Local

ශිරාන් බාසික්ගේ පුතා සමඟ කාරයකින් STF භටයකු යට කළ කොටිකාවත්ත-මුල්ලේරියා හිටපු ප්‍රා.සභා මන්ත්‍රී රඳවාගෙන ප්‍රශ්න කරයි

Monday, 19 February 2024 - 9:13 am

හැව්ලොක් සිටියේ සැඟවී ඉඳලා

ඩුබායිහි රැඳී සිටින ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් වන ශිරාන් බාෂික් නමැති පුද්ගලයාගේ පුතා වන නදීන් බාෂික් සමඟ සුඛෝපභෝගී මෝටර් රථයකින් ගමන් කරමින් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියෙක් යට කර පලා ගොස් හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ සැඟවී සිටි කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු හිටපු මන්ත්‍රීවරයෙක් වන දිනුෂ රුක්ෂාන් සුබවීර නමැත්තාව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් රඳවාගෙන දීර්ඝ ලෙස මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් ඇත.

මේ මන්ත්‍රීවරයා අංගොඩ, බුත්ගමුවේ පදිංචි 41 හැවිරිදි වියේ පසුවන අයෙකි. මොහු අත්අඩංගුවට ගෙන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාර දී ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි. මේ මන්ත්‍රීවරයා 2022 වසරේ සැප්තැම්බර් 16 වැනිදා හිඹුටාන ජයන්ති මාවතේ දී බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පාතාල අපරාධකරුවන් 09 දෙනෙක් සමඟ අත්අඩංගුවට ගෙන තිබුණි. අංගොඩ ලොක්කාගේ ගෝලබාලයන් පිරිසක් සමඟ එම නිවෙසේ රැඳී සිටි ඔහු එම අවස්ථාවේ දී පොලිසිය මුදාහැර තිබුණි.

සැකකරු සමඟ හෙරොයින් ග්‍රෑම් 19ක්, ජංගම දුරකතනයක්, ලැප්ටොප් පරිගණකයක්, රුපියල් 290ක් සහ ඩිරාම් මුදල් 535ක් සහ ඩොලර් 161ක් සහ නදින් බාෂික් යන අයගේ නමට තිබූ රියැදුරු බලපත්‍රයක්, ඩුබායි රාජ්‍යයෙන් නිකුත් කළ හැඳුනුම්පතක්, ඩුබායි රාජ්‍යයෙන් නිකුත් කළ රියැදුරු බලපත්‍රයක්, ඔරලෝසු තොගයක් සහ රන් භාණ්ඩ තොගයක් සහ ගමන් බෑගයක් පොලිස් භාරයට ගෙන ඇත.

මේ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් බුද්ධි අංශ විසින් පසුගිය කාලය පුරාම සිට ඇත්තේ ඇස ගසාගෙනය. ඒ ඔහු පාතාල අපරාධකරුවන් සහ මත්කුඩු ජාවාරම්කරුවන් සමඟ සමීපව ඇසුරු කරන බවට තොරතුරු අනාවරණය වීමත් සමඟිනි. විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් පසුගිය 16 වැනිදා සවස වැල්ලවත්ත පොලිස් වසමේ පිහිටි හැවලොක් සිටි නිවාස සංකීර්ණය ඉදිරිපිට මාර්ගයේ වැටලීමක් සංවිධාන කර ඒ සම්බන්ධයෙන් අවේක්ෂණ රාජකාරියේ නිරතව සිට ඇත්තේ ද බුද්ධි තොරතුරකට අනුවයි.

එම අවස්ථාවේ දී හැව්ලොක් සිටි මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිට මාර්ගයේ සිට නිවාස සංකීර්ණය දෙසට පැමිණි WP CBA 8987 අංකය දරන අවුඩි Q2 වර්ගයේ සුදු පැහැති මෝටර් රථයක් පරීක්ෂා කිරීමට විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නැවතීමට සංඥා කර ඇත. එහි දී මෝටර් රථය නොනවත්වා ධාවනය කර ඇත්තේ විශේෂ කාර්ය බළකා නිලධාරීන් අනතුරට ලක් කරමිනි. රථය වේගයෙන් ධාවනය කර ඇත්තේ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ රථවාහන අංගණය දෙසටයි. විශේෂ කාර්ය බළකා නිලධාරීන් ද ඒ පස්සේ පන්නා තිබේ. එහි දී රථය හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ ක්ලබ් හවුස් ඒරියා කොටසේ දෙවන මහලේ රථ ගාලේ නවතා ඒ තුළ සිටි දෙදෙනෙක් පලා ගොස් තිබේ.

ශිරාන් බාෂික්ගේ පුතාත් හිටපු මන්ත්‍රීවරයාත් පදවාගෙන ගිය මෝටර් රථයේ ගැටුණු විශේෂ කාර්ය බළකායට අනුයුක්තව සේවයේ නිරතව සිටි පොලිස් සැරයන් වාකිෂ්ට (84054) නිලධාරියා තුවාල ලබා පොලිස් රෝහලට ඇතුළත් කර ඇත. අනතුර සිදුකළ මෝටර් රථයේ යතුර එම අවස්ථාවේ දී තිබී ඇත්තේ අත්අඩංගුවට ගත් සැකකරු සතුවයි. ඒ හැරුණු කොට තවත් මෝටර් රථ දෙකක යතුරු ද ඔහු සතුව තිබී ඇත.

එම මෝටර් රථ දෙකත් හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ වෙනත් ස්ථාන දෙකක රථ ගාල් දෙකක තිබී විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන තිබේ. හොණ්ඩා සිවික් වර්ගයේ කළු පැහැති මෝටර් රථයක් සහ ටොයෝටා කො‍ෙරාල්ලා සුදු පැහැති මෝටර් රථයක් ඒ අනුව විශේෂ කාර්ය බළකාය සිය භාරයට ගෙන ඇත.

මේ මෝටර් රථ තුන පරීක්ෂා කිරීමේ දී අනතුර සිදු කළ අවුඩි වර්ගයේ රථයේ තිබී හෙරොයින් ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 650ක්, හොණ්ඩා සිවික් වර්ගයේ මෝටර් රථයේ තිබී හෙරොයින් ග්‍රෑම් 06යි මිලිග්‍රෑම් 350ක් සොයාගෙන තිබේ. හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ මෙල්ෆර්ඩ් කුලුනේ 12 වැනි මහලේ අංක 03 දරන නිවෙස තවත් පාර්ශ්වයක් මඟින් කුලී පදනම මත ගෙන ඒ තුළ මත්කුඩු ජාවාරම සිදු කරන බවට තොරතුරු ද මෙහි දී හෙළි වී ඇත. ඒ අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට හා නීති විරෝධී වත්කම් විර්ශන කොට්ඨාසයට දැනුම්දීමට පොලිස් විශේෂ කාර්ය බළකාය පියවර ගෙන තිබේ.

විමර්ශනයේ දී මිලියන ගණනක් වටිනා රන් භාණ්ඩ, මැණික් ගල් 16ක්, ලැප්ටොප් 03ක්, දුරකතන 04ක්, ශ්‍රී ලංකා රුපියල් 103, 790, ඩිරාම් 535, අමෙරිකානු ඩොලර් 1136ක් පොලිස් විශේෂ කාර්ය බළකායට හමුවී ඇත. ශිරාන් බාෂික්ගේ පුතා වන නදීන් බාෂික්ට ඩුබායිහි හැඳුනුම්පතක් සහ රියැදුරු බලපත්‍රයක් ඇති බවත්, එම හැඳුනුම්පතත් රියැදුරු බලපත්‍රයත් ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රයත් විශේෂ කාර්ය බළකායට හසුවී ඇත. මේ වන විට පලා ගොස් සිටින ශිරාන් බාෂික්ගේ පුතා අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බළකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

විශේෂ කාර්ය බළකායේ සේනාවිධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණයෙන් අධ්‍යක්ෂ බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ, සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්දන) සාගර කුලසේකර යන මහත්වරුන්ගේ මඟපෙන්වීමෙන් විශේෂ කාර්ය බළකාය බුද්ධි කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම කර තිබේ.


Top Stories
wedivistara

ඩයනා ගියාට සජබට මන්ත්‍රී ධුර අහිමි වන්නේ නෑ

wedivistara

සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය හතර අතේ බෙදපු ගුරුවරයා හා ගුරුවරිය මාට්ටු

wedivistara

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ඉදිරි වසරේ දී අපේක්ෂිත 3%ක ආර්ථික වර්ධනයත් සමඟ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට ද කටයුතු කරනවා

wedivistara

බුද්ධ දේශනාව සහ කෘත්‍රීම බුද්ධිය පිළිබඳ පර්යේෂණ කටයුතු ලබන වසරේදී ආරම්භ කරනවා

Trending
wedivistara

WhatsApp Group හරහා සිදුවන මුදල් වංචාවලින් ප්‍රවේශම් වන ලෙස දැනුම්දීමක්

wedivistara

අමෙ­රි­කානු සහ­කාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ ළඟ­දීම මෙර­ටට

wedivistara

මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

wedivistara

විදුලිබල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය ආරම්භ වෙයි

wedivistara

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

wedivistara

ජපාන, දකුණු අප්‍රිකා, ස්විට්සර්ලන්ත තානාපතිවරු හා ජාතික ජන බලවේගය අතර හමුවක්


NEWS ALERT