වත්මන් රජයටත් විකල්ප දේශපාලන බලවේගවලටත් ගොවි ජනතාව බරක් වුවද අපට ගොවි ජනතාව බරක් නොවන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
සමගි ජන බලවේග රජයක් යටතේ සහල් මෝල් මාෆියාව යටපත් කර ගොවි ජනතාව රජ කරවන බව ද සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.
2024 ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සංවිධානය කරන ජන රැලි මාලාවේ තවත් ජන රැලියක් පසුගියදා (30) මැදවච්චියේදී පැවැත්විණි.
එහිදී අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,
“අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගම් නගර 2003ක ජීවත් වන සියලු දෙනා ජාති, ආගම් කිසිදු භේදයකින් තොරව අප ඔබව රැක ගන්නවා. ඔබගේ ජන ජීවිතය සුරක්ෂා කරනවා. අනුරාධපුර දිස්ත්‍රික්කය සංවර්ධනයේ සුරපුරක් බවට පත් කරන්න කටයුතු කරනවා.
ඒ වගේම රටට බරක් ලෙස හඳුන්වපු රාජ්‍ය සේවය පිළිබඳ දැන් රජය කිඹුල් කඳුළු හෙළනවා. රාජ්‍ය සේවයෙන් වැඩක් නෑ. රාජ්‍ය සේවය රටටක් බරක්, රටට පාඩුවක් බව වර්තමාන රජය ප්‍රකාශ කළා. අද ක්‍රියාත්මක වන බොරු පොරොන්දු දේශපාලනයට ඔබ රැවටෙන්න එපා. අපේ රටට සම්පතක් වුණු රාජ්‍ය සේවය වෙනුවෙන් සියයට 24ක වැටුප් වැඩි කිරීමක්. රුපියල් 25,000ක ජීවන වියදම් දීමනාවක් ලබාදීමට, රුපියල් 57,500ක අවම වැටුපක්, සියයට 6 සිට සියයට 36 දක්වා ක්‍රියාත්මක වන බදු සූත්‍රය වෙනුවට සියයට 1 සිට සියයට 24 දක්වා රාජ්‍ය සේවකයන්ට සහ මධ්‍යම පන්තියට සහන ලැබෙන බදු සූත්‍රයක් නිර්මාණය කරමින් අප රාජ්‍ය සේවය සහ මැද පන්තිය රකින වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.
ඒ වගේම වැඩිහිටි ජනතාවගේ ඉතිරි කිරීමේ ගිණුම්වලට ලබාදුන්න පොලී ප්‍රතිශතය වර්තමාන ආණ්ඩුව මඟින් කපා දමා තිබෙනවා. වැඩිහිටි ප්‍රජාවගේ ඉතිරි කිරීමේ ගිණුමට ලැබුණු සියයට 15ක ඉතිරි කිරීමේ පොලිය ලබාදෙන්න අප කටයුතු කරනවා. ඒ වගේම, සමගි ජන සන්ධාන රජයක් තුළින් රටේ ගොවි ජනතාවට ගුණාත්මකභාවයෙන් ඉහළ පොහොර රුපියල් 5000කට ගොවීන්ට ලබාදීමට කටයුතු කරනවා. කෘෂි රසායන පොහොරවල මිල නියාමනය කරලා කලු කඩ වෙළෙඳුන්ගෙන් මිල වැඩි වීමේ ක්‍රමවේදයෙන් මුදාගෙන දරාගත හැකි මිලකට කෘෂි රසායන ලබාදෙන්න කටයුතු කරනවා. පොහොර ලබාදීමේදී ගොවිජන සේවා මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගෙන දූෂණයෙන් වංචාවෙන් මිල වැඩි කිරීමකින් තොරව විනිවිදභාවයකින් පොහොර ලබාදීමට කටයුතු කරනවා. ඒ වගේම, කිව් ආර් ක්‍රමවේදය යටතේ ගොවිජනතාවට, ධීවර ජනතාවට, ත්‍රිරෝද රථ රියැදුරන්ට, පාසල් ප්‍රවාහන රථවලට, ශක්ති වී මෝල් හිමියන්ට ඉන්ධන සහනාධාරයක් ලබාදෙන්න අනිවාර්යයෙන් කටයුතු කරනවා.
ඒ වගේම, සමගි සන්ධාන රජයක් තුළින් වී මිලක් ලබා දීමට කටයුතු කරනවා. ගොවියන්ට, පාරිභෝගිකයන්ට එල්ල වන මරු පහර ඉවත් කරලා පාරිභෝගිකයාට සාධාරණ මිලට සහල් ලබාදෙනවා. ඒ වගේම වී ගොවීන්ට ඉහළ සහතික මිලක් ලබාදෙන්න අප කැප වෙනවා. සහල් මෝල් මාෆියාව ඉවත් කරලා ගොවිජනතාව සුරකින රජ කරවන යුගයක් බිහි කරනවා.
ඒ වගේම ගොවීන් මුහුණදෙන වගා ණය ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබාදෙන්න කටයුතු කරනවා. අද වන විට සියලු වරදාන වරප්‍රසාද ලබා දෙන්නේ ආණ්ඩුවේ ගජමිතුරන්ට පමණයි. සාමාන්‍ය ජනතාව අමතක කරලා තිබෙනවා. ඇපයක් නැතිව රාජ්‍ය බැංකුවලින් ණය අරගෙන ණය නොගෙවපු කෝටිපතියන් ඉන්නවා. ඔවුන් නොගෙවපු ණය කපා හරින්න පාලකයන්ට පුළුවන්. නමුත් ගොවීන්ගේ ණය කපා හරින්න කටයුතු කළේ නෑ. ගොවිජනතාව රටට බරක් ලෙස තමයි වර්තමාන රජය හිතන්නේ. ගොවිජන කේන්ද්‍ර මධ්‍යස්ථාන විනාශ කළ පිරිසට ගොවිතැන ශක්තිමත් කරන්න බෑ. අප ගොවීන්ට නව තාක්ෂණය හඳුන්වා දී අපනයන වෙළෙඳපොළ සමඟ සම්බන්ධ කරන්න කටයුතු කරනවා.
ඩිජිටල් ක්‍රමවේද හරහා ගොවීන්ගේ වගා රටාව නවීකරණයට ලක්කරන්නත් කටයුතු කරනවා. මා ඉදිරිපත් කළ සෑම යෝජනාවක්ම මහපොළොවේ යථාර්ථයක් බවට පත් කරන්න කටයුතු කරනවා.
ඒ වගේම මේ වන විට දුප්පත්භාවය තුරන් කිරීමේ තිරසර වැඩසටහනක් රට තුළ ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒ නිසා ජනසවියේ, සමෘද්ධියේ, අස්වැසුමේ හොඳ ගුණාංග එකතු කරලා අඩු පාඩු ඉවත් කරලා දුගී දුප්පත්භාවය තුරන් කිරීමේ නව වැඩසටහනක් දියත් කරනවා. කවුරුත් කැමැති නෑ සදාකාලිකව දුප්පතුන් වෙලා ජීවත් වෙන්න. කවුරුත් කැමැති නෑ සදාකාලිකව වහලුන් වෙන්න දුප්පත්භාවයෙන් පෙළෙන ජනතාව දුප්පත්භාවයෙන් මිදීමට පාරිභෝජනය, ආයෝජනය, ඉතිරි කිරීම, නිෂ්පාදනය, අපනයනය යන කරුණු කේන්ද්‍ර කරගෙන අලුත් දුප්පත්භාවය තුරන් කිරීමේ වැඩසටහනක් දියත් කරනවා. ඒ අනුව සෑම දුප්පත් පවුලකටම මාසයකට රුපියල් 20,000ක මූල්‍ය ශක්තියක් ලබා දෙමින් අවුරුදු දෙකක් ඇතුළත දුප්පත්භාවයෙන් මිදෙන ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම වන අලි මිනිස් ගැටුම බරපතළ ප්‍රශ්නයක් වී තිබෙනවා. වන අලි මිනිස් ගැටුමට අප තිරසාර විසඳුමක් ලබාදෙනවා. වන අලි මිනිස් ගැටුමට ස්ථිර විසඳුමක් ලබාදෙන්න ජාතික ඉඩම් පරිහරන සැලැස්මක් ඇති කළ යුතුයි. ඒ ඒ ක්‍රියාවලට ගොවිජනපද රක්ෂිත, නිවාස යෝජනා ක්‍රම, කෘෂිකාර්මික ඉඩම්, වනජීවී ඉඩම්, කර්මාන්ත ඉඩම් පිළිබඳ හඳුනාගෙන ජාතික ඉඩම් පරිහරන සැලැස්මක් හරහා අපට හැකියාව ලැබෙනවා වනඅලි මිනිස් ගැටුම අවම කරන්න.”
සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානි නලින් බණ්ඩාර මහතා,
“සමගි ජන සන්ධාන රජයක් තුළින් රටේ ගොවි ජනතාවට ගුණාත්මකභාවයෙන් ඉහළ පොහොර රුපියල් 5000කට ගොවීන්ට ලබා දීමට කටයුතු කරනවා. ඒ වගේම මුදල් නෙවෙයි රුපියල් 5000කට ගුණාත්මක පොහොර මිටියක් ගන්න අවස්ථාව සලසා දෙනවා. රටේ ලක්ෂ 60ක් ඉඩම් තිබෙනවා. එයින් ලක්ෂ 20ක් කුඹුරු. සෑම වගා කළ හැකි ඉඩම් අක්කරයකින් ලක්ෂ 30ක ආදායමක් බලාපොරොත්තු වෙන බව ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් කරලා තිබෙනවා. කුඹුරු වගා කරලා අක්කරයකින් අවුරුද්දකට ගන්න පුළුවන් වෙන්නේ ලක්ෂ 4ක් වගේ මුදලක්. කුඹුරු වගා කරලා අක්කරයකින් අවුරුද්දකට ගන්න පුළුවන් ආදායම ලක්ෂ 30ක් බවට පත් කරනවා කියලා ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරනවා. ජනතා විමුක්ති පෙරමුණේ මේ සුරංගනා කතාවලට දැන් ජනතාව රවට්ටන්න බෑ. ඔවුන්ට පුළුවන් කයියගහන එකයි, බොරු කියන එකයි විතරයි. රජරට ජනතාව ජනතා විමුක්ති පෙරමුණට රවට්ටන්න බෑ. සමස්ත රජරටම අද එකතු වෙලා ඉන්නේ සජිත් ප්‍රේමදාස මහතා සමඟයි.
ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩු කරා, චන්ද්‍රිකා බණ්ඩාරනායක බලයට ගෙනල්ලා ඒ ආණ්ඩුවේ කෘෂිකර්ම, වාරිමාර්ග, පශුසම්පත් ඇමැති ධුරය දැරුවේ අනුර දිසානායක. නමුත් ඔහු රටේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් කිසිවක් සිදු කළේ නෑ. අනුර කුමාර කෘෂිකර්ම ඇමැති වෙලා ඉද්දි රටේ මාස් කන්නයේ ගොයම් පීදිලා. අනුර කුමාර කෘෂිකර්මය දාලා පලා යද්දි යල කන්නය වපුරලා. අනුර කුමාර දිසානායක කොහොමද රට සහලින් ස්වයංපෝෂිත කළේ.
සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපවරයා වූ පසු රජරට තිබෙන කුඩා වාරි, මහා වාරි සියල්ල ප්‍රතිසංස්කරණය කරලා ඇළ මාර්ග සකස් කරලා ගොවීන්ට නිසි වෙලාවට පොහොර, වතුර, උපකරණ ලබාදෙන්න කටයුතු කරනවා.”
සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති, සමගි වනිතා බලවේගයේ උපසභාපති චන්ද්‍රාණි බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී.එස් කුමාරසිරි, සූජීව සේනසිංහ, අර්ජුන රණතුංග මහතා, රෝහණ බණ්ඩාර මහත්ම මහත්මීහු එක්ව සිටියහ.