Local

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර නොගත යුතුයි

Friday, 03 May 2024 - 3:50 pm

  • සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාපන ක්‍රමය හඳුන්වාදිය යුතුයි – සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ 10 වැනි දෙවාර්ෂික සම්මේලනයට එක්වෙමින් ජනපති පවසයි.

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බවත්, එබැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාපන ක්‍රමය මෙම වසර දෙක තුන තුළදී තීරණය කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ (23) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ 10 වැනි දෙවාර්ෂික සම්මේලනය අමතමිනි.

සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය (APLA), ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින උපකාරක පන්ති ගුරුවරුන්ගේ එකතුවෙන් 2004 දී පිහිටුවා ගත් සංවිධානයකි.

සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ ආරම්භක සාමාජික හා ජ්‍යෙෂ්ඨ ආචාර්ය කේ. ආරියසිංහ වෙත ජ්‍යෙෂ්ඨ ගුරු සම්මානය පිරිනැමීම සහ සෙසු ආචාර්යවරුන් වෙත සම්මාන පිරිනැමීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.

සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සංගමයේ සභාපති රවීන්ද්‍ර බණ්ඩාර විසින් සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය.

අනතුරුව ජනාධිපතිවරයා සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජිකයන් සමඟ සමූහ ඡායාරූපයකට ද එක් විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමබන්ධව කටයුතු කිරීම අධ්‍යාපන විශේෂඥයන්ට පමණක් සීමා නොකර පාසල් ගුරුවරුන්, ආර්ථික ක්ෂේත්‍රයේ කටයුතු කරන පිරිස් මෙන්ම සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය වැනි සංගම් ද ඊට සහභාගී කරවා ගන්නා බවයි.

උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය,

1981 වසරේදී මම අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ධවල පත්‍රිකාව සකස් කරන විට බොහෝ දෙනෙක් ප්‍රකාශ කළා පෞද්ගලික පංති තහනම් කරන්න කියලා. එදා අප ඊට එකඟ වුණේ නැහැ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ යුතුකම සෑම දරුවෙකුටම හොඳ අධ්‍යාපනයක් ලබාදීමයි. මේ අතර අමතර පන්ති ක්‍රමය රට තුළ බිහිවී අද එය විශාල දියුණුවක් ලබා තිබෙනවා. එදා අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතු වු අඩු පාඩු නිසා සහ අධ්‍යාපන ක්ෂේත්‍රයට දේශපාලනය එක්වීම නිසා ගැටලු විසදා ගැනීමට නොහැකි වීම මත ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ දෙමාපියන් අධ්‍යාපනය සඳහා විකල්පයක් ලෙස අමතර පන්ති ක්‍රමය තෝරාගත්තා. නමුත් දැන් පාසල් අධ්‍යාපනය සහ අමතර පංති එකිනෙකට සම්බන්ධව ඉදිරියට පැමිණ තිබෙනවා.

විශේෂයෙන්ම පසුගිය කෙරෝනා සමයේ මාර්ගගත තාක්ෂණය ඔස්සේ අධ්‍යාපනය ලබාදීම පිළිබඳව මෙහිදී සඳහන් කෙරුණා. උසස් පෙළ සිසුන්ට මාර්ගගත අධ්‍යාපනය ලබාදීම සඳහා ටැබ් ලබාදීමට අපි 2017 වසරේදී අධ්‍යාපන අමාත්‍යාංශයට යෝජනා කළා. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ද වෙන් කළා. නමුත් මතු වූ විරෝධතා නිසා අධ්‍යාපන අමාත්‍යාංශය එය අතහැර දැමුවා.

එදා එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූවානම් මාර්ගගත අධ්‍යාපනය එතැනින් ආරම්භ වෙනවා. නමුත් අද එම ව්‍යාපෘතිය සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සම්මේලනයෙන් ආරම්භ කිරීම පිළබඳව මම ඔබට ප්‍රශංසා කරනවා.

ලෝකයේ බොහෝ රටවල අද වන විට පාසල් අධ්‍යාපනය සහ අමතර පංති ක්‍රමය එකට බැඳී පවතිනවා. පසුගිය ආර්ථික කඩා වැටීම සමග අපට අත්දැකීම් සම්භාරයක් ලැබුණා. අප දැන් එම ආර්ථික අර්බුදයෙන් ක්‍රමයෙන් ගොඩ එමින් සිටිනවා. අප නව ආර්ථිකයක් සමඟ ඉදිරියට යා යුතුයි. එහිදී අපනයන ඉලක්කරගත් සහ ඉතා තරගකාරී ආර්ථිකයක් අවශ්‍යයි. ඒ වගේම දිළිදු බව අවම කෙරෙන ආර්ථික දියුණුවක් ඇති කළ යුතුයි.

මේ සියල්ල සමඟ රටට සුදුසු අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කළ යුතුව තිබෙනවා. එහිදී පාසල් අධ්‍යාපනය සහ අමතර පන්ති අතර තිබෙන සම්බන්ධය කුමක්ද, ඒ වගේම මාර්ගත තාක්ෂණය සහ කෘත්‍රීම බුද්ධිය අධ්‍යාපනයට එක්කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ අප සොයාබැලිය යුතුයි. අද තාක්ෂණය නිසා අධ්‍යාපනය වෙනස්වීමකට ලක්වෙමින් තිබෙනවා. එම වෙනස සමඟ අපත් ඉදිරියට යා යුතුයි.

බ්‍රිතාන්‍ය පාලනයේ එක් වාසියක් වුණේ බ්‍රිතාන්‍ය ක්‍රමයේ පාසල් ආරම්භ කිරීමට කෝල්බෘක් ක්‍රමය තීරණය කිරීමයි. රජය වගේම මිෂනාරි සහ බෞද්ධ පාසල් ආරම්භ වුණා. ඒ අනුව ඉන්දියාවට පෙර බටහිර ක්‍රමයේ අධ්‍යාපනය එදා ලංකාවේ ආරම්භ වුණා. එම අධ්‍යාපනය ක්‍රමය ආසියාවට එක්වුණේ ලංකාවෙන් බව කිව යුතුයි.

ඒ වගේම අපි අනෙක් රටවලට පෙර නිදහස් අධ්‍යාපනය ආරම්භ කළා. එසේනම් මෙම නව තාක්ෂණය අධ්‍යාපනයට එක් කරගන්නේ කෙසේද කියා අප ඉදිරි වසර දෙක තුන තුළ සිතිය යුතුයි. ඒ අනුව නවීන අධ්‍යාපන ක්‍රමයකට යා යුතුයි. එය 2030ට නොව 2050ට සුදුසු අධ්‍යාපන ක්‍රමයක් විය යුතුයි.

මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අධ්‍යාපන විශේෂඥයන්ට පමණක් සීමා කරන්න බැහැ. ඒ අය වගේම සාමාන්‍ය ගුරුවරු, ආර්ථික අංශය නියෝජනය කරන අය වගේම සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සම්මේලනය වැනි සංගම්ද ඊට සහභාගී කරගත යුතු වෙනවා.

එම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡා කර නවීන අධ්‍යාපන ක්‍රමයකට යා යුතුයි. එහිදී ඉදිරිපත්වන කිසිදු අදහසක් ප්‍රතික්ෂේප නොකළ යුතුයි. ඒ වගේම අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් නොකළ යුතුයි. අපි කොච්චර ක්‍රීඩා කළත් ගෝල් එකක් ගහන්න බැහැ. අවසානයේ පරාජය වන්නේ රටයි . ඒ නිසා මෙයින් ඉවත් වී සියලුදෙනා එකට එක්ව කටයුතු කළ යුතුයි. සියලු දෙනා එක්ව අනාගත අධ්‍යාපන ක්‍රමය තීරණය කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට අප කටයුතු කරනවා. ඒ අනුව වසර 2050 වන විට රටට ඔබින හොඳම අධ්‍යාපන ක්‍රමය කුමක්ද කියා මෙම වසර දෙක තුන තුළදී සාකච්ඡා කළ යුතුයි. ඉන් පසුවත් සිදුවන තාක්ෂණික වෙනස්කම් සමඟ පරිවර්තනය වෙමින් අපි ඉදිරියට යමු.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය ද, රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ මහලේකම් මහේන් ජේකබ්, භාණ්ඩාගාරික ආසිරි සම්පත්, ජාතික සංවිධායක ජනක ක්‍රිෂාන්ත ඇතුළු විධායක කමිටු සාමාජිකයන්, දිවයිනේ වෘත්තීය දේශකවරුන් ඇතුළු ආරාධිත අමුත්තන් විශාල පිරිසක් එක්ව සිටියහ.


Top Stories
wedivistara

දේශබන්දු තෙන්නකෝන්ට 19 වනදා විමර්ශන කමිටුවෙන් කැඳවීමක්

wedivistara

අද සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරේ

wedivistara

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සුපිරි වෙළෙඳසැලකට මිලියන 2ක දඩයක්

wedivistara

බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශය​ට කඩා වැටෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT