Local

රට පුරා නව ආයෝජන කලාප ඇති කර ජාතික ආර්ථිකය දස ගුණයකින් නංවනවා

Friday, 26 January 2024 - 7:51 am

විවෘත ආර්ථිකයෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් රට පුරා නව ආයෝජන කලාප ඇති කර මෙරට ජාතික ආර්ථිකය දස ගුණයකින් ඉහළ නංවාගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. නව ආයෝජන කලාප සඳහා බිංගිරිය, මහනුවර, හම්බන්තොට, ත්‍රිකුණාමලය ප්‍රදේශ සහ උතුරු පළාත හඳුනාගෙන ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. ඔහු මේ බව පැවසුවේ සපුගස්කන්ද අබේසේකරාරාමයේ අභිනවයෙන් ඉදි කරන ලද බෝධි ප්‍රාකාරය සහ රන් වැට විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (25) පෙරවරුවේ එක් වෙමිනි.

සපුගස්කන්ද අබේසේකරාරාමාධිපති, මහාබෝධි අග්‍රශ්‍රාවක මහා විහාරය, සාංචි චේතිය විහාරය (ඉන්දියාව), ලංකාජි විහාරය (ජපානය) යන විහාරයන්හි විහාරාධිපති, ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති, ජපානයේ ප්‍රධාන සංඝනායක, යොෂිඩා අධ්‍යාපනික හා සමාජ සේවා පදනමේ සභාපති බානගල උපතිස්ස නාහිමියන්ගේ අනුශාසනා පරිදි සපුගස්කන්ද අබේසේකරාරාමය, සාංචි චේතියගිරි විහාරය යන විහාරයන්හි නියෝජ්‍ය විහාරාධිපති බානගල විමලතිස්ස ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් මේ ආගමික වැඩසටහන සංවිධානය කර තිබිණි. විහාරස්ථානයට පැමිණි ජනාධිපතිවරයා අභිනවයෙන් ඉදි කළ රන් වැට සහ බෝධි ප්‍රාකාරය විවෘත කළේය. මේ අතර ජනාධිපතිවරයා බානගල උපතිස්ස නාහිමි බැහැදැක උන් වහන්සේගේද ආශීර්වාද ගත්තේය. අනතුරුව පැවති උත්සව සභාව ඇමතු ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය:

“අබේසේකරාරාම විහාරස්ථානයට මා පළමු වරට පැමිණියේ එක්සත් ජාතික පක්ෂයේ බියගම ආසන සංවිධායකවරයා ලෙසයි. එදා මේ බියගම ඉතා නොදියුණු ප්‍රදේශයක්. තිබුණේ මේ තෙල් පිරිපහදුව පමණයි. ඒ මැතිවරණ කාලයේ මම ජීවත් වුණේ මේ අසල තිබූ නිවෙසකයි. මේ අබේසේකරාරාමයට අල්ලපු ඉඩමේ ගොඩනැඟිල්ලක මගේ කාර්යාලය පවත්වාගෙන ගියා. මහා මැතිවරණය පැවැත්වීමට පෙර දින රාත්‍රියේ මේ අබේසේකරාරාමයට පැමිණ ආශීර්වාද ගනිමු කියලා මගේ මව කිවුවා. ඒ අනුව මෙම විහාරස්ථානයට පැමිණ අපවත් වී වදාළ නායක ස්වාමීන් වහන්සේ මුණගැසී මල් පූජා කර මේ බෝධින් වහන්සේ අබියස බෝධි පූජාවක් සිදු කර මම ආශිර්වාද ගත්තා. මා ලැබු මැතිවරණ ප්‍රතිඵලය ගැන නැවත ප්‍රකාශ කිරීමට අවශ්‍ය නැහැ. ඒ අනුව මගේ දේශපාලන ජීවිතයේ වැඩකටයුතු ආරම්භ කළේ මේ ස්ථානයෙන්. ඒ දේශපාලන ගමන අද මම ජනාධිපති ධුරය දක්වා පැමිණ තිබෙනවා.

“මා රට භාර ගත්තේ එදා රටේ ආර්ථිකය විනාශ වී තිබුණ නිසයි. මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් තිබුණේ නැහැ. ඉන්ධන, ගෑස් තිබුණේ නැහැ. ඒ තත්ත්වය තවදුරටත් පැවතියා නම් අපට මේ රට නැති වෙනවා. ඒ නිසා මේ රට බේරාගෙන ආර්ථිකය ගොඩනැඟිය යුතු නිසා වගේම එය කළ හැකි බවට වූ විශ්වාසයක් මා තුළ තිබූ නිසා මා ජනාධිපති ධුරයේ වගකීම භාර ගත්තා. දැන් වසර දෙකක් ගත වී තිබෙනවා. අද අප නැවත ක්‍රමානුකූලව සාමාන්‍ය තත්ත්වයට පත්ව සිටිනවා. ඒත් ආර්ථිකයක් නැවත ගොඩනැගීමේදී මතු වන ප්‍රශ්නවලට අපට මුහුණ දීමට සිදු වී තිබෙනවා. දැන් අප එම තත්ත්වයෙන් ක්‍රමානුකූලව ඉදිරියට පැමිණෙමින් සිටිනවා.

“ශ්‍රී ලංකාවේ බංකොලොත් වූ ආර්ථිකය දැන් යථා තත්ත්වයට පත්ව තිබෙන බව මා ස්විට්සර්ලන්ත සංචාරයේදී ලෝක නායකයන්ට ප්‍රකාශ කළා. ඉතා කෙටි කාලයකින් අප අත් කරගත් ප්‍රගතිය පිළිබඳ ඒ බොහෝ දෙනකු පුදුමයට පත් වුණා. ලෝක බැංකුවේ ප්‍රධානියා වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂතුමිය සමඟත් සාකච්ඡා පැවැත්වීමට මට එහිදී අවස්ථාව ලැබුණා. අප ආර්ථික ස්ථාවරත්වයට පැමිණ සිටින නමුත් අපට ලැබෙන ආදායම් තවමත් ප්‍රමාණවත් නැහැ. ඒ නිසා රටේ ආදායම් ඉහළ නංවාගැනීමට අපට සිදුව තිබෙනවා. ඒ අනුව තමයි කනගාටුවෙන් වුවත් වැට් එකතු කිරීමට අපට සිදුව තිබෙන්නේ. දැන් අප ඍණ ආර්ථිකයක් වෙනුවට ධන ආර්ථිකයක් කරා ගමන් කරමින් සිටිනවා.

“ජනතාවට රැකියා දීමට නව කර්මාන්ත හා නව ආයෝජන අවස්ථා බිහි විය යුතුයි. ඒ සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමට අප දැන් කටයුතු කරමින් සිටිනවා. බියගම ආයෝජන කලාපය වැනි ආයෝජන කලාප රට පුරා ඇති කර, රටේ ආර්ථික වේගය දස ගුණයකින් වැඩි කිරීමට අප සැලසුම් කර තිබෙනවා. අප මෙහිදී බියගම උදාහරණයකට ගන්නවා. ජේ.ආර්. ජයවර්ධන මහතා පළමු ආයෝජන කලාපය කටුනායක ආරම්භ කළා. දෙවැනි ආයෝජන කලාපය බියගමට දෙන්න කියා මා ජේ.ආර්. ජයවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියා. බියගම ආයෝජන කලාපය ආරම්භ කිරීමට අප කටයුතු කළා. ඒ වගේම මෙම ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට පියවර ගත්තා. මේ තීරණ සමඟ එදා නොදියුණු පළාතක්ව පැවති බියගම අද වන විට විශාල සංවර්ධනයක් ලබා තිබෙනවා. ඒ අනුව දකුණු ආසියාවේ හොඳම ආයෝජන කලාපය බවට බියගම සහ කටුනායක ආයෝජන කලාප පත්ව තිබෙනවා. එදා මා බියගමට පැමිණෙන විට එහි පැවතියේ කර්මාන්ත ශාලා 15ක් පමණයි. අද කර්මාන්ත ශාලා 58ක් තිබෙනවා. ඊට අමතරව තවත් විශාල කර්මාන්ත ශාලා 180ක් සහ මධ්‍යම හා කුඩා කර්මාන්ත ශාලා 275ක් තිබෙනවා. අද විශාල ආර්ථිකයක් මෙහි ඇති වී තිබෙනවා. එදා කඩසාප්පු 200ක් වත් තිබුණේ නැහැ. අද කඩ සාප්පු 4,227ක් තිබෙනවා. මේවායේ වැඩ කරන අයට ආහාරපාන දෙන්න ආපනශාලා 597ක් තිබෙනවා. ඉලෙක්ට්‍රික් බඩු කඩ 316ක් තිබෙනවා. සංචාරක හෝටල් 2ක් තිබෙනවා. මෙහි සම්පූර්ණ ආර්ථිකයක් ගොඩනැඟී තිබෙනවා. බියගම දියුණුවත් සමඟ කැලණියත් විශාල දියුණුවක් ලැබුවා. එසේ නම් විවෘත ආර්ථිකයෙන් උපරිම ප්‍රයෝජන ගත්තේ බියගම. ඒ සමගම කැලණිය ඉදිරියට පැමිණියා. වැඩිකල් යෑමට පෙර දලුගම, කිරිබත්ගොඩ, මාකොළ, මාවරමණ්ඩිය, කඩවත විශාල ආර්ථික ප්‍රදේශයක් බවට පත් වෙනවා.

ඒ වගේම මේ දියුණුව රටේ අනෙක් පළාත්වලත් ඇති කිරීමට අප සැලසුම් කර තිබෙනවා. බිංගිරිය, මහනුවර, හම්බන්තොට, ත්‍රිකුණාමලය, උතුර ඒ සඳහා හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව විවෘත ආර්ථිකයෙන් උපරිම ප්‍රයෝජන ගෙන ජාතික ආර්ථිකය දස ගුණයකින් වැඩි කරගැනීමට අප සැලසුම් කර තිබෙනවා.”

ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බානගල උපතිස්ස හිමියෝ:

රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන මහ ගෙදර සපුගස්කන්දයි. බියගම ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට ඔහු කළ මෙහෙය කියා නිම කරන්න බැහැ. නොදියුණු පළාතක්ව තිබුණු බියගම ආයෝජන කලාපයක් බවට පත් කර සමෘද්ධිමත්භාවයක් ඇති කළා. නව පාසල් ආරම්භ කර මෙහි දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉහළ නැංවීමට කටයුතු කළා. බියගම ජනතාව තවමත් රනිල් වික්‍රමසිංහ මහතාට ආදරය කරනවා.”

තීනියාවල පාලිත නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයද ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ, ශ්‍රී ලංකාවේ සිටින ජපාන නියෝජ්‍ය තානාපති කත්සුකි කතරෝ, හිටපු ඇමැති රවී කරුණානායක මහත්වරුන්, යොෂිඩා ජාත්‍යන්තර පාසලේ ආචාර්ය මණ්ඩලය හා සිසු දරුවන්, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

දේශබන්දු තෙන්නකෝන්ට 19 වනදා විමර්ශන කමිටුවෙන් කැඳවීමක්

wedivistara

අද සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරේ

wedivistara

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සුපිරි වෙළෙඳසැලකට මිලියන 2ක දඩයක්

wedivistara

බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශය​ට කඩා වැටෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT