Local

යූටියුබයේ දැන්වීම් දමා ලක්ෂ 50ක රන්-මුදල්වලට විද්ද

Monday, 01 April 2024 - 8:07 am

අඟුරුවාතොට ජ්‍යොතිර්වේදියා අත්අඩංගුවට

ජ්‍යොතිෂවේදියකු ලෙස පෙනී සිටිමින් දේවාලයක්ද පවත්වාගෙන යමින් ජනතාව මුළා කර රුපියල් ලක්ෂ 50කට ආසන්න මුදල් හා රත්රන් වංචනිකව ලබා ගත් පුද්ගලයකු අඟුරුවාතොට පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයා ආචාර්ය උපාධියක් සහ තවත් ගරු නම්බු නාම පදවි රැසකින් පිදුම් ලැබූ ජාත්‍යන්තර සම්බන්ධතා ඇත්තෙකු බවට හඟවමින් යූ ටියුබ් නාළිකාවක ඒ සම්බන්ධයෙන් ප්‍රචාරය කර ඇති නමුත් ඔහු සාමාන්‍ය පෙළ හෝ සමත් නැති අයකු වන අතර, නම් තුනකින් පෙනී සිට තිබේ. සැකකරුගේ වංචාවට හසු වූ කළුතර උතුර ප්‍රදේශයේ කාන්තාවක් සහ ඊශ්‍රායලයේ රැකියාව කරන කාන්තාවක් මේ වන විට අඟුරුවාතොට පොලිසියට පැමිණිලි කර ඇති අතර, ඊට අමතරව හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ ගොඩනැඟිලි ද්‍රව්‍ය අලෙවිසලක් හිමි ව්‍යාපාරිකයකු හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිලි කර ඇතැයි පොලිසිය කියයි.

යු ටියුබ් නාළිකාවක පළ කර තිබූ දැන්වීමක් අනුව කළුතර ප්‍රදේශයේ කාන්තාවක් තම දියණියගේ කේන්දරය රැගෙන දියණිය සහ සැමියා සමඟ මෙම පුද්ගලයා හමුවට ගොස් තිබූ අතර Òතෙරුවන් සරණයිÓ යැයි පවසා මහත් ශ්‍රද්ධාවෙන් පිළිගෙන තිබූ සැකකරු කේන්දරය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඇයට අපල උපද්‍රව රැසක් තිබෙන බවත් එය දුරු කර නියම ප්‍රතිඵල ලබා ගැනීම සඳහා පිරිසිදු රනින් නිමවන ලද සුරයක් රන් මාලයක ගැටෙන අයුරින් දැමිය යුතු බවත් පවසා තිබූ බව පොලිසිය කියයි. ඒ අනුව එම කාන්තාව දින කීපයකට පසු සැමියා සමඟ මෙම පුද්ගලයා හමුවට ගොස් පවුම් දෙකක රන් මාලයක් ඔහු වෙත ලබා දී තිබූ අතර, ජ්‍යොතිෂවේදියා යැයි කියූ සැකකරු එම රන්මාලය දිග මැන බර කිරා ජංගම දුරකතනයකින් වීඩියෝද ගත කර ඔහු භාරයට ගෙන පවුමක සුරය සෑදීම සඳහා ඔහු විසින් නම් කරන ලද හොරණ ප්‍රදේශයේ රන් ආභරණ වෙළඳ සලකට මුදල් ලබා දී රිසිට් පත ඔහු වෙත ලබා දෙන ලෙස උපදෙස් ද ලබා දී තිබූ බව පොලිසිය කියයි.

සිය දියණියගේ අපලය දුරු කිරීම සඳහා ඉක්මනින් වැඩ කටයුතු සිදු කිරීමට අවශ්‍ය බැවින් එයද ඔහු කියූ ආකාරයටම මුදල් ගෙවා මෙම පුද්ගලයා වෙත ලබා දීමට කටයුතු කිරිමෙන් අනතුරුව සෙනසුරාදා දිනයක පූජාවට පැමිණෙන ලෙස දැනුම් දී තිබූ බව පොලිසිය සඳහන් කරයි.

සැකකරු පැවසූ ආකාරයෙන් දියණිය සමඟ පූජාවට සහභාගි වුවද එදින සුරය පැලඳවීමට සැකකරු කටයුතු නොකිරීම හේතුවෙන් ඒ පිළිබඳ විමසීමේ දී එය දින 30ක් ජප කිරීමට අවශ්‍ය බවට සැකකරු පවසා ඇත. ඒ ආකාරයෙන් වසරකට අධික කාලයක් විවිධ හේතු කියමින් මඟහරිමින් එම වංචාව සිදු කර ඇති අතර, ඇමතුම් ලබා දෙන සෑම මොහොතකම සැකකරු දුර බැහැර ප්‍රදේශවල මෙන්ම සාකච්ඡා සම්මන්ත්‍රණ ආදියවල නිරත වන ප්‍රභූ පුද්ගලයකු බවට හුවා දක්වමින් පැමිණිලිකරුවන් හිතාමතා මඟහැර ඇතැයි පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත. මෙයාකාරයෙන් ඊශ්‍රායලයේ රැකියා කරන කාන්තාවක්ද අන්තර්ජාලය හරහා මෙම සැකකරු හා සම්බන්ධ වී සිය කේන්දරය පරීක්ෂා කරවාගෙන ඇති අතර, ඇයට මාරාන්තික අපල උපද්‍රව තිබෙන බව පවසා ඊට වහා පිළියම් යෙදිය යුතු බවත් නොඑසේ නම් ඇයගේ ජීවිතය පවා නැති වීමේ අවදානමක් පවතින බව ග්‍රහයන්ගෙන් පෙන්නුම් කරන බවත් කඩිනමින් රන් සුරයක් පැලඳිය යුතු යැයි පැවසූ බව ඇයගේ පුතු කරන ලද පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය කියයි.

ඒ අනුව සැකකරු ලබා දුන් උපදෙස් පරිදි ඒ වෙනුවෙන් රුපියල් 191000/= ක මුදලක් ලබා දුන්න ද මාස හතරක් ගත වුවද මෙම පුද්ගලයා දිනෙන් දින විවිධ දෑ පවසමින් සුරය ලබා නොදෙන බවත් තමන්ට සාධාරණය ඉෂ්ට කර දෙන ලෙස පවසමින් ඇයගේ පුතු ලවා පැමිණිල්ලක් කළ බව පොලිසිය කියයි.

තවද හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ ගොඩනැඟිලි අලෙවි සලක් හිමි ව්‍යාපාරිකයකුගෙන් දේවාලය ඉදිකිරීමට යැයි පවසා භාණ්ඩ කීපයක් මුල දී ලබාගෙන ඊට මුදල් ලබා දී ඇතිකරගත් හිතවත්කමක් මත අනතුරුව ඔහුගෙන් රුපියල් ලක්ෂ 40කට ආසන්න ප්‍රමාණයක සිමෙන්ති ඇතුළු ගොඩනැඟිලි ඉදිකිරීම් ද්‍රව්‍ය ඇතුළු මුදල් ලබාගෙන ඒවා ලබා නොදී මඟහැර ව්‍යාපාරිකයා නැවත ඉල්ලීමේ දී ඔහුට තර්ජනය කර ඇතැයි ද ඒ සම්බන්ධයෙන් එම ව්‍යාපාරිකයා විසින් හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිල්ලක් සිදු කර ඇතැයි පොලිසිය කියයි.

ජ්‍යොතිෂවේදියා යැයි කියනු ලබන සැකකරු බොහෝ විට ප්‍රමුඛස්ථානය ලබා දෙනු ලබන්නේ ඈත ගම් දනව්වල සිටින කාන්තාවන් සහ විදේශගතව රැකියාව කරන කාන්තාවන්ගෙන් ලැබෙන දුරකතන ඇමතුම් සඳහා බවත් පොලිස් විමර්ශනවල දී විශේෂයෙන් අනාවරණය වී ඇත. ඒ අනුව අඟුරුවාතොට පොලිසිය මඟින් මෙම ජ්‍යොතිෂවේදියා යැයි කියනු ලබන පුද්ගලයා සම්බන්ධයෙන් බුද්ධි අංශ නිලධාරීන් යොදවා සිදු කළ දීර්ඝ විමර්ශනයේ දී ඔහු මෙයාකාරයෙන් මිනිසුන් රැසක් මුළා කරමින් ඔවුන් මානසිකව වට්ටමින් මුදල් සහ රත්රන් වංචාවේ යෙදෙන පුද්ගලයකු බවට හඳුනාගත් බවත් අනතුරුව අවස්ථා කීපයකදීම සැකකරුට දුරකතනයෙන් කළ දැනුම් දීමකින් අනතුරුව පොලිසියට ගෙන්වා අත්අඩංගුවට ගත් බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

සැකකරු ඔහුගේ මෙම කූට වංචාව සඳහා තැ‍රැව්කරුවන් රැසක් අන්තර්ජාලයේ මෙන්ම දේවාලය අවටද යොදා ගෙන ඇති අතර, එම සමහර තැ‍රැව්කාර පුද්ගලයන් වෙත කුලී පදනම මත සුඛෝපභෝගී වාහන ද ලබා දී ඇතැයි පොලිසිය කියයි. ඔහුගේ පිහිට පතා එන සමහර පුද්ගලයන්ට එම තැ‍රැව්කරුවන් තමන් අද මෙවැනි දියුණු තත්ත්වයට පත්ව ඇත්තේ මෙම දේවාලයේ පිහිටෙන් බවත් පවසමින් පැමිණෙන මිනිසුන් තව තවත් මුළා කරන බවත් පොලිස් විමර්ශනවල දී වැඩිදුරටත් අනාවරණය වී ඇත. ඊට අමතරව මෙරට කෝටිපතියන්ව සිටින ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ නම් පවසා ඔවුන්ද කේන්දරය බලවාගෙන තමන්ගේ දේවාලයෙන් ආශීර්වාද ගැනීම හේතුවෙන් එවැනි දියුණු තත්ත්වයකට පත්ව ඇති බවට පවසා දුරකතන අංක පවා ලබා දී ඇතැයි පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත.

මෙම කුප්‍රකට සැකකරුගේ බහට රැවටුණු බහුතරයක් පිරිස ලජ්ජාව හේතුවෙන් පැමිණිලි කිරීම සඳහා පොලිසිය වෙත නොයන බවත් තවද ඔප්පු කිරීමට සාධක නොමැති වීම හේතුවෙන් ඒ සඳහා ඉදිරිපත් නොවන බවත් සැකකරුගේ වංචාවට හසුවූ බහුතර පිරිස ඈත ගම් දනව්වල හා විදෙස්ගතව සිටීම තවත් එක් හේතුවක් විය හැකි යැයි පොලිසිය සඳහන් කරයි.

අඟුරුවාතොට යාල අකුරුකළවිට පාර පදිංචි 42 හැවිරිදි සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. පාණදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායකගේ උපදෙස් මත අඟුරුවාතොට පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සිල්වා, උප පොලිස් පරීක්ෂක වැදිසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.


Top Stories
wedivistara

දේශබන්දු තෙන්නකෝන්ට 19 වනදා විමර්ශන කමිටුවෙන් කැඳවීමක්

wedivistara

අද සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරේ

wedivistara

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සුපිරි වෙළෙඳසැලකට මිලියන 2ක දඩයක්

wedivistara

බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශය​ට කඩා වැටෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT