Local

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය SDIG ලලිත් පතිනායක චෝදනාවලින් නිදහස්

Tuesday, 09 January 2024 - 8:57 am

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය මුල්කරගෙන ජ්‍යෙෂ්ඨ පොලිස්පති ලලිත් ෂෙල්ටන් පතිනායක මහතාට එරෙහිව එල්ල කර තිබුණු සියලු චෝදනාවලින් ජාතික පොලිස් කොමිෂන් සභාව ඔහුව නිදහස් කරමින් ඒ බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම්දී තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් තමරා ඩී. පෙරේරා මහත්මියගේ අත්සනින් 2024 ජනවාරි 03 දාතමින් එම ලිඛිත දැනුම්දීම කර ඇත.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලද බුද්ධි තොරතුර සම්බන්ධයෙන් පසුවිපරම් නොකළ බවට වූ චෝදනා පත්‍රය ලලිත් ෂෙල්ටන් පතිනායක මහතාට ලබාදී ඇත්තේ 2023 වසරේ අප්‍රේල් 24 වැනිදාය.

එවකට ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස කටයුතු කරනු ලැබුවේ හිටපු පොලිස්පතිවරයෙකු වන චන්ද්‍රා ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුතු සාමාජිකයක්ගෙන් සැදුම්ලත් කොමිෂන් සභාවකි. එම කොමිෂන් සභාව විසින් මෙම චෝදනා පත්‍රය ලලිත් එස්.පතිනායක මහතාට ලබාදෙනු ලබන්නේ ද එවකට සිටි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වයස අවුරුදු 60 පිරී පොලිස් සේවයෙන් විශ්‍රාම යාම හා නව පොලිස්පතිවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් කථිකාවක් සමාජය තුළ ගොඩනැඟෙමින් තිබියදීය. එසේම චන්ද්‍රා ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුත් කොමිෂන් සභාව වෙනුවට නව කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමට ද ඒ විටත් කටයුතු සිදුවෙමින් තිබුණි.

ජාතික පොලිස් කොමිෂන් සභාව සභාපතිවරයා ද සමඟ සාමාජිකයන් 07 දෙනෙකුගෙන් සමන්විතය. ලලිත් ෂෙල්ටන් පතිනායක මහතාට චෝදනා පත්‍රය භාරදීම ගැන මෙන්ම එම චෝදනා පත්‍රයට අදාළ කිසිවක් තමන් නොදන්වා බව සඳහන් කරමින් කොමිෂන් සභාවේ එවකට සිටි සාමාජිකයන් සිව් දෙනෙකුම සභාපතිවරයාට දැනුම් දීමක්කර තිබීමද විශේෂිතය.

පාස්කු ප්‍රහාරය එල්ලවන විට ලලිත් එස්. පතිනායක මහතා සේවය කරනු ලැබුවේ කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසය. පාස්කු කොමිෂන් සභාවේදී ද ලලිත් එස්. පතිනායක මහතාගෙන් සාක්ෂි විමසීමක්කර තිබුණු අතර එහිදී මෙමම ප්‍රහාරය වලක්වා ගැනීමට ඔහු කළ උත්සහයන් ගැන කරුණු අනාවරණය විය. කෙසේ වෙතත් පාස්කු කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ පවා මෙම නිලධාරියාට එරෙහිව චෝදනාවක් එල්ල වී නොතිබුණි. එහෙත් ඔහු සම්බන්ධයෙන් චෝදනා පත්‍රයක් ඉදිරිපත්කර තිබුණේ පොලීස් දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් අභ්‍යන්තර විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසිනි.

මෙම චෝදනා පත්‍රය සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල විනිශ්චය සභාවක් විසින් විධිමත් විනය පරීක්ෂණයක් පවත්වා එම වාර්තාව ජාතික පොලිස් කොමිෂන් සභාවට ඉදිරිපත් කරනු ලබන්නේ 2023 නොවැම්බර් 27 වැනිදාය

ලලිත් එස් පතිනායක මහතාට චෝදනා එල්ලකරමින් විමර්ශන පවත්වා ඇත්තේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය වන අතර එම විමර්ශන වාර්තාව සම්බන්ධයෙන් ගැටළු සහගත තත්වයන් රැසක් මෙහිදී ත්‍රිපුද්ගල විනිශ්චය සභාව විසින් කොමිෂන් සභාවේ අවධානයට යොමුුකර ඇත. එම විමර්ශන වාර්තාවේ විශ්වාසනීයත්වය පවා විනය පරීක්ෂණයේදී අභියෝගයට ලක්ව තිබේ. විශේෂ විමර්ශන ඒකකය විසින් ලලිත් එස්. පතිනායක මහතාට එරෙහිව චෝදනා එල්ලකර ඇත්තේ තමාට ඇසුණු, වෙනත් අය කියන ලද තොරතුරු ගලපා බවද ත්‍රිපුද්ගල විනිශ්චය සභාව විසින් කොමිෂන් සභාව දැනුම්වත් කර ඇත.

මූලික විමර්ශන පවත්වපු නිලධාරියා විසින් නිසි ලෙස අදාළ වාර්තාව අවසන්කර ඔහුගේ අත්සන ද යොදා නොමැති බවත් එවැනි වාර්තාවක් පදනම්කරගෙන ලලිත් එස්. පතිනායක මහතාට චෝදනා පත්‍රය ලබාදී ඇති බවත් විනය පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ. එබැවින් එම වාර්තාවේ වලංගුභාවය ගැන ගැටළුවක් ඇති බවද කොමිෂන් සභාව දැනුම්වත් කිරීමට ත්‍රිපුද්ගල විනිශ්චය සභාව විසින් පියවර ගෙන තිබේ.

මෙහිදී එම ත්‍රිපුද්ගල විනිශ්චය සභාව ජාතික පොලිස් කොමිෂන් සභාව දැනුම්වත්කර ඇත්තේ ලලිත් එස්. පතිනායක මහතා ඔහුට එල්ලකර ඇති චෝදනාවලට නිවැරැදිකරු බවය. ඒ අනුව පසුගිය දෙසැම්බර් 24 වෙනිදා රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව ලලිත් එස්. පතිනායක මහතාව එම චෝදනාවලින් නිදහස්කරලීමට තීරණයකර තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්වරියගේ අත්සනින් පසුගිය 03 වෙනිදා දැනුම්දෙනු ලබන්නේ කොමිෂන් සභාවේ එම තීන්දුවය.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT