Local

පළාත් පාලන ඡන්දයට වැය වන කාලය ජනතාව ජීවත් කරවීමට කැප කළා නව ජනතා පෙරමුණ පක්ෂයේ ජාතික සම්මේලනයේදී ජනපති කියයි

Friday, 23 August 2024 - 8:56 am

ඡන්දය නොපැවැත්වීම ගැන කනගාටු වන්නේ නෑ

පළාත් පාලන මැතිවරණය කල් දැමීම ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බව පෙන්වා දුන්න ද, ජනතාවගේ ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් එම කාලය කැප කිරීම හේතුවෙන් මැතිවරණ පැවැත්වීමට නොහැකි වීම පිළිබඳ මා කනගාටු නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී ඊයේ (22) පස්වරුවේ පැවැති නව ජනතා පෙරමුණ පක්ෂයේ ජාතික සම්මේලනය අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවැසීය.

ජනතාවගේ ඡන්ද අයිතියට මෙන්ම ජීවත්වීමේ අයිතියට ද මා ගරු කරනවා. රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමේ වැඩපිළිවෙළේ දී සෑම පැයකටම වටිනාකමක් හිමි වුණා. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් එම කාලය වැය කළා නම් අද රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට නොහැකියි.

ගෑස්, ඖෂධ, ආහාර හා ඉන්ධන නොමැතිව ජනතාවට දෛනික ජීවිතය ඉදිරියට ගෙන යා නොහැකියි. ජනතාවගේ එම මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පසුගිය දෙවසර තුළ තමා කැප වුණා. ඉදිරියට ද අවශ්‍ය වුවහොත් ඒ වෙනුවෙන් ඕනෑම තීරණයක් ගන්නවා. ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පසු මහ මැතිවරණය පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය මුදල් දැනටමත් සොයා ගෙන තිබෙනවා. ඉන් පසුව පළාත් සභා මැතිවරණයත්, අනතුරුව පළාත් පාලන මැතිවරණයත් පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා.

දේශපාලන වශයෙන් අප මේ වනවිට නව යුගයකට පැමිණ තිබෙනවා. එම යුගය අප කණ්ඩායම විසින් නිර්මාණය කරන ලද්දක් බව කිව යුතුයි. මේ රටේ ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේදී එම ආර්ථිකය ගොඩගැනීමට සාම්ප්‍රදායික නායකයින් ඉදිරිපත් නොවූ අවස්ථාවක අප කණ්ඩායම එකතුවී එම වගකීම භාර ගත්තා. එදා අපේ ආර්ථිකය කඩා වැටී තිබුණා. රුපියලේ අගය පහත වැටී තිබුණා. නමුත් අප ආර්ථිකය නැවත සකස් කර රුපියල ශක්තිමත් කර රටේ ආර්ථික ස්ථාවරත්වයක් ඇතිකර තිබෙනවා. පසුගිය වසර දෙක තුළ රටේ ආර්ථිකය ශක්තිමත් වුණා වගේම ඉදිරි වසරේ දී එය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. මෙම ආර්ථික වර්ධනය ඉලක්ක කර ගෙන අප ඉදිරියට යා යුතුයි. එහිදී අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගෙන තිබෙන එකඟතාවන් කඩකළහොත් අපට මුදල් ලැබෙන්නේ නැහැ. එම කොන්දේසි සංශෝධනය කරනවා කියන්නේ දැන් තිබෙන කොන්දේසිවලින් ඉවත් වීමයි.

අප මීට වඩා ලිහිල් කොන්දේසි ඉල්ලා සිටියා. නමුත් ඒවා හිමි වුණේ නැහැ. නමුත් මෙම සහන මඟින් අපට ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ හැකියාව තිබෙනවා. නමුත් මේවා වෙනස් කිරීමට උත්සාහ කළහොත් ලැබීමට තිබෙන මුදල් අහිමි වෙනවා. එවිට අපට නැවත පෝලිම් යුගයකට යෑමට සිදු වෙනවා. අපි රටේ ආර්ථිකය ඉදිරියට ගෙන ආවේ ඉතා අසීරුවෙන් බව කිව යුතුයි. මම රට භාර ගනිද්දී රටේ දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 89 සිට ඩොලර් බිලියන 76 කට පහතට වැටී තිබුණා. අපි නැවත මෙය ඩොලර් බිලියන 84කට ගෙනැවිත් තිබෙනවා. මෙම වැඩ කොටස අපි ඉටු කළේ වසර දෙකක් වැනි කෝටි කාලයකදීයි. වෙනත් රටවලට මේ සඳහා වසර 05-10ක් ගතවුණා. අපට මෙවන් සාර්ථකත්වයක් ලබා ගැනීමට හැකි වූයේ අප නිවැරදි ආර්ථික වැඩපිළිවෙළක් ගෙන ගිය නිසයි. අපි මෙම වැඩකොටස ඉටු නොකළානම්, මේ සියල්ල අතපසු කර ප්‍රාදේශීය සභා, නගර සභා මැතිවරණ පැවැත්වූවා නම් සිදු වන්නේ කුමක් ද කියා මම අහන්න කැමතියි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අඩුම තරමින් මාස දෙකහමාරකවත් කාලයක් ගත කිරීමට සිදු වෙනවා. එම මාස දෙකහමාර අහිමි වූවානම් අද අපට ඩොලර් බිලියන 84 ක දළ දේශීය නිෂ්පාදනයක් ලබාගත හැකිද කියා මම අහන්න කැමතියි. අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කළා, ලෝකයේ විවිධ රටවලට ගොස් නායකයන් මුණ ගැසී සාකච්ඡා කළා. මෙම කාලය පළාත් පාලන මැතිවරණය සඳහා යෙදවූවානම් මේ රටේ ආර්ථිකය ගොඩගැනීමට හැකි වනවා ද කියා ඇසිය යුතුයි. අපට රට මෙම තත්ත්වයට ගෙන ඒමේ දී හැම මාසයක්ම, හැම සතියක්ම, හැම දිනයක්ම හා හැම පැයක්ම වැදගත් වුණා. ලෝකයේ කිසිම රටක් වසර දෙකකින් මෙවන් සාර්ථකත්වයකට පැමිණ නැහැ. ජාත්‍යන්තරය අපට ප්‍රශංසා කරනවා. අප මෙම පියවර නොගත්තානම් මේ රට කඩා වැටෙනවා. නමුත් විපක්ෂය කළේ ගිහින් නඩු දාන එක. ආර්ථිකය නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වෙන්න කියලා 2022 ඔවුන්ට ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් නඩු දාන්න බැරි වුණේ ඇයි?

ඒ නිසා මෙම මැතිවරණය කල් දැමීම පිළිබඳ මගේ කිසිම කනගාටුවක් නැහැ. මේ රටේ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය කල් දැමිය නොහැකියි. එය ජනතාවගේ අයිතිවාසිකමක්. ඒ ඡන්ද අයිතියට මම ගරු කරනවා. ඒ වගේම ජනතාවගේ ජීවත්වීමේ අයිතියට මම ගරු කරනවා. ගෑස් නැත්නම්, ඖෂධ, ඉන්ධන නැත්නම් ජනතාවට ජීවත් වෙන්න බැහැ. එම මූලික අයිතිවාසිකම් මම ආරක්ෂා කළා. නැවත අවශ්‍ය නම් මම ඒ වැඩකටයුතු ඉටු කරනවා. මෙම මැතිවරණය පැවැත්විය යුතු කාලය කුමක් ද කියා මැතිවරණ කොමිසම තීරණය කළයුතු බව අද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නා. ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පසු මහ මැතිවරණය පැවැත්වීමට අප සියලු දෙනා තීරණය කර තිබෙනවා. ඒ සඳහා මේ වනවිට මුදල් සොයා ගෙන තිබෙනවා. ඉන් පසුව පළාත් සභා ඡන්දය පැවැත්වීමට අදහස් කර තිබෙනවා. පළාත් සභා මැතිවරණය අවශ්‍ය බව බොහෝ දෙනා පවසන අතර අප ඒ සමඟ එකඟ වෙනවා. ඒ සඳහා ද අවශ්‍ය මුදල් අප මේවන විට සොයා ගනිමින් සිටිනවා.

ප්‍රාදේශීය සභා සහ නගර සභා මැතිවරණ ඉන් පසුව පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. එහිදී අපට නව නීති ගෙන ඒමට සිදු වෙනවා. තරුණ නියෝජනය ගෙන ඒමට සිදු වෙනවා. අපට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ මේ රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමට හැකිවීම පිළිබඳ මම සතුටු වෙනවා. ඒ නිසා අප ගත් තීන්දුව හරිද, වැරදි ද කියා ජනතාව තීරණය කළ යුතුයි.

නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා –

2022 මැයි 09 වනදා රට ගිනි ගෙන අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීවරයාව ඝාතනය කර, රට පුරා ගිනි පුපුරු දැල්වෙමින් මොහොතින් මොහොත ප්‍රචණ්ඩත්වයෙන් රට වෙලා ගනිද්දී රාත්‍රී 7.11ට එවකට අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස් වුණා. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මෙරට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් රටේ විපක්ෂ නායකයාට දුරකතන ඇමතුමක් ලබාදී රට භාර ගැනීම සඳහා සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙස දැනුම් දුන්නා. නමුත් පසුදින සවස 6.32 වන තෙක් විපක්ෂ නායකවරයා හෝ එම පාර්ශ්වයෙන් කිසිම කෙනෙක් සාකච්ඡාවකට පැමිණියේ නැති බව මම වගකීමෙන් ප්‍රකාශ කරනවා. පසුදින ප.ව 6.32ට එරාන් වික්‍රමරත්න, කබීර් හෂීම්, හර්ෂ ද සිල්වා යන මහත්වරු පැමිණ සාකච්ඡා කළා.

මම දැක්කා ඊයේ නාලක ගොඩහේවා මහත්තයා ප්‍රකාශ කර තිබෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉල්ලීම්වලට එකඟ වුණේ නැහැ කියලා. ඒ වේලාව ඉල්ලීම් ඉල්ලන වෙලාවක් නොවෙයි. ඒ වේලාව රට තිබුණේ කේවල් කළ යුතු වේලාවක නොවෙයි. රටට ආදරය කළානම්, මෙම අර්බුදය කළමනාකරණය කිරීමට වැඩපිළිවෙළක් තිබුණානම් කරන්න තිබුණේ , ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සමස්ත පොහොට්ටුවේ සහාය දෙන්නම් සජිත් කියලා පැවසූ විට රට භාර ගැනීමයි. නමුත් ඔහු එම වගකීම භාර ගත්තේ නැහැ. ඔහුට රට භාර ගැනීමට වැඩපිළිවෙළක් හා ආත්මශක්තියක් තිබුණේ නැහැ. ඒ නිසා කල් හරිමින් සිට අවසන් මොහොත් ලිපියක් එව්වා. එම ලිපිය ලියන්න උපදෙස් දුන්නෙත් නාලක ගොඩහේවා මහත්තයාමයි. නාලක ගොඩහේවා දැන ගත්තා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා, රනිල් වික්‍රමසිංහ මහත්තයාව ජනාධිපති ධුරයට පත් කරනවා කියලා.

නාලක ගොඩහේවා දැන් විපක්ෂ නායකවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක විදිහට කටයුතු කරනවා. ඒ වගේම මම දැක්කා අනුර කුමාර මහත්තයා කියනවා ජූලි 12 වැනිදා එතුමා රට භාර ගන්න කැමතියි කියලා ලිපියක් යොමු කළා කියලා. එය සම්පූර්ණයෙන් අසත්‍යයක්. මම අනුර කුමාර මහත්තයට අභියෝග කරලා දැන් පැය 48ක් ගෙවී අවසන්. එම ලිපිය යොමු කළ ආකාරය මට දැනුම් දෙන්න, නැත්නම් එවපු ලිපිය පෙන්නන්න කියලා මම ඔහුට කිව්වා. නමුත් අද වන තෙක් උත්තර දී නැහැ. එය ඔහුගේ තවත් අසත්‍යයක් පමණයි. ඒ නිසා මම වගකීමෙන් කියනවා අනුර කුමාර දිසනායක මැතිතුමනි, ඔබ තවමත් පරක්කු නැහැ, ලිපියක් යොමු කළා නම් එය යොමු කළ අන්දම කියන්න නැත්නම්, එවපු ලිපිය පෙන්වන්න, ඒ සම්බන්ධ ඕනෑම විවාදයකට මුහුණදීමට මම සූදානම්.

නව ජනතා පෙරමුණේ අනුශාසක පැපිලියාන සුනේත්‍රා දේවි රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති වැල්ලම්පිටියේ සුමනධම්ම ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සහ අන්‍යාගමික පූජකවරුන්ද, අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, රාජ්‍ය ඇමැතිවරුන් වන ලසන්ත අලගියවන්න, අනුප පස්කුවල්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද දිසානායක, නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත, උදයන කිරිදිගොඩ, ප්‍රදීප් උඳුගොඩ, හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ යන මහත්වරු සහ නව ජනතා පෙරමුණේ නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග, කාන්තා කටයුතු ලේකම් තිළිණි ද සිල්වා, ප්‍රචාරක ලේකම් විමුක්ති ජයසූරිය යන මහත්ම මහත්මින් ඇතුළු පක්ෂ සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 


Top Stories
wedivistara

උතුරු මැද පළාත් 11 ශ්‍රේණියේ විභාග යළි ආරම්භ කෙරේ

wedivistara

අම්බලන්තොට ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් 5 ක් අත්අඩංගුවට

wedivistara

ජනපති පෙබරවාරි මාසයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක

wedivistara

රේගු පරීක්ෂාවෙන් තොරව කන්ටේනර් නිශ්කාෂණය කළ බවට පළවන වාර්තා විමර්ශනයට කමිටුවක්

wedivistara

ඡන්ද හිමි නාමලේඛණය සඳහා ලියාපදිංචිවීම මෙවර මාර්ගතගත ක්‍රමයට සිදු කෙරේ

wedivistara

"නාමල් සමග ගමින් ගමට" වැඩසටහනට ජනතාව එකතුවීම ගැන සතුටුයි - සාගර

Trending
wedivistara

සුවසැරියට නව ගිලන් රථ 150 ක් ලබා ගැනීමට කැබිනට් පත්‍රිකාවක්

wedivistara

සජබ හා UNP එක්ව මැතිවරණයට තරග කරනවා - රංජිත් මද්දුමබණ්ඩාර

wedivistara

අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ගැන තොරතුරු ලබාදීමට 1997 කෙටි දුරකථන අංකය පොලීසිය විසින් හඳුන්වාදෙයි

wedivistara

වැටුප ගන්නේ නැත්නම්, කැන්ටිමෙන් කන්නේ, නිවාසයේ කුලිය ගෙවන්නේ කොහොමද කියලා රටට හෙළි කරන්න - ප්‍රසාද් සිරිවර්ධන

wedivistara

පැමිණිලි යොමුකිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් WhatsApp අංකයක්

wedivistara

බහාලුම් ගැන එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරනවා - බස්නාහිර පළාත් ආණ්ඩුකාර


NEWS ALERT