ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන ඇති එකඟතා අනුව වත්මන් රජය නොව කවුරු රට පාලනය කළද එම එකඟතාවන් සමඟ කටයුතු කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.
මෙලෙස ඇති කරගත් එකඟතා කෙටිකාලීන ඒවා නොව වසර දහය සහ ඊටත් එහා විය හැකි බව පැහැදිලි කළ අධිපතිවරයා එම එකඟතා අනුව දේශීය ණය ප්‍රශස්තකරණය, විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ස්වෛරීත්ව බැඳුම්කර ණය හිමියන් සමඟ ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ තීරණාත්මක තීන්දු ගණනාවක් ගැන යහපත් ප්‍රතිඵල අත්කරගෙන ඇති බව ද ඒ මහතා සඳහන් කළේය. ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ බව සඳහන් කළේ රජය විසින් දේශීය සහ විදේශීය වශයෙන් ලබා ගන්නා ණය සහ අරමුදල් කළමනාකරණය කිරීම සඳහා ස්වාධීන ආයතනයක් පිහිටුවීම, බැංකු හා බැංකු නොවන මූල්‍ය අංශ බිඳ වැටීම වැළැක්වීමට නව අණ පනත් හඳුන්වා දීම, ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සිදුකරන අතරම ආර්ථික වර්ධනයක් සමඟින් රටේ සමස්ත ආර්ථිකයේ ස්ථායීකරණය ඇති කිරීමේ 2024 වාර්ෂික මූල්‍ය ප්‍රතිපත්ති පෙරදැක්ම ඊයේ (10) ඉදිරිපත් කරමිනි.
කොළඹ කොටුව පිහිටි ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේ පැවැති උත්සවයකදී වසර 2024 ආර්ථික මූල්‍ය ස්ථායීකරණ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති පෙරදැක්ම ඉදිරිපත් කළ අධිපතිවරයා ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතා දරුණු සහ අසීරු ලෙස කඩා වැටුණු වසර 2022 ආර්ථිකය නැවත මේ වන විට ස්ථාවර වෙමින් පවතින බව සංඛ්‍යා ලේඛන දත්ත ගෙනහැර දක්වමින් මනාව පැහැදිලි කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා වසර 2024 මැතිවරණ වසරක් ලෙස හැඳිනගෙන තිබීම, ඉහළ බදු අනුපාත පවත්වාගෙන යෑම, දේශීය වශයෙන් මුහුණදෙන ප්‍රධාන අභියෝග බවත් විදේශීය වශයෙන් රුසියා යුක්ක්‍රේන යුද්ධය, ඊශ්‍රායල පලස්තීන යුද ගැටුම ඇතුළු අභියෝග ගණනාවකට මුහුණ දෙමින් වුව රටේ සමස්ත ආර්ථිකය ස්ථායීකරණයක් ඇති කිරීම ඉලක්ක කොට ප්‍රතිපත්ති දැක්ම ඉදිරිපත් කරන බව කීය.
වසර 2022දී ඉන්ධන, විදුලිය, ගෑස් පෝලිම් වැනි දුෂ්කරතා රාශියක් මැද ජන ජීවිතය ගෙන යෑමට මහජනතාවට සිදුවූ තත්ත්වය වළක්වා ගනිමින් මේ වන විට විදේශ විනිමය අනුපාත ස්ථාවර කර ගැනීම, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි අගය පසුගිය වසරේ සියයට දොළහකින් අවප්‍රමාණය කර ගැනීම, වසර 2023 තුන්වන සහ හතරවන කාර්තුවේ ආර්ථිකය ධන මට්ටමකට ගෙන ඒම, සියයට හැත්තෑව ඉක්මවා තිබූ උද්ධමනය ඉකුත් වසරේ නොවැම්බර් මාසය වන විට සියයට තුනයි දශම නවය දක්වා පහළ දැමීම, පොලී අනුපාත අඩු කිරීම ඇතුළු ආර්ථික ස්ථායීකරණ ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට සමත් වී ඇති බව ද අධිපතිවරයා කීය.
මේ ආකාරයට ආර්ථික වශයෙන් බිඳවැටුණු රටක් යළි ශක්තිමත්ව නඟාසිටුවීමට යෑමේදී මුහුණදිය යුතු ඉතා අසීරු සහ අභියෝගාත්මකම තත්ත්වයන්ට මුහුණ දෙමින් වුව ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන ආයතනයක් ලෙස නව මහ බැංකු පනතින් පත් කිරීම, ශ්‍රී ලංකා රජය සහ මුදල් අමාත්‍යාංශය රජයේ වියදම් හැකි තරම් සීමා කරමින් මනා මූල්‍ය කළමනාකාරීත්වයක් පවත්වාගෙන යෑම තුළින් මෙම ස්ථාවරත්වය ගොඩනඟා ඇතැයි ද ඔහු කීය.
ශ්‍රී ලංකා රජයේ ණය කළමනාකරණය සඳහා අලුතින් ස්වාධීන ආයතනයක් පිහිටුවීම සම්බන්ධයෙන් වූ පනත මේ වසරේ මාර්තු මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් එම ආයතනය මෙම වසරේ දෙසැම්බරයේදී ආරම්භ කිරීමටත් ඉලක්ක කොට ඇතැයිද අධිපතිවරයා කීය.
මේ වන විට බදු ප්‍රතිපත්තියෙහි සිදු කළ වෙනස්කම් නිසා උද්ධමනය අපේක්ෂා කරන ප්‍රමාණයට වඩා විශාල ලෙස ඉහළ යෑම වළක්වාලමින් සියයට පහ – හය සීමාවේ රඳවා ගනිමින් රුපියල ශක්තිමත් කර ගනිමින් හඳුන්වාදෙන ආර්ථික ප්‍රතිසංස්කරණ සමඟ පෙරට යෑමට ඔබ අප ඇතුළු සියලු වගකිවයුත්තන් සහ රට වැසියන් ක්‍රියාකිරීමේ අවශ්‍යතාවද මෙහිදී අධිපතිවරයා දැඩි ලෙස අවධාරණය කළේය.
රටේ විදේශ නිල සංචිතය එක්සත් ජනපද ඩොලර් බිලියන හතර දක්වා වැඩි කර ගැනීමට සමත් වී ඇත. බැංකු සහ බැංකු නොවන මූල්‍ය පද්ධතිය ආරක්ෂා කර ගැනීමට, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශ දිරි ගැන්වීමට, ප්‍රාදේශීය සංවර්ධනය ඇති කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ උපරිම සහාය ලබා දීම සම්බන්ධයෙන් වූ ක්‍රියාමාර්ග සහ උපාය මාර්ගික වැඩපිළිවෙළ අධිපතිවරයා ඉදිරිපත් කළේය. බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතනවලින් ලබාගෙන තිබෙන ණය නිසියාකාරව ආපසු ගෙවීමට ක්‍රියා නොකරන පිරිසට එරෙහිව ඒවා අය කර ගැනීමට සාධාරණ නීති රීති පද්ධතියක් අවශ්‍ය බව අධිපතිවරයා කීය.
දැනට පවතින පරාටේ නීතියෙහි සංශෝධන සිදු කළ යුතු නම් ඒවා සිදු කරමින් වුව තැන්පත්කරුවන්ගේ මුදල්වල ආරක්ෂාව සහතික කිරීමට එම නීතිය ක්‍රියාත්ම කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු බවත් අධිපතිවරයා මෙහිදී නැඟූ පැනයකට පිළිතුරු දෙමින් කියා සිටියේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිනි, නියෝජ්‍ය අධිපතිවරු, සහකාර අධිපතිවරු, මෙරට බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ විධායක නිලධාරීන්, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.