‘කුඩා, මධ්‍යම සහ දූපත් රාජ්‍යයන් අතර සමුද්‍රීය ආරක්‍ෂාව: අන්තර් තරඟකාරිත්වය, සහයෝගීතාවය සහ සහජීවනය’ යන තේමාව යටතේ පවත්වනු ලැබූ COSATT-INSS-KAS අන්තර්ජාතික සමුළුව, 2025 මැයි මස 15 සහ 16 දිනවල දී කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි. Consortium of South Asian Think Tanks (COSATT), ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය සහ Konrad-Adenauer-Stiftung (KAS) යන ආයතන වල සම සංවිධායකත්වයෙන් මෙවර සමුළුව පවත්වනු ලැබීය.
සමුළුවේ සමාරම්භක උත්සවයට ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් නියෝජනය කරමින් ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය (විශ්‍රාමික) සහභාගී වූ අතර නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ සහ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ ගෞරවනීය ආරාධිත අමුත්තන් ලෙස සමාරම්භක උත්සවයට සහභාගී වූහ.
ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ වැඩබලන අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ වැඩබලන අධ්‍යක්‍ෂ (පර්යේෂණ) කර්නල් නලින් හේරත් විසින් සමුළුව ආරම්භයේ පිළිගැනීමේ දේශනය පැවැත්විය. ඉන්දු-පැසිෆික් කලාපය තුළ කුඩා, මධ්‍යම සහ දූපත් ජාතීන් අතර සමුද්‍රීය ආරක්‍ෂක අභියෝග සහ සහයෝගීතාව පිළිබඳ දෙදිනක් පුරා පැවත්වෙන පුළුල් සංවාදයක් සඳහා වන පසුබිම සකසමින් එහි ප්‍රධාන දේශනය නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ විසින් පවත්වන ලදී.
එසේම, නේපාලයේ කත්මණ්ඩු හි දකුණු ආසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ සහ COSATT හි කැඳවුම්කරු ආචාර්ය නිශ්චල් එන්. පාණ්ඩේ විසින් සමාරම්භක සැසියේදී රැස්ව සිටි පිරිස අමතමින්, අනෙකුත් විද්වත් ආයතන ඇතුළුව ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය, KAS සහ COSATT අතර පවතින සහයෝගීතාවයේ වැදගත්කම ඉස්මතු කළේය.
මෙම සමුළුවට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, දේශීය හා ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවල විද්වතුන් සහ වෘත්තිකයන්, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකාය ඇතුළු විෂයානුබද්ධ අමාත්‍යාංශවල නිලධාරීන් සහ දේශීය හා ජාත්‍යන්තර නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.
මෙම අවස්ථාවට එක් වූ කලාපීය විද්වතුන්, ආරක්‍ෂක විශ්ලේෂකයින්, ප්‍රතිපත්ති විශේෂඥයින් සහ ජාත්‍යන්තර ආයතනවල නියෝජිතයින් විසින් එක්රැස් කරන ලද කරුණු විවිධ තේමාවන් පහක් ඔස්සේ සාකච්ඡා කරනු ලැබීය:
ඉන්දියාව, නේපාලය, පාකිස්ථානය, බංගලාදේශය, පිලිපීනය, ජර්මනිය සහ සිංගප්පූරුව යන රටවල් නියෝජනය කරමින් විදේශීය දේශකයන් 12 දෙනෙකු මෙම සාකච්ඡාවලට සහභාගී වූ අතර, සමුළුවේදී සාකච්ඡා කළ විෂය කරුණු පිළිබඳ ඔවුන්ගේ දැනුම සහ අත්දැකීම් බෙදා ගනු ලැබීය.
පැවති සාකච්ඡාවලට සහභාගී වූවන් විසින්, රටවල් අතර සාගර කලාප සම්බන්ධයෙන් වන ආරවුල්, විවිධ බලවත් රාජ්‍යයන් විසින් සිදුකරනු ලබන උපායමාර්ගික නාවික ස්ථානගත කිරීම් සහ සාගර සම්පත් වෙනුවෙන් ඇති වී තිබෙන තරඟකාරිත්වය වැනි නාවික ක්ෂේත්‍රයේ පවතින සාම්ප්‍රදායික ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් කරුණු බොහොමයක් ඉස්මතු කළහ. ඒ ඔස්සේ විකාශනය වූ මෙම සංවාදය නීතිවිරෝධී මිනිස් ජාවාරම, මුහුදු කොල්ලකෑම්, සාගර ආශ්‍රිත ත්‍රස්තවාදී ක්‍රියා, නීති විරෝධී වෙළඳාම්, සමුද්‍රීය පරිසර පද්ධති වලට සිදු වී ඇති හානි, දේශගුණික විපර්යාස සහ සාගර ජල මට්ටම ඉහළ යාම ඇතුළු සාම්ප්‍රදායික නොවන හා ඉතා බලවත් තර්ජන කිහිපයක් පිළිබඳව ද කරුණු ඉදිරිපත් කෙරුණු අතර, මෙකී සියලු සාධක ශ්‍රී ලංකාව ඇතුළු කුඩා, මධ්‍යම සහ දූපත් රාජ්‍යයන්ට අඩු වැඩි වශයෙන් බලපානු ඇති බව ද අවධාරණය කෙරිණ.
දකුණු සහ අග්නිදිග ආසියාව, යුරෝපය පමණක් නොව ලොව වටා විසිර සිටින විෂයානුබද්ධ විශේෂඥයින් අතර ඵලදායී අන්දමින් අදහස් හා තොරතුරු හුවමාරු කර ගැනීමේ අවස්ථාව මෙම සමුළුව මගින් ඇති කිරීම විශේෂත්වයකි. සමුද්‍රීය ආරක්‍ෂාව සහතික කිරීම, ජාත්‍යන්තර නීතිය ආරක්‍ෂා කිරීම සහ තරඟකාරී සාගර කලාපයන්හි ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය කෙරෙන බහුපාර්ශ්වික සහභාගීත්වය, අන්‍යෝන්‍ය සහ උපායමාර්ගික සහයෝගීතාවයේ වැදගත්කම එහිදී යළිත් තහවුරු කෙරිණ. සමුද්‍රීය ආරක්‍ෂාවේ සංකීර්ණ හා පරිණාමය වන ස්වභාවය පිළිබඳ අවබෝධය හුවමාරු කර ගැනීමට මෙන්ම මෙකී කරුණු සම්බන්ධයෙන් අඛණ්ඩ සංවාදයක් සහ සහයෝගීතාවයක් සඳහා ශක්තිමත් කැපවීමක් සමඟින් මෙම ජාත්‍යන්තර සමුළුවේ සමාප්තිය සනිටුහන් විය.