබාදී අපව ධෛර්මත් කිරීම පිළිබඳ ස්තූතිවන්ත වෙනවා. දැනුම් සම්භාරයක් ඇති නායකයෙකු ලෙස රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් එතුමා කැපවී කටයුතු කරනවා. අප දන්න කාලයේ සිටම එතුමා ඒ සඳහා කටයුතු කරනවා. අපි ඇත්තටම බය වුණා එතුමා අද මෙම අවස්ථාවට සහභාගී නෙවෙයි කියලා. නමුත් මෙහි පැමිණ අපව දිරිමත් කිරීම පිළිබඳ එතුමාට ස්තූතිවන්ත වෙනවා.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී මහා සංඝ සභාවේ අනුනායක, මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන්, කැලණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළු ආචාර්ය මහාචාර්යවරුන් ද මියන්මාර් තානාපති හන් තු මහතා ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

සාමාන්‍ය පෙළ සිංහල ප්‍රශ්න පත්‍රයේ දෝ​ෂ පිළිබඳව සොයා බලනවා - විභාග දෙපාර්තමේන්තුව

wedivistara

විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක කර ගැනීමෙන් අපේ ණය බර ඩොලර් බිලියන 17කින් අඩු කරගත හැකියි - අලි සබ්රි

wedivistara

ශ්‍රී ලංකා පිරිමි T20 ලෝක කුසලාන කණ්ඩායමේ නිල අනුග්‍රාහකත්වය අමුල් කිරි සමාගමට

wedivistara

2024 ඡන්ද හිමි නාමලේඛනය සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය අවසන්

wedivistara

ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරමින් රිට් ආඥාවක්

wedivistara

විදුලි සංදේශ නියාමන පනත් සංශෝධන කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා – තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්

Trending
wedivistara

සාමාන්‍ය පෙළ අයදුම්කරුවන් 10,000කට අයදුම් නොකළ විෂයක් සහිත විභාග ප්‍රවේශපත් ලැබෙයි

wedivistara

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර නොගත යුතුයි

wedivistara

Foxhill අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන් හා තුවාල ලැබූවන්ට වන්දි

wedivistara

2024 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අවසන් වෙයි

wedivistara

එක්සත් අරාබි එමීරයේ ශ්‍රී ලාංකික සිරකරුවන් 44 දෙනෙකුට රාජකීය සමාව

wedivistara

අද ජාතික ජන බලවේගය සැදී පැහැදී ඉන්​නේ ලංකාවේ විශාලතම දේශපාලන පිම්ම පනින්න - අනු​ර


NEWS ALERT