Local

දුමින්දට දුන් ජනපති සමාව අහෝසියි -ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

Thursday, 18 January 2024 - 3:25 pm

විධායක ජනාධිපතිවරයකු දුන් ජනපති සමාව අහෝසි කළ පළමු අවස්ථාව

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වී මරණ දඬුවම නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දෙන ලද ජනාධිපති සමාව අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (17) තීරණය කළේය. නෙල්කා මැදගෙදර

ඒ අනුව දුමින්ද සිල්වාට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් මඟින් නියම කිරීමෙන් අනතුරුව පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් අනුමත කර ඇති දඬුවම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියම කෙරුණි.

දුමින්ද සිල්වාට දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසි කිරීමත් සමඟම මෙරට ඉතිහාසයේ වරදකරුවකුට විධායක ජනාධිපතිවරයකු විසින් දුන් ජනාධිපති සමාව අධිකරණයක් විසින් අහෝසි කරන ලද ප්‍රථම අවස්ථාව මෙය බව නීතිවේදීහු පවසති.

දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීමට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් සම්බන්ධයෙන් වන ‍ තීන්දුව ප්‍රකාශ කරමින් මෙම නියෝගය නිකුත් කෙරිණි.

ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර, අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙම තීන්දුව දෙනු ලැබීය.

ඝාතනයට ලක් වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිය වන සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය, ඔහුගේ දියණිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු ‌කොමසාරිස්වරයකු වන නීතිඥ ගසලි හුසේන් මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් පූර්ණ විභාගයක් පැවැත්වීමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශ කළේය.

සෙසු විනිසුරුවරුන් දෙදෙනාගේ එකඟත්වයෙන් යුතුව තමන් විසින් ලියන ලද තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සඳහන් කර සිටියේ දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්තනෝමතික සහ අසාධාරණ ලෙස කටයුතු කර ඇති බවය.

ජනාධිපති සමාව ‍ප්‍රදානය කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් අනුමත කර ඇති ක්‍රියාපටිපාටිය එහිදී නිසි ලෙස අනුගමනය කර නැති බව නඩු තීන්දුවේ සඳහන් වේ. තමන් සමඟ ඇති මිත්‍රත්වය සහ දේශපාලන හේතුන් මත දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව විනිසුරු මඬුල්ල පෙන්වා දෙන ලදි.

එසේ සමාව ලබා දීම, සමාන වරදකට සමාන දඬුවම් නියම වූ සෙසු වරදකරුවන්ට සිදු කළ අසාධාරණයක් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) විධිවිධානය මඟින් සහතික කර ඇති ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බවට විනිසුරු මඬුල්ල විසින් තීරණය කරනු ලැබීය.

මෙම පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී වගඋත්තරකාර දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් කරුණු දක්වමින් සඳහන් කළේ විධායක ජනාධිපතිවරයා විසින් කරන ලද ක්‍රියාවක් අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බවය.

එම කරුණු දැක්වීම් ප්‍රතික්ෂේප කිරීමට විනිසුරු මඬුල්ල තීරණය කර තිබේ.

විධායක ජනාධිපතිවරයා විසින් කරන ලද කටයුත්තක් අධිකරණය හමුවේ ප්‍රශ්න කළ හැකි බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කළ පෙත්සම් සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව මඟින් පැහැදිලි ලෙසම දක්වා ඇති බව විනිසුරු මඬුල්ල විසින් පෙන්වා දෙන ලදි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වන වගන්තිය මඟින් ලබා දී ඇති බලතල අත්තනෝමතික ලෙස භාවිත කරමින් එම බලය අභිභවා යමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී කටයුතු කර ඇති බව තීන්දුව මඟින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල පෙන්වා දුන්හ.

එකී සමාව ලබා දීම අත්තනෝමතික සහ අසාධාරණ වන අතර එය සාධාරණීකරණය කිරීමට තරම් පිළිගත හැකි කරුණු ඉදිරිපත් කිරීමට හිටපු ජනාධිපතිවරයා අපොහොසත් වී ඇති බවද මෙම නඩු තීන්දුවේ සඳහන් වේ.

එකම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මහාධිකරණය මඟින් විත්තිකරුවන් කිහිප දෙනකුට දඬුවම් නියම කළ අතර එම දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ද තහවුරු කළ බව පෙන්වා දෙන විනිසුරු මඩුල්ල දුමින්ද සිල්වා පමණක් ම තෝරාගෙන ඔහුට ජනාධිපති සමාව ලබා දීමට කටයුතු කිරීම මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය මඟින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උල්ලංඝනය කර ඇති බවට තීරණය කෙරිණ.

එහිදී සෙසු වරදකරුවන් නොසලකා හැර දුමින්ද සිල්වා පමණක් තෝරා ගැනීම ප්‍රශ්නගත බවද එම තීන්දුවේ සඳහන් වේ. එසේම මෙම සමාව ලබා දීම 2015 අංක 4 දරන වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතේ 3 (q) වගන්තිය සම්පූර්ණයෙන්ම නොසලකා හරිමින් සිදු කර ඇති බව විනිසුරු මඬුල්ල පෙන්වා දෙනු ලැබීය.

මෙකී ක්‍රියාවලිය නිසා රටේ අපරාධ යුක්ති ක්‍රියාදාමය සම්බන්ධයෙන් මහජනතාව සතුව ඇති විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳවැටීමක් සිදු වන බවද විනිසුරු මඬුල්ල විසින් පෙන්වා දෙන ලදි.

වරදකරුවකුට ජනාධිපති සමාව ලබා දීමට අදාළ ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) විධිවිධානය මඟින් ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති අතර එම බලය ඉක්මවා යමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී කටයුතු කර ඇති බවට විනිසුරු මඬුල්ල තීන්දු කළේය. එකී සමාව ලබා දීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර ඇති නමුත් එහි සඳහන් කරුණු පිළිගත නොහැකි බවට විනිසුරු මඬුල්ල විසින් තීරණය කරනු ලැබීය.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) වගන්තිය අනුව වරදකරුවකුට සමාව ලබා දීමේදී ඔහුට දඬුවම් නියම කළ විනිසුරුවරයාගෙන් හෝ විනිසුරු මඬුල්ලෙන් වාර්තාවක් ලබා ගත යුතු අතර එම වාර්තාව නීතිපතිවරයාට යොමු කර ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගත යුතුය. අනතුරුව විෂය භාර ඇමැතිවරයාට එම වාර්තා යොමු කළ යුතු අතර විෂය භාර ඇමැතිවරයා විසින් සිය නිර්දේශ ජනාධිපතිවරයා වෙත යොමු කළ යුතුය. දුමින්ද සිල්වාට මෙම සමාව ලබා දීමේදී එම ක්‍රියාවලිය නිසි ලෙස සිදු වී නැති බව විනිසුරු මඬුල්ල විසින් පෙන්වා දෙන ලදි.

එසේම දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දුන් බවට ලේඛනයක් අධිකරණයට ඉදිරිපත් කර නැති අතර සමාව සඳහා සාධාරණ හේතු ද ඉදිරිපත් කර නැති බව විනිසුරු මඬුල්ල පෙන්වා දුන්නේය.

එබැවින් ජනාධිපතිවරයා එහිදී සිය බලය ඉක්මවා යමින් සහ බලය අයුතු ලෙස භාවිත කරමින් ලබා දුන් මෙම ජනාධිපති සමාව අහෝසි කිරීමට නියම කරන අතර පෙත්සම්කරුවන් සිය පෙත්සම් මඟින් ඉල්ලා සිටි සහන ලබා දීමට තීරණය කළ බව නඩු තීන්දුවේ සඳහන් වේ.

මේ පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා සහ දුමින්ද සිල්වා නම් කර සිටිති.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් 2016 සැප්තැම්බර් 08 වැනි දින හිටපු පාර්ලි‍ෙම්න්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු පස් දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරන ලදි.

මේ නඩු විභාගයට ගැනීමෙන් පසු විත්තිකරුවන් පස් දෙනාම මිනීමැරීමේ චෝදනාවට වරදකරුවන් කොට මරණ දඬුවම් නියම කෙරිණ.

තමන්ට මරණ දඬුවම පැනවූ තීන්දුවට එරෙහිව දුමින්ද සිල්වා මහතා සහ තවත් දෙදෙනකු ඉදිරිපත් කළ අභියාචන පෙත්සම් 2018 ඔක්තෝබර් 11 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර ඔවුන්ට කොළඹ මහාධිකරණය පැනවූ මරණ දඬුවම ඒකමතිකව අනුමත කෙරිණි.

එසේ මරණ දඬුවම තහවුරු කරනු ලැබ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කෙරිණි. ඊට එරෙහිව මෙම පෙත්සම් ගොනු කෙරිණ.

මරණ දඬුවම නියමව සිටි දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දීමේ ක්‍රියාවලියේදි මේ කිසිදු ක්‍රියාමාර්ගයක් අනුගමනය කර නොමැති බැවින් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන ලෙස පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

ඒ අනුව දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දීමේ ක්‍රියාවලිය නීතියට පටහැණි බව ප්‍රකාශ කරන ලෙස මෙම පෙත්සම් මඟින් ඉල්ලා ඇත.

මෙම පෙත්සම් ඉකුත් මැයි මස 31වැනිදා සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබා දුන් අතර හිටපු පාර්ලි‍ෙම්න්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ලබා දුන් ජනාධිපති සමාව අත්හිටුවමින් අතුරු නියෝගයක් නිකුත් කළේය.

ඔහු නැවත සිරභාරයට පත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එදින නියම කෙරිණි. ඔහුට විදෙස් ගමන් තහනම් කරමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුගේ විදෙස් ගමන් බලපත්‍ර අත්හිටුවන අතුරු නියෝගයක්ද නිකුත් කළේය.

අනතුරුව පෙත්සම්කාර පාර්ශ්වයේ ඉල්ලීම මත හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම් කිරීමට අධිකරණය මීට පෙර අවසර දුන්නේය.

ජනාධිපති නීතිඥවරුන් වන එම්.ඒ. සුමන්තිරන්, ජෙෆ් අලගරත්නම්, කේ. කනග්ඊශ්වරන් සහ නීතිඥ සුරේන් ප්‍රනාන්දු, නීතිඥ එරාජ් ද සිල්වා, නීතිඥ දමින්ද විජේරත්න, නීතිඥ ජනගන් සුන්ද්‍රමූර්ති, නීතිඥ ෂෙහාන් චාමික යන මහත්වරුන් ඇතුළු නීතිඥවරු පිරිසක් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

ජනාධිපති නීතිඥවරුන් වන අනූජ ප්‍රේමරත්න, ගාමිණී මාරපන, නවීන් මාරපන, මනෝහාර ද සිල්වා යන මහත්වරු දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි අතර, අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.


Top Stories
wedivistara

අමෙ­රි­කානු සහ­කාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ ළඟ­දීම මෙර­ටට

wedivistara

සජිත්ට සමගි ජන බලවේගයේ ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අවස්ථාව දෙන්නේ නෑ - සේනක ද සිල්වා

wedivistara

රට වෙනුවෙන් ඕන කෙනෙක් එක්ක එකතු වෙන්නත් කැමතියි, වෙන් වෙන්නත් කැමතියි - බැසිල්

wedivistara

BMW රථ 1728 ක් ආනයනයේදී සිදුවූ අක්‍රමිකතා පිළිබඳ​ව නව විමර්ශනයක් කිරීම​ට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට අභියාචනාධිකරණයෙන් නියෝ​ග

wedivistara

සාමාන්‍ය පෙළ විභාගයේ අක්‍රමිකතා ගැන CID යට පැමිණිල්ලක්

wedivistara

කාන්තාවන් සවිබල ගන්වන පනත් කෙටුම්පත් ජුනි මස පාර්ලිමේන්තුවේදී සම්මත කරනවා

Trending
wedivistara

WhatsApp Group හරහා සිදුවන මුදල් වංචාවලින් ප්‍රවේශම් වන ලෙස දැනුම්දීමක්

wedivistara

අද ජාතික ජන බලවේගය සැදී පැහැදී ඉන්​නේ ලංකාවේ විශාලතම දේශපාලන පිම්ම පනින්න - අනු​ර

wedivistara

Foxhill අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන් හා තුවාල ලැබූවන්ට වන්දි

wedivistara

කෙසෙල් කෑවොත් බර අඩු වෙයි – ඔස්ට්‍රේලියානු පර්යේෂණයකින් හෙළිවෙයි

wedivistara

සමහරු මට බනිනවා මං කරන්නේ බෙදන එකලු - සජිත් ප්‍රේමදාස

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT