සජිත් සහ අනුර අද ජනතාවට දෙන්නේ දේශපාලනය අරමුණු කරගත් පොරොන්දු මිස රට සහ ජනතාව ගැන සිතා ලබාදෙන පොරොන්දු නොවේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
උදෑසන නැගිට ඇවිදින්න යනවාද? ගෑස් සහ ඉන්ධන පෝලිම්වල සිටිනවාද? යන්න තීරණය කිරීම ඔබට භාර බවද ජනාධිපතිවරයා හිඟුරක්ගොඩ, නුගේගොඩ සහ ජාඇල පැවැති ‘පුළුවන් ශ්‍රී ලංකා’ විජයග්‍රාහී ජනහමුව අමතමින් (30 දා) පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අපට ණය ලබාදුන් රටවල් 18ත්, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සමග ඇතිකරගෙන තිබෙන එකඟතාවන්ද ආරක්ෂා කර ගනිමින් ඉදිරි වසර දෙක තුළදී ජනතාවගේ බදු බර සැහැල්ලු කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.
එදා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා බදු ඉවත් කළ විට ආර්ථිකය දියුණු වන බව පවසමින්, බදු අඩු කළ බවත් එහිදී රටේ ආර්ථිකය කඩා වැටුණු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිහිපත් කළේය.
සජිත් සහ අනුර අද ජනතාවට ලබා දෙමින් සිටින්නේ දේශපාලනය අරමුණු කර ගත් පොරොන්දු මිස රටේ සහ ජනතාවගේ අනාගතය පිළිබඳ සිතා ලබාදෙන පොරොන්දු නොවන බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඔවුන් සැබෑ ලෙසම ජනතාව ගැන සිතනවානම් 2022 ආර්ථික අභියෝගය හමුවේ රට භාර ගැනීමට තිබු බවද ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
සාමාන්‍ය ජනාධිපතිවරණයකදී අප සියලුදෙනා එක වේදිකාවක ඉන්නේ නැහැ. වේදිකාවන් දෙකකට බෙදිලයි ඉන්නේ. නමුත් අද අපි මේ වේදිකාවේ එකට සිටිනවා. ඒ අප සියලුදෙනා එකට එක් වූ නිසයි. අපි එකට එකතුවුණේ ජනාධිපතිවරණය කරන්න නොවෙයි. අප එකට එක්වුණේ රටේ ආර්ථිකය ගොඩගෙන ජනතාව බේරා ගැනීමටයි.
මා ජනාධිපති ධූරය භාරගත් පසු හැම කණ්ඩායමකම පිරිස එක්කරගෙන ආණ්ඩුවක් හැදුවා. සාමාන්‍ය විදියට ආණ්ඩු හදන්න ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා උත්සාහ කළාට විපක්ෂනායකයාවත්, ජනතා විමුක්ති පෙරමුණේ නායකයාවත් ආවේ නැහැ. ඔවුන් සිතුවේ රට ඉවරයි, ආර්ථිකය ඉවරයි කියලයි.
නමුත් අපි රට භාරගත්තා. එම නිසා ආර්ථිකය වගේම රටත් බේරුණා. එහිදී අපට අසීරු තීරණ ගැනීමට සිදු වුණා. අපි ඒ පිළිබඳ ජනතාවට කිව්වා. අපිට බැන්නත් අපි ඒවා ඉවසුවා. නමුත් එම තීරණ ගැනීම නිසා ආර්ථිකය ශක්තිමත් වුණා. ආර්ථිකය ශක්තිමත් වූ විට රුපියල ශක්තිමත් වුණා. රුපියල ශක්තිමත් වූ විට ජනතාවට සහන ලැබෙනවා.
අපි පොහොර සහ ඉන්ධන ලබාදී කෘෂිකර්මාන්තය ආරම්භ කළා. එතැන් සිට ආර්ථිකය දියුණු වෙන්න පටන් ගත්තා. එම දියුණුවත් සමග අපි ජනතාවට සහන ලබාදීමට අස්වැසුම වැනි වැඩසටහන් ආරම්භ කළා. රජයේ සේවකයන්ට රුපියල් දස දහසකට වැටුප් වැඩිවීමක් ලබා දුන්නා. 2025 පාදක වසර කර ගනිමින් අවම වැටුප රුපියල් 55,000ක් බවට පත් කිරීමටත් අප කටයුතු කරනවා. එවන් දියුණුවක් අප මේ වන විට ඇති කරගෙන තිබෙනවා.
අපි දැන් ගොවින්ට සහනාධාර ලබාදීම ආරම්භ කර තිබෙනවා. ධීවර කර්මාන්තය නවීකරණය කර අපි ධීවර ප්‍රජාවට ද සහනාධාර ලබා දෙනවා. නව තාක්ෂණය යොදා ගනිමින් මෙම ක්ෂේත්‍ර දියුණු කළ යුතුයි.
අද අනෙකුත් අපේක්ෂකයන් වේදිකාවල කියන්නේ බඩු මිල අඩු කරනවා, සහනාධාර ලබා දෙනවා කියලයි. නමුත් මම එහෙම කියන්නේ නැහැ. අප සහනාධාර ලබා දෙන්නේ ජනතාවගේ ආදායම් මාර්ග ඉහළ නංවා ගැනීමට සහ නිෂ්පාදන ඉහළ නංවා ගැනීමටයි. ජනතාවගේ ආදායම් වැඩි කරනවා වගේම රැකියා අවස්ථා ද ඉහළ නංවනවා.
අප මේ රට ඉදිරියට ගෙන යා යුතුයි. අද අපත් සමග ඉන්නේ පුළුවන් කියු අයයි. විපක්ෂයේ ඉන්නේ බැහැයි කියපු අයයි. කරන්න බැහැ කියපු අය අපට දැන් බනිනවා. අප ඉදිරියට යා යුතුයි.
ඒ වගේම අප මේ ජාඇල ප්‍රදේශය විශාල සංවර්ධනයකට ලක් කරනවා. ගුවන්තොටුපළ සහ වරාය හරහා එම දියුණුව මේ ප්‍රදේශයට ලැබෙනවා. කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරද දියුණු කළ යුතුයි. රටේ ආර්ථිකය දියුණුවීමත් සමග මෙම ක්ෂේත්‍ර දියුණු වෙනවා.
ඒ සමග අලුතින් ආයෝජන කලාප ආරම්භ කරනවා. ඒ සඳහා බිංගිරිය, කෑරගල ඇතුළු ප්‍රදේශ කිහිපයක් හඳුනාගෙන තිබෙනවා. අපට එම සැලසුම් තිබෙනවා. සැප්තැම්බර් 22 වනදා සිට අප එම කටයුතු ආරම්භ කරනවා.
අප ඉදිරියට යා යුත්තේ මෙම වැඩපිළිවෙළ සමගයි. බදු අඩු කළොත් ආර්ථිකය නැවත කඩා වැටෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට මුදල් ලබා දෙන්නේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා නම් පමණයි. ආදායම් වැඩි කරගෙන රුපියල ශක්තිමත් කරගෙන අප ඉදිරියට යා යුතුයි. අපි ජනතාවගේ ආදායම් වැඩිකර බදු අඩු කරනවා. ඉදිරි වසර දෙකේදී ජනතාවගේ බදු බර සැහැල්ලු කරන බව මා ප්‍රකාශ කරනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ රටවල් 18ක් සංවිධාන 03ක් අප පිටුපස සිටිනවා. මේ සියලුදෙනා සමග අප මෙම කටයුතු ඉදිරියට ගෙන යා යුතුයි.
කවුද ඇත්ත කථා කරන්නේ, කවුද ප්‍රතිඵල ලබාදුන්නේ කියා සැලකිල්ලට ගෙන දේශපාලන තීන්දු ගත යුතුයි. මෙම පියවර ගන්නේ මගේ අනාගතය වෙනුවෙන් නොව, ඔබේ අනාගතය වෙනුවෙන් බව කිවයුතුයි. ඔබ උදෑසන නැගට ඇවිදින්න යනවද, නැත්නම් ඉන්ධන, ගෑස් පෝලිම්වල ඉන්නවද, වෙලාවට බෙහෙත් ගන්නවද, බෙහෙත් නැතිව මිය යනවද කියා ඔබ තීරණය කළ යුතුයි.
වැටුණු වළේ ඔබ දවල් වැටිය යුතු නැහැ. එදා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කිව්වා බදු ඉවත් කළ විට ආර්ථිකය දියුණු වෙනවා කියලා. ඔහු බදු අඩු කළා, ආර්ථිකය වැටුණා. නැවත එය සිදු විය යුතුද, තමන්ගේ අනාගතය දෙස බලා තීරණයක් ගන්න, ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබා දෙන්න කියා මා ඉල්ලා සිටිනවා.
ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා
මේ ප්‍රධාන දේශපාලන පක්ෂ තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කළා. දැන් මා ප්‍රශ්න කරනවා රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සඳහා වන විසඳුම දීලා තියෙන්නේ කාගේ ප්‍රතිපත්ති ප්රකාශනයේද කියලා. එය තිබෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ පමණයි. පසුගිය වසරේ මැයි මාසයේ පත් කළ දස දෙනෙකුගෙන් සමන්විත කමිටුවේ වාර්තාව අනුව 2025 ජනවාරි 02 වෙනිදා සිට රාජ්‍ය සේවයේ අවම වැටුප 24% සිට උපරිමය 35% කින් වැඩි වෙනවා. අවම වැටුප රුපියල් 55,000 යි. ජීවන වියදම් දීමනාව රුපියල් 25,000යි. විශ්‍රාමිකයින්ට එයින් 50%ක් ලැබෙනවා. එන්වීකිව් ශ්‍රේණි අනුව වෘත්තිය සුදුසුකම් ඇතුලුව සදහටම වැටුප් විෂමතාව අවසන් වන අයුරින් ඒ වැඩපිළිවෙළ සකස් කර තිබෙනවා.
ඇමැති රමේෂ් පතිරණ මහතා:
සිවිල් යුද්ධයෙන් රට ගලවා ගැනීම වගේම මෙරට ආර්ථික යුද්ධයෙන් මේ රට ගලවා ගැනීමත් විශාල විජයග්රහණයක්. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට පැහැදිලි දර්ශනයක් තිබෙනවා. මෑත ඉතිහාසයේ ආර්ථික අර්බුදයකින් ගොඩ ආ එකම රට ශ්‍රී ලංකාව පමණයි. එයට දිශානතිය, නායකත්වය ලබා දුන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමායි.
රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා
මෙම ජනාධිපතිවරණයෙන් අපේ රටේ අනාගතය තීරණය වනවා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි මෙවර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කළා. අවුරුදු දෙකක් තුළ රටේ ආර්ථිකය කඩා වැටෙන හැටි, කඩා වැටුණු ආර්ථිකය වසර දෙකක් තුළ යළි පණ නගන ආකාරය අපි සියැසින් දැක්කා. ඒ අත්දැකීම ලබපු ඕනෑම කෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙනවාට කිසිදු සැකයක් නැහැ.
ලෝකයේ රටවල් ගණනාවක් මෙවැනි අමිහිරි අත්දැකීම්වලට මුහුණ දී තිබෙනවා. කඩා වැටුණු රටක් ගොඩගන්න ඍජු නායකත්වයක් අවශ්‍යයි.
පහුගිය අවුරුදු දෙක තුළ පාර්ලිමේන්තුවේ අණපණත් අසූ හතරක් සම්මත කර තිබෙනවා. ආර්ථික වර්ධනය, වංචා දූෂණ නතර කිරීම, මහ බැංකුව ස්වාධීන කිරීම වැනි වැදගත් අණපනත් රාශියක් ඒ අතර වෙනවා.
ඇමැති නලින් ප්‍රනාන්දු මහතා
දැන් පොරොන්දු දේශපාලනය ඉවරයි. මීට අවුරුදු දෙකකට කලින් ලෝකයේ ඉහළම උද්ධමනය තිබුණේ අපේ රටෙයි. නමුත් අද ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වී තිබෙනවා. ඒ නිසා බඩු මිල අඩු කරන්න හැකි වී තිබෙනවා. දැවැන්ත නායකයෙකුට ජය ගත නොහැකි තවත් අභියෝගයක් නැහැ. ඒ නිසාම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින්නේ අභියෝගය ජය ගත් ජයග්‍රාහී අපේක්ෂකයා ලෙසයි.
හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා
මේ වන විට තීරණය වී ඇති ආකාරයට ලබන සැප්තැම්බර් විසි එක්වෙනිදා පැවැත්වෙන්නේ තුන්කොන් ඡන්ද සටනක්. ඒ කියන්නේ රට බේරාගත් නායකයයි, ඇඟ බේරා ගත් නායකයෝ දෙන්නෙකුගෙයි අතර ඡන්ද සටනක් කියලා මම කියන්න කැමතියි. මේ වන විට මාලිමාව කියන විදියට මාලිමාව ජයග්‍රහණය කරලා අවසන් කියා ඔවුන් කියනවා. නමුත් කල්පනා කරල බලන්න කවුද අනුරගේ මිනිස්සු? සුනිල් හඳුන්හෙත්තිට පුළුවන්ද විදේශ රටකට ගිහින් ණය ගැන කතා කරලා, අයිඑම්එෆ් සමඟ සාකච්ඡා කර මේ ප්‍රශ්න විසඳගන්න?
මේ රටේ මිනිසුන්ට මතක ඇති, එදා චිට් ක්‍රමයක් හඳුන්වා දීලා කිව්. ආර් කෝඩ් මගින් තෙල් දුන්නා. මාසයෙන්, දෙකෙන්, තුනෙන් හැමදේම සාමාන්‍ය තත්ත්වයට පත් කළා. විදේශිකයන් එන්නේ නැතුව ගුවන් තොටුපළ වහලා තිබුණේ. අද මේ විදියට තියෙන්නේ එහෙම තත්ත්වයක තිබුණ රටක් කියලා හිතන්නවත් පුලුවන්ද?
හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා
මෙවර ජනාධිපතිවරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු අපේක්ෂකයන් 38 දෙනෙක් ඉදිරිපත්වී සිටිනවා. ජනපති පුටුවට යාමට කී දෙනෙක් බලන් ඉන්නවා ද කියනවා නම් අනුර හා සජිත් මැතිවරණ ප්රචාරක කටයුතු වෙනුවෙන් වියදම් කරන මුදල් ප්‍රමාණයෙන්ම ඒ බව හිතා ගත හැකියි.
නමුත් එදා දැවැන්ත අර්බුදයකට මුහුණ දී තිබූ අවස්ථාවේ රට භාරගන්න ඔය කිසි කෙනෙක් හිටියේ නැහැ. බලය දුන්න වෙලාවේ කවුරුත් බාරගත්තේ නැහැ. ඉතිහාසයේ කිසි දිනෙක ධනපති පන්තියේ නායකයන් නිර්ධන පන්තියට බලය ලබා දී නැහැ. නමුත් බන්දේසියේ තබා ලබා දුන් ජනාධිපතිකම ඔවුන් බාර ගත්තේ නැහැ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා :
වට්ටපු රට අවුරුදු දෙකෙන් ගොඩ ගත්තේ කවුද ? ඒ ජනාධිපති රනිල් වික්රමසිංහයි. රට වැටුණම සජිත්ට අනුරට එන්න කීවාම ආවද? තනියෙන් ආවේ කවුද? ඒ රනිල් වික්‍රමසිංහ මහතායි. අන්න ඒක විතරක් මතක තියා ගන්න. මතක තියාගෙන කළගුණ සළකන්න. අපිට පාරට බහින්න විදිහක් නැතුව, ඉන්ධන, ගෑස්, පොහොර, ඖෂධ නැතුව සිටියදී අප වෙනුවෙන් සිටියේ කවුද කියා මතක් කරන්න. විවේචන කරලා, බොරු කියලා රටවල් ගොඩගන්න බැහැ. රට ගොඩ ගන්න ජාත්‍යන්තර සම්බන්ධතාද අවශ්‍යයි.
චමින්ද සිල්වා, අමරසිංහ බණ්ඩාර – හිඟුරක්ගොඩ, සුසිල් කරුණාතිලක – මින්නේරිය, ජාඇල – බී. ටී. කොටින්කඩුව
පිංතූර – නිශාන් එස්. ප්‍රියන්ත