අතුරුගිරිය මංසන්ධියේ පවතින රථ වාහන තදබදය වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් අරඹන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ දීර්ඝ කාලයක් තිස්සේ පටන් අතුරුගිරිය මංසන්ධියේ පැයකට අධික කාලයක් පුරා දැඩි වාහන තදබදයක් ඇති වන බවට ලැබෙන මහජන පැමිණිලි කෙරෙහි අවධානය යොමු කර, එය නිරීක්ෂණය කිරීම සඳහා පසුගියදා ඒ ස්ථානයට පැමිණි අවස්ථාවේදීය.
මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස්. වීරකෝන්, කඩුවෙල නාගරික කොමසාරිස් දිල්රුක්ෂි ගමගේ, ගාමිණී හෙට්ටිආරච්චි මහත්ම මහත්මීන්, මාර්ග සංවර්ධන අධිකාරියේ හා නාගරික සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරීන්, ප්‍රදේශයේ මහජන නියෝජිතයන්, වෙළෙඳ සංගම් නායකයන් හා ව්‍යාපාරික ප්‍රජාව මේ අවස්ථාවට එක් වූ අතර, ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඔවුන් සමඟ සාකච්ඡා කළේය.
මෙහිදී අතුරුගිරිය මිලේනියම් සිටි හා වානේ සංස්ථාව හරහා කාපට් කර නිමවමින් පවතින මාර්ගය අතුරුගිරිය මංසන්ධියට එක් වන විට ඉන් ඔබ්බට මාර්ගය දෙපස ඇති ව්‍යාපාරික ස්ථාන ඉවත් කොට ඒ සඳහා වන්දි ගෙවීමේ ක්‍රමවේදය කඩිනම් කර ව්‍යාපෘතිය කෙටි කලකින් නිම කිරීමට අදාළ සියලු පාර්ශ්වයන්ගේ රැස්වීමක් කඩිනමින් කැඳවන ලෙස කඩුවෙල ප්‍රාදේශීය ලේකම්වරයා වෙත ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා උපදෙස් දුන්නේය.