Local

මුස්ලිම් ප්‍රජාවගේ නියෝජිතයන් හැටියට අප එකතු වෙලා ජනාධිපතිවරයාට සහාය පළ කරනවා - මුස්ලිම් මන්ත්‍රීවරු කියති

Thursday, 22 August 2024 - 9:34 am

රටේ සියලු දෙනාට බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් අවශ්‍ය බැවින් මුස්ලිම් ප්‍රජාව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බව මුස්ලිම් මන්ත්‍රීවරු පවසති.

කොළඹ පැවැති “පුළුවන් ශ්‍රී ලංකා” මාධ්‍ය හමුවට ඊයේ (21) එක්වෙමින් ජනාධිපතිවරයාට සහාය පළ කරන මුස්ලිම් මන්ත්‍රීවරුන් සඳහන් කළේ මෙරට මුස්ලිම් ප්‍රජාවගෙන් 60%ක් මෙවර මැතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂව ඡන්දය භාවිත කරන බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය එම්.යූ.එම්. අලි සබ්රි මහතා,

එළඹෙන ජනාධිපතිවරණය තීරණාත්මක මැතිවරණයක්. මේ මැතිවරණයේදී මුස්ලිම් ජනතාව හා මුස්ලිම් ප්‍රජාව ඔවුන්ගේ සිතුම් පැතුම් හා අපේක්ෂා පිළිබඳවත් රනිල් වික්‍රමසිංහ මහතා අද වෙනතුරු ගෙනගිය වැඩසටහන පිළිබඳවත් විශ්වාසය තබනවා. විශේෂයෙන්ම අප ඉතාමත්ම සන්තෝස වෙනවා මේ මැතිවරණය පසුගිය මැතිවරණවලට සාපේක්ෂව මිනිස්සු ජාති, ආගම් ගැන මහ ලොකුවට කතා කරන්නේ නෑ. හැමදෙනාම බලාපොරොත්තු වෙන්නේ සියලු ශ්‍රී ලාංකිකයන් සාමයෙන් සමෘද්ධියෙන් ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කර ගැනීමයි.

මුස්ලිම් ප්‍රජාව හැටියට අප දකින දෙයක් තමයි, අපට සාමය අවශ්‍යයි. රටේ සියලු දෙනාට බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් අවශ්‍යයි. වෙළෙඳ ප්‍රජාවට ආර්ථිකය තමයි වැදගත්ම දේ. ආර්ථිකය කඩන් වැටුණොත් ඔවුන්ගේ සම්පූර්ණ ජීවන ක්‍රමය කඩන් වැටෙනවා. ලංකාවට භාණ්ඩ ආනයනය කිරීම සීමා වුණොත් වෙළෙඳ කටයුතු කර ගන්න බැරි වෙනවා. ඒක විශාල වශයෙන් ආර්ථිකයට බලපානවා. ඊට පස්සේ වැදගත්ම දේ වෙන්නේ භූමිය තුළ සියලු දෙනාටම සමානව ජීවත් වීමේ හැකියාව ලබාදීම. පහුගිය අවුරුදු දෙකට සාපේක්ෂව අද ලංකාව තිබෙන දිශානතිය දිහා බලලා විශාල වශයෙන් මුස්ලිම් ජනතාව කැමැත්තෙන් ඉන්නවා ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ පිළිබඳ. රනිල් වික්‍රමසිංහ වතාවක් නෙවෙයි දේවතාවක් කඩා වැටුණු ආර්ථිකය ගොඩනඟලා පෙන්නුවා. 1999 ලංකාවේ ප්‍රථම වතාවට යුද්ධය මධ්‍යයේ ලංකාවේ ආර්ථිකය සංකෝචනය වුණා. 2001දී රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුව භාරගෙන 2004 වෙනකන් අගමැතිවරයා හැටියට ආර්ථිකය ගොඩ ගත්තා.

2022දී වෙන කාටත් භාර ගන්න බැහැ කියපු අවස්ථාවක අවසාන වශයෙන් හැමෝම කරඇරපු වෙලාවක ජනාධිපතිතුමා භාර අරගෙන අද වෙනකොට ආර්ථිකය යථා තත්ත්වයට පත් කරලා තියෙනවා. එම නිසා අපේ සමාජය තුළ මේ අත්දැකීම් ඇති නායකයා මේ කරගෙන යන වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න කවුරුත් කැමැති නැහැ. ඇයි අප තවත් අත්හදා බැලීම් කරන්නේ. ඒ නිසා එතුමාට මේ පාලනය භාර දිය යුතුයි. අප නියෝජිතයන් හැටියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකතු වෙලා ජනාධිපතිවරයාට සහාය පළ කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්,

එදා ඔක්කොම එකතු වෙලා වඳ කොත්තු කියලා ජාතිවාදය ඇති කරලා රජයක් ඇති කරලා ගෝඨාභය රාජපක්ෂ බලයේ පිහිටෙව්වා. අවුරුදු දෙකකදී රට විනාශ වෙලා ගියා. ව්‍යාපාර ටිකක් ඉවර වුණා. සජිත් ප්‍රේමදාස, අනුර දිසානායකට භාරගෙන කරන්න කිව්වා. කවුරුවත් ඉදිරිපත් වුණේ නැහැ. කාටවත් බැහැ වැටිච්ච රටක් ගොඩගන්න. පළපුරුද්ද නැහැ. රනිල් වික්‍රමසිංහ විතරයි අන්තිමට මම භාර ගන්නම් කියලා භාර ගත්තේ. ඒ වගේම රටේ ආර්ථිකය ගොඩ ගත්තා.

මෛත්‍රීපාල සිරිසේන වැටිච්ච රටක් නෙමේ භාර ගත්තේ. ගෝඨාභය රාජපක්ෂ භාර ගත්තේ වැටිච්ච රටක් නෙමෙයි. හැබැයි රනිල් වික්‍රමසිංහ භාර ගත්තේ වැටිච්ච රටක්. කන්න නෑ. තේ ටික නැහැ. පෙට්‍රල් නෑ. ඩීසල් නෑ. කරන්ට් නැහැ. ඒ වගේ වැටිච්ච රටක්. මිනිස්සු ඔක්කොම රටින් පැනලා ගියා. ගොඩක් අය කිව්වේ රට ගොඩ ගන්න බැහැ මේ රට හරියන්නෙ නැහැ කියලයි.

දැන් කන්න බොන්න ටික තියෙනවා. ඉන්ධන ටික තියෙනවා. හැමදේම තියෙනවා. ඒ නිසා මේ රට පළපුරුදු නායකයකුට අප දෙන්න ඕනෑ. අප හිතුවේ රට ගැනයි. අප රට ගැන හිතලා තමයි අද රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙන්න ඕනෑ එතුමාට නෙවෙයි. අපේ ජනතාවටයි. තමන්ගේ පක්ෂය හදන්න ඕන නම් තමන්ගේ පක්ෂයෙන් රට භාර ගන්න තිබුණා. හැබැයි රනිල් වික්‍රමසිංහ පක්ෂය එපා කියල රට ගොඩ ගන්න ස්වාධීනව ඉදිරිපත් වුණා. අද ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න අනිත් නායකයන්ට ඕනෑ එයාලගේ පක්ෂය ගොඩනගන්නයි. මේ වෙලාවේ පක්ෂ හදන්න ගියොත් මිනිස්සු බඩගින්නේ. ගෑස් සිලින්ඩරේ ලාංඡනයෙන් එතුමා ස්වාධීනව ඉදිරිපත් වුණා. මේ රටේ සියයට තිස්තුනක් ඉන්නෙ සුළු ජනතාව.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමන් මහතා,

මේ වෙලාවේ අභියෝගය පැහැරහැරපු අයයි අභියෝගය දිනපු අය අතරයි මැතිවරණය තියෙන්නේ. අපේ රටට අභියෝගයක් ආපු වෙලාවේ නායකයෝ දෙන්නෙක් මීටර් සීය දුවලා තමන්ගේ අභියෝගයෙන් පැනලා ගියා. ලංකාව ආජන්ටිනාව වගේ රටක් වෙයි කියලා හැමෝම කියද්දි මට පුළුවන් කියලා ආව එකම එක්කෙනා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා. අභියෝගය භාරගත්ත නායකයයි අභියෝගයෙන් පලා ගිය නායකයො දෙන්නයි අතර තමයි තරගය තියෙන්නේ.

මේ වෙලාවේ අප සමස්ත ලංකාවේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා රටේ ජාති, ආගම්, කුල, මල භේදයක් නැතුව ලංකාවෙ ජීවත් වෙන්න ඕනෑ නම් ලංකාවේ දියුණුව බලන්න ඕනෑ නම් මේ අභියෝගයට මුහුණදෙන්න බැරි නායකයකුට දීලා නැවත වාරයක් වැටිච්චි වළේ වැටෙනව ද හරි ගමනක් යනව ද කියලා තීරණය කරන්න.

බංග්ලාදේශයේ ආර්ථිකය ඉහළයි. හැබැයි පරිපාලනය දුර්වලයි. ලංකාවේ ආර්ථිකය දුර්වලයි. පරිපාලනය ඉහළයි. ලංකාවේ ජනතාවගෙන් මම ඉල්ලීමක් කරනවා රනිල් වික්‍රමසිංහ ගාව ජාතිය, ආගම්, කුල, මල භේදයක් නැහැ. ලංකාවේ ඉන්න මුස්ලිම් ජනතාවගෙන් මම ඉල්ලීමක් කරනවා බොරුවලට රැවටෙන්න එපා. බුද්ධිමත් තීන්දු ගන්න. මේ රටේ බෞද්ධ, හින්දු, කතෝලික ජනතාවත් එක්ක ඒකට ඉන්න ඔබට අවශ්‍යයි. ජාති, ආගම්, කුල, මල භේද අභියෝගය එනකොට මුහුණදෙන්න බැරි නායකයෝ තමයි අනිත් පැත්තෙ ඉන්නේ. අභියෝගයට මුහුණදෙන්න පුළුවන් එකම නායකයා නිල් වික්‍රමසිංහ පමණයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසි මහතා,

ටෙස්ට් කරන්න නායකවරු ගේන්න ඕන නැහැ කියලා දයාසිරි ජයසේකර කියනවා. චම්පික රණවකත් කියනවා මේකේ ටෙස්ට් කිරීමේ අවශ්‍යතාවක් නැහැ කියලා. මේ දෙන්නම සජිත් මහත්තයාට උදවු කරන්න ගිහින්, රනිල් වික්‍රමසිංහට සහයෝගය දෙනවා වගෙයි කතා කරන්නේ.

රනිල් වික්‍රමසිංහ මේ වෙනකොටත් විභාගයෙන් පාස් වෙලා ඉවරයි. ආර්ථික වශයෙන් වැටුණු රට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා භාර ගත්තාට පස්සේ ඉදිරියට ආවා. මේ වෙලාවේ අනිත් අය ඇවිත් ටෙස්ට් කරන්න ගියොත් වෙන්නේ අපේ රට බංකොලොත් තත්ත්වයට වැටෙන එකයි. එහෙම වුණොත් ආයෙත් ඔළුව උස්සන්න බැරිවෙයි.

ඒ නිසා මුස්ලිම් මන්ත්‍රීවරු විදියට අප අපේ සම්පූර්ණ ශක්තිය යොදවලා මුස්ලිම් ජනතාවගේ ඡන්දයෙන් සියයට හැටකට වැඩි ප්‍රමාණයක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා වෙනුවෙන් ලබා දෙනවා. පසුගිය මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක මන්ත්‍රීතුමාට මුස්ලිම් ඡන්දවලින් 60%ක් ලැබුණා. මෙදා වතාවේ මුස්ලිම් ඡන්දවලින් 20%ක්වත් ලැබෙන්නේ නැහැ. එදා සජිත් යූ. එන්.පී. අපේක්ෂකයා නිසා සජිත්ට ලැබුණේ යූ.එන්.පී. ඡන්ද. හැබැයි ජනාධිපතිවරණයෙන් පස්සේ පැවැත්වුණු පාර්ලිමේන්තු මැතිවරණයෙදි ඒ ඡන්දවලින් අඩක්ම සජිත් අහිමි කරගත්තා. මේ පාර ඒ සියලු ඡන්ද අපේ ජනාධිපතිතුමාට හිමි වෙනවා. ඒකට අපට ශක්තිය තියෙනවා. මේ රට ඉදිරියට යන්න ඕන නම්, මේ රට දියුණු වෙන්න අවශ්‍ය නම්, ආසියාවේ හොඳම රටක් බවට පරිවර්තනය වෙන්න අවශ්‍ය නම් අපේ ජනාධිපතිතුමා තව අවුරුදු පහක් අඩුම ගාණේ මේ පාලනය ගෙනයන්න ඕනෑ.

කාදර් මස්තාන්, එස්.එම්.එම් මුෂාරෆ් සහ අලි සහිර් මවුලානා යන මන්ත්‍රීවරු ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූහ.


Top Stories
wedivistara

වෙසක් උත්සවය වෙනුවෙන් සුරාසල් දින 03 ක් වැසෙයි

wedivistara

නීතිඥ කාමරයේ තිබූ ලැප්ටොප් එක උස්සලා

wedivistara

FitsAir ගුවන් සමාගම, ව්‍යාපාරික පන්තිය හඳුන්වා දෙයි

wedivistara

Hayleys Solar Powers වෙළෙඳපොළට හඳුන්වා දෙයි

wedivistara

තොරතුරු තාක්ෂණය ආර්ථිකයේ ප්‍රමුඛ අපේක්ෂාවක්

wedivistara

කෝටි දෙකක මංකොල්ලයක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT