මෙරට ගෙන ඇති ණය ගෙවීම මහලොකු කජ්ජක් ද කියා එදා විමසූ අනුර කුමාර දිසානායක මහතා , තමන් බලය ලබා දින 23 ක් තුළ රුපියල් බිලියන 60ක ණයක් ගෙන ලංකා ඉතිහාසයේ අඩුම කාලයක් තුළ වැඩිම ණය ප්‍රමාණයක් ගත් ආණ්ඩුව බවට වාර්තාවක් තබා ඇති බව හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පෙන්වා දුන්නේය.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ට තවත් වසර එකහමාරක පමණ කාලයක් නිදහසේ රට කරවීමට අවස්ථාව ලබාදිය යුතු බවත් එවිට ඔහුගේ පාලනය පිළිබඳව තක්සේරු කිරීමට ජනතාවට හැකියාව ලැබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.
හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා මේ බව සඳහන් කර සිටියේ එළැඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයට , නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ පක්ෂය යටතේ ගෑස් සිලින්ඩරය ලකුණින් මහනුවර දිස්ත්‍රික්කයෙන් තරගවදින කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් උඩුනුවර ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ජන හමුවක් අමතමිනි.
සැප්තැම්බර් 14 පැවති ජනාධිපතිවරණයේදී පරාජය වුවත් තමන් ඇතුළු කණ්ඩායම එහිදී ගනුලැබූ තීරණය නිවැරැදි බව වැඩි කලක් ගතවීමට පෙර මෙරට සියලු ජනතාව පවසනු ඇති බව ස්ථිර යැයිද ඒ මහතා පැවසීය.
එම ජන හමුව අමතමින් හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.
පසුගිය සැප්තැම්බර් 21 වනදා පැවති ජනාධිපතිවරණයේදී අප කණ්ඩායමක් ලෙස පරාජය වුවත් එදා අප ගනු ලැබූ තීරණය නිවැරැදි බව ඉදිරි මාස 6ක් , අවුරුදු එකහමාරක් යන තැන මේ රටේ සියලු ජනතාව පවසන බව ස්ථීරයි.
ඉතිහාසය සැලකීමේදී මෙරට කරවූ ආණ්ඩු අතුරින්, දින 23ක් වැනි කෙටි කාලයක් තුළ වැඩිම ණය ප්‍රමාණයක් ගනුලැබූ ආණ්ඩුව බවට ජාතික ජනබලවේගය පත්ව තිබෙනවා.
එදා අනුර කුමාර දිසානායක ඇහුවේ මෙරට ණය ගෙවීම කජ්ජක්ද කියලයි. ඒ කජ්ජ කෙසේ වෙතත් අනුර දිසානායක ගේ ජාතික ජනබලවේගය ආණ්ඩුව දින 21ක් තුළ බිලියන 61ක ණයක් ගෙන තිබෙනවා. කොහොමද ණය ගැනීම , පාලනය භාරගෙන දින 23යි, අරගෙන තිබෙන ණය ප්‍රමාණය බිලියන 61යි.
මේ ඉන්නේ නොවැම්බර් 14 වනදා මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන කණ්ඩායමයි. එහිදී මා පෞද්ගලිකව විශ්වාස කරන දෙයක් තිබෙනවා. ඒ තමයි අපේ අභිප්‍රාය විය යුත්තේ ඔලු ගෙඩි මාරු කරලා ඉක්මනින් බලය ගැනීම නොවෙයි. තවත් මාස6ක්, අවුරුද්දක් ,එකහමාරක් මේ ආණ්ඩුව කරගෙන යාමට අවස්ථාව ලබාදිය යුතු යි. එවිට අනුර දිසානායක ගේ ආණ්ඩුව කොහොමද කියලා ජනතාවට තේරුම් ගන්න පුළුවන් වෙනවා.
ඒ අතරේ අපි ශක්තිමත් විපක්ෂයක් හැදිය යුතුයි. ඒ වෙනුවෙන් අපේ මේ ජනතාව නොවැම්බර් 14 වනදා නිවැරදි තීරණයක් ගෙන ගෑස් සිලින්ඩරය යටතේ තරග කරන වැඩි ඔලුගෙඩි ප්‍රමාණයකින් එම විපක්ෂය ශක්තිමත් කළ යුතුයි.
සජිත් ප්‍රේමදාස මහතා වැරදීමකින්වත් බලය ගන්නේ නෑ. ඔහුට මේ රටේ ජනාධිපති හෝ අගමැති වීමට අවශ්‍යතාවයක් නෑ. අපේ වැඩසටහන ඉදිරියට යන විට සජිත් ප්‍රේමදාස මහතා ට ඊළඟ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරයත් නැති වෙනවා.
ඒ වගේම තමයි , අපි අනුර දිසානායක ආණ්ඩුව භාරගත්තා කියලා , අපි විපක්ෂයට ගියා කියලා ,හෙට ආණ්ඩුව වැටෙන්න , රට වැටෙන්න කියන කුහක තැන අපි නෑ. නමුත් මතක තියාගන්න රට වැටෙන කොට ඔබ අප සියලු දෙනාට එකට පෝලිම් වල ඉන්න සිද්ධ වෙනවා. පසුගිය සමයේ තෙල් , ගෑස් , කිරිපිටි නැති වුණාම , නිල් කොල රතු කියලා භේදයක් නැතුව අපි සියලු දෙනාට එකට පෝලිම් වල දුක් විඳින්න සිද්ධ වුණා. කර්මාන්ත ශාලා වැහෙනකොට, වැඩකරන්න විදිහක් නැතුව අපි සියලු දෙනාට දුක් විඳින්න සිද්ධ වුණා .
එසේ නම් වැටෙන රට ගොඩගන්න සමත් පිරිසක් පාර්ලිමේන්තු යවන්න , අපේ ජනතාව කටයුතු කළ යුතු වන්නේ ඒ නිසයි. වැටුණු රට ගොඩගත් , ඒ සඳහා අත්දැකීම් ඇති පිරිස සිටින්නේ ගෑස් සිලින්ඩරය යටතේ යි. නොවැම්බර් 14 ජන්දයේදී ගෑස් සිලින්ඩරය කණ්ඩායමේ වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට යැවීමට ඔබ තමුන්නාසේලා කටයුතු කළ යුතු වන්නේ ද ඒ නිසයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ මැතිවරණය සඳහා ඉදිරිපත් වෙන්නේ නෑ . එතුමා ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වෙන්නෙත් නෑ. නමුත් එතුමා අපට නායකත්වය දෙනවා. ඉදිරියට මේ රටට එතුමාගේ ශක්තිය අවශ්‍ය නම් , එතුමාගේ සහයෝගය අවශ්‍ය නම් , එය ලබාගැනීමට හැකියාව තිබෙන්නේ ගෑස් සිලින්ඩරය නියෝජනය කරන කණ්ඩායමටයි. ඒ සඳහා අපි සූදානම්.
එසේ නම් ඒ සඳහා එළැඹෙන පාර්ලිමේන්තුවේ විපක්ෂය සඳහා ගෑස් සිලින්ඩරය යටතේ වැඩි නියෝජිතයන් ප්‍රමාණයක් යැවීමට අපේ ආදරණීය ජනතාව ශක්තිය ලබාදීමට අවශ්‍යයි. එහිදී මේ මහනුවර දිස්ත්‍රික්කයෙන් සැලකිය යුතු ජයග්‍රහණයක් ලැබීමට අවස්ථාව තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණය අවස්ථාවේ ද අප මෙරට අනෙක් දිස්ත්රික්කයන්ට සාපේක්ෂව ප්‍රගතියක් පෙන්වා තිබෙනවා. මෙම මැතිවරණයේ දී එම තත්ත්වය තවදුරටත් ඉහළ නංවා ගැනීමට අප කටයුතු කළ යුතුයි . අපිට ජන්දය දුන් ජනතාව මෙන්ම ජන්දය නොදුන් පිරිස වෙතද යා යුතුයි. ඒ හරහා ඊළඟ පාර්ලිමේන්තුවේ තීන්දු තීරණ ගතහැකි ශක්තිමත් විපක්ෂය වෙනුවෙන් වැඩිම මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු යවන දිස්ත්‍රික්කය බවට මේ මහනුවර දිස්ත්‍රික්කය පත්කර ගැනීමට අවස්ථාව තිබෙනවා.