Local

මෙවර සිනෙ ඡායාවෙන් මරුවා සමඟ වාසේ

Friday, 16 February 2024 - 12:26 pm

ටයිටස් තොටවත්තයන්ගේ මරුවා සමඟ වාසේ චිත්‍රපටය බොහෝදෙනා අතර ජනප්‍රිය වූයේ සත්‍ය වූ සිදුවීම් මෙන්ම සත්‍ය චරිතයක් මූලික කර ගනිමින් නිමා වූ චිත්‍රපටයක් බැවිනි. හැබෑ ලෝකයේ සිටි ජනප්‍රිය චණ්ඩියා වූයේ ‘මරු සිරා ය.’ මරු සිරා චරිතය මූලික කර ගනිමින් නිමැවූ මුල්ම චිත්‍රපටය වූයේ අමරනාත් ජයතිලකගේ ‘සිරිපාල සහ රන්මැණිකා’ ය. එය තිරගත වූයේ 1971 සැප්තැම්බර් මස 16 වනදාය. මරු සිරා චරිතය මූලික කර ගනිමින් නිමැවූ අනෙක් චිත්‍රපටය වන්නේ ටයිටස් තොටවත්තයන්ගේ ‘මරුවා සමඟ වාසේ’ චිත්‍රපටයයි. මෙකී චිත්‍රපටය තිරගත වූයේ එම වසරේම සැප්තැම්බර් මස 30 වැනිදාය. තොටවත්තයන්ගේ ‘මරු සිරා’ වූයේ විජය කුමාරතුංගය. ගීතා කුමාරසිංහ රන්මැණිකා ලෙසින් රංගනයට එක්විය. මරුවා සමඟ වාසේ චිත්‍රපටයේ කතාව ධර්මසිරි ගමගේ විසින් රචනා කර තිබිණි.  

චිත්‍රපටය තිරගත වීමත් සමඟ බොහෝදෙනා කතාබහ කරනු ලැබුවේ මරු සිරාගේ කොටා තිබූ පච්චය ගැනය. චිත්‍රපට කතා වස්තුවේ ආකාරයට සිරිපාල තම අතේ පච්චයක් කොටා තිබිණි. එහි වූයේ ‘අම්මා බුදු වේවා’ යන්නයි. එහෙත් චිත්‍රපට රසිකයන් කතාබහ කරනු ලැබුවේ සිරිපාලගේ පපුවේ කොටා තිබූ පච්චය ගැනය. එහි සඳහන්ව තිබුණේ ‘මරුවා සමඟ වාසේ’ යන්නයි. සිරිපාල මෙම පච්චය ඔහුගේ පපුව මත කොටා ගනු ලැබුවේ දාමරිකයකු ලෙස සමාජගත වීමෙන් පසුවය. මේ වන විට ඔහු සිරිපාල නොව මරු සිරා ය.

චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වූ ටයිටස් තොටවත්තට අවැසිව තිබුණේ මරු සිරාගේ කතා වස්තුව සහ එම සිදුවීම් චිත්‍රපට නිර්මාණයක් මඟින් ජනතාවට නැවත වරක් සිහිපත් කරනවාට වඩා ඔහු මෙවන් තත්ත්වයකට පත් වූයේ මන්ද යන කාරණාව සමාජය ඉදිරියේ හුවා දැක්වීමටය. ඒ පිළිබඳව සොයා බැලීමටය. ටයිටස් තොටවත්තයන් ද චිත්‍රපටය හා රංගනයෙන් සම්බන්ධ වූයේ පුවත්පත් කලාවේදියකු ලෙස රංගනයෙන් එක්වෙමිනි.

පිරමීඩ් චිත්‍රපට ඉදිරිපත් කළ ‘මරුවා සමඟ වාසේ’ චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලැබුවේ එච්. කේ. සිරිසේන විසිනි. චිත්‍රපටයට විජය කුමාරතුංග සහ ගීතා කුමාරසිංහ ප්‍රධාන චරිතයන් ලෙසින් රංගනයෙන් සම්බන්ධ වන විට රෙක්ස් කොඩිප්පිලි, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, හෙන්රි ජයසේන, හියුගෝ ප්‍රනාන්දු, ඩී. ආර්. නානායක්කාර, විමල් කුමාර ද කොස්තා, දෙනවක හාමිනේ, සෝමසිරි දෙහිපිටිය, රත්නාවලී කැකුණවෙල, ජෙනිටා සමරවීර, ගාමිණී ගනේගොඩ, ෆ්‍රෙඩී සිල්වා, දොන් සිරිසේන, ගැමුණු විජේසූරිය, බන්දුල ගලගෙදර, විජය කොරයා, ඇල්ෆ්‍රඩ් පෙරේරා, ඒ. ඊ. මනෝහරන්, සරණපාල සූරියආරච්චි, ඇනස්ලි ඩයස්, සැමුවෙල් රොද්‍රිගු, බර්ටි ගුණතිලක, සිසිර කුමාරතුංග, එඩී අමරසිංහ, ඇග්නස් සිරිසේන, රොනල්ඩ් ෆොන්සේකා, ටයිටස් තොටවත්ත, පියදාස විජේකෝන් හා බී. ඇස්. පෙරේරා යන අය රංගනයෙන් සම්බන්ධ විය.

චිත්‍රපටයේ ගීත රචනයෙන් සම්බන්ධ වූයේ කරුණාරත්න අබේසේකර, ප්‍රේමකීර්ති ද අල්විස්, කේ. ඩී. කේ. ධර්මවර්ධන සහ සුනිල් ආරියරත්නයි. මරුවා සමඟ වාසේ චිත්‍රපටයට ගීත 5ක් අන්තර්ගත වූ අතර, ගීත ගායනයෙන් සම්බන්ධ වූයේ මොහිදින් බෙග්, එච්. ආර්. ජෝතිපාල, මිල්ටන් මල්ලවආරච්චි, ඇන්ජලින් ගුණතිලක, ඒ. ඊ. මනෝහරන් හා ලතා වල්පොල යන අයයි. මෙහි ගීත දෙකක් අතිශය ජනප්‍රියත්වයට පත් වූ අතර, එක් ගීතයක් වන්නේ ‘තෝසේ මසල වඩේ’ ගීතය වන අතර, අනෙක එච්. ආර්. ජෝතිපාල හා එම්. එස්. ප්‍රනාන්දු ඇතුළු පිරිස ගායනා කරන ‘තැටිය මැද්දෙ කළු කරාපු’ යන ගීතයයි. මෙහිදී තිස්ස නාගොඩවිතාන සහ ඉන්ද්‍රානි පෙරේරා ගායනා කළ පටිගත කරන ලද ගීතයක් තිබුණ ද එය චිත්‍රපටයට අන්තර්ගත වූයේ නැත.

චිත්‍රපටය හතරවන මණ්ඩලයේ සිනමාහල් 16ක තිරගත වීම ආරම්භ කරනු ලැබීය. මරු සිරාගේ බිරිය වන රන්මැණිකාගේ ප්‍රධානත්වයෙන් එහි මංගල දර්ශනය පැවතියේ සැවෝයි සිනමා ශාලාවේදීය.

මෙවර ජාතික රූපවාහිනියෙන් 16 වන සිකුරාදා සිනෙ ඡායා තුළින් විකාශය වන්නේ මෙම ‘මරුවා සමඟ වාසේ’ චිත්‍රපටයයි. චිත්‍රපටය ආරම්භ වීමට සිනමාත්මක සාහිත්‍ය විචාරයක් හා සම්බන්ධ වීමේ අවස්ථාව ද ඔබට ලැබෙනු ඇත.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT