ආර්ථික පරිවර්තන පනත ඉකුත්දා පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනිණි. ඒ අනුව මෙරට නීති බවට පත් වන එය සහ ඊට එල්ල වන ඇතැමුන්ගේ විවේචන ආදිය අනුව ඉදිරියේදී අවශ්‍ය පරිදි නැවත සංශෝධන ගෙන ඒමට පුළුවන. ඒ මිසෙක, දිළිඳුකමින් ගොඩ ඒම අරමුණු කර ගත්, නැවත රට අගාධයට නොවැටෙන තැනට කටයුතු කිරීමේ අවශ්‍යතාව අපට තවදුරටත් කල් දැමිය නොහැකිය. මෙරටට අද ඊයේ නොව දිගු කලක පටන්ම මේ පනතින් ආවරණය කෙරෙන කරුණු රැසක අවශ්‍යතාව පැවතිණි. ඒ අනුව ජන ජීවිත සුරක්ෂිත කරමින් මානව හිමිකම් රැකෙන ඒ වැඩපිළිවෙළට දැන් ශක්තිමත් පදනමක් මෙයින් වැටී ඇත. සංවර්ධිත රටවල් නැඟී සිටි අන්දම විමසා බැලීමේදී එය පැහැදිලිය.
එහෙත් කලෙක සිටම මෙය සැබෑවක් බවට පත් නොවීමෙන් ආර්ථික, සමාජයීය, දේශපාලනික වශයෙන් අර්බුද රැසකට අපට මුහුණ දීමට සිදු විය. එපමණක් නොව, මෙරට කිසියම් කෙටුම්පතක් මෙන්ම එය පාර්ලිමේන්තු සම්මතයෙන් පනතක් බවට සම්මත වූ පසුවත් එහි එන කරුණු පිළිබඳ කතාබහක්, දැනුවත් කිරීමක් සමාජයේ එතරම් දක්නට නොවේ. එහෙත් එය එසේ නොවන්නට වග බලා ගැනීමත් රටකට වැදගත්ය. සැබැවින්ම නීතිය පිළිබඳ දැනුවත්බව සමාජයට අත්‍යවශ්‍යය. එමෙන්ම, රටක නීතිය පිළිබඳ නොදැනුවත්කම නිදහසට හේතුවක් නොවන බවත් අවධාරණය කළ යුතු කරුණකි. ඒ ඔස්සේ බිහිකර ගැනෙන උගත්, බුද්ධිමත් ජනතාවක් සැබැවින්ම රටකට සම්පතකි. ඒ ඉලක්කය සංවර්ධනය කරා යෙදෙන ගමනේදී මෙරටටත් ඉතා වැදගත්ය. දැන් එකාවන්ව ඉලක්ක හඹා යෑමට අපට පුළුවන. එවිට ඉදිරි පරම්පරාවට සමෘද්ධිමත්, තිරසර රටක් භාර දීමට අපට පුළුවන.
අදූරදර්ශී බව
මෙරට ඉකුත් කාලයේදී දරුණු ආර්ථික අගාධයකට වැටී තිබිණ. අපට ඒ උගත් පාඩම්වලින් ගත හැකි ආදර්ශ බොහොමය. සැබැවින්ම ඊට නිසි ආර්ථික කළමනාකරණයක් නැතිකමත් හේතු විය. එහිලා ප්‍රධාන කරුණු 3ක බලපෑම් දක්නට පුළුවන. ඒ, එකක් වන්නේ, එකල මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට ගැනීමේ තීරණයයි. එවැනි අදූරදර්ශී, හදිසි තීරණ රටකට නොගැළපේ. උග්‍ර ඩොලර් හිඟය තවත් කාරණයකි. තවද, සමහරු මේ අවස්ථාවෙන් දේශපාලන වාසි අත් කර ගැනීමටත් තැත් කළහ. අනෙක, ප්‍රතිව්‍යුහගතකරණයකින් තොරව හිතුමතේ විදේශ විනිමය නිකුතුව හරහා අප සතුව තිබූ ඩොලර් ප්‍රමාණය ද ඉවක් බවක් නැතිව නිදහස් කිරීමය. එවිට වැඩිම හානිය වූයේ මෙරට මධ්‍යම පන්තියටය. ඛනිජ තෙල්, ගෑස් උග්‍ර හිඟයක් ඇති විය. මෙරට ලොකු, කුඩා සංවර්ධන ව්‍යාපෘතින් එකල නැවතිණ. සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘතිය ආදිය අපට නැත්තටම නැති විය. මෙහිලා සුදුස්සන් වෙනුවට, වෛද්‍යවරුන්, පූජ්‍ය පක්ෂයේ අයවලුන්ගේ උපදෙස් අනුව කටයුතු කිරීමෙන් මෙරට එම අර්බුද වඩාත් ඉක්මනින් සක්‍රිය වීමට හේතු වූ බවත් සැබෑවකි. එහෙත් මේ අපට පමණක් ඇති වූවක් නොවේ. අමෙරිකාවටත් කලෙකදී එය එසේම විය.
එහෙත් එවිට එරට දේශපාලන පක්ෂ එකට එක්ව රට වෙනුවෙන් කටයුතු කළහ. ඒ හරහා අර්බුද ජය ගත්හ. ඉන්දියාව ආර්ථික අර්බුදයකට මුහුණ දුන් විටදී එරටත් එකාවන්ව ඒ අභියෝගයට මුහුණ දෙමින් අද තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන්නට හැකියාව ලැබී තිබේ. වියට්නාමය කලෙකදී දරුණු ආර්ථික, සමාජයීය අගාධයකට වැටී සිටි රටකි. අමෙරිකානු යුද්ධය ඊට හේතුවකි. එහෙත් අද වන විට අමෙරිකාවත් සමඟ කරනු ලබන හවුල් ව්‍යාපාර කොතෙකුත් වියට්නාමයේ පවතියි. මෙහිදී ලෝකයා ඉදිරි තරගකාරී ගමනේ යෙදෙන අන්දම පිළිබඳ අප හොඳ විමසිල්ලෙන් පසු විය යුතුය.
ආර්ථික, සමාජයීය, දේශපාලනික අර්බුද මැද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට භාර ගන්නා ලදි. එසේම, ඉන් අනතුරුව ඉකුත් කාලය තුළදී මෙරට යම් ස්ථාවරත්වයකට පත් විය. පැරිස් සමාජයත් සමඟ කළ සාකච්ඡාවලදී අපට අපේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ ලොවට අවබෝධ කර දීමට හැකි විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සහයෝගයෙන් ඉදිරි කටයුතු කිරීමත් එහිදී කැපී පෙනිණි. ඉකුත්දා ආර්ථික පරිවර්තන පනත සම්මත කර ගැනීම ඒ ගමනේ ඉතා වැදගත් සංධිස්ථානයකි.
ඉදිරියට අපනයන විවිධාංගීකරණය ඇතුළු නව මං ඔස්සේ අපට රටක් වශයෙන් ඉදිරියට ගමන් කළ හැකිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එහිලා නාස්තිය, දූෂණය පිළිබඳ විශේෂයෙන් අවධාරණය කරයි. රාජ්‍ය අංශය ප්‍රතිව්‍යුහගතකරණය මෙන්ම කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ වැදගත්කම මෙයින් අවධාරණය කෙරේ. ඒ අතින් අප ලොවට ඉහළ ආදර්ශයක් දී ඇත. පාර්ලිමේන්තු ආංශික කමිටු ඊට හොඳ නිදසුනකි. උගත්, බුද්ධිමත් තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එහි ඉහළ තනතුරු පිරිනමා ඇත. එහිදී දූෂණය, අල්ලස තුරන් කිරීමට අවධානය යොමු වී ඇතුවා පමණක් නොව, දූෂණ විරෝධී පනත මඟින් ඊට ප්‍රායෝගිකවම ඉඩ පාදා තිබේ. අපට අන්තර්ජාතික ප්‍රජාව ඉදිරියේ අප ලද ප්‍රගතිය පෙන්වා දීමේදී එය ද ඉතා වැදගත්ය.
වංචා, දූෂණ පිටුදැකීම
පුද්ගලික අංශයේ කාර්යක්ෂමතාව ඉහළ මට්ටමකින් ඇතැයි අසන්නට දකින්නට තිබුණත් රාජ්‍ය අංශය අතින් එය එසේ නොවේ. තවමත් අකාර්යක්ෂමතාව, මානව හිමිකම් කඩ කිරීම, නාස්තිය, දූෂණය පිළිබඳ ඇතැම් රාජ්‍ය ආයතනවලට ජනතාවගෙන් චෝදනා එල්ල වෙයි. ඊට පිළියම් සෙවීමට මේ පනතින් බොහෝ දුරට ඉඩ සැලසී තිබේ. අනෙක් අතට අපට, රාජ්‍ය අංශයේ නිලධාරින්ගේ සේවකයන්ගේ ද අදහස් සහ දුක්ගැනවිලි අනුව වඩාත් යහපත්, කාර්යක්ෂම සේවාවක් ඩිජිටල්කරණය ආදී නවීන තාක්ෂණය උපකාර කර ගනිමින් ඇති කර ගත හැකිය. මැතිවරණවලදී වියදම් හා කාලය අවම කිරීමට E – VOTING අපටත් හොඳ තෝරා ගැනීමකි. එසේම, විවිධ දූෂණ, අක්‍රමිකතා දුරු කර ගැනීමටත් ඉන් සැලසෙන සෙත අපමණය. දැනටමත් දකුණු පළාත් සභාව ආදිය එදිනෙදා සේවා සැපයීමේදී ඩිජිටල්කරණය අතින් ඉදිරියට පැමිණ තිබේ. එය හොඳ පූර්වාදර්ශයකි. මේ සියල්ල අතැතිව සිටින අපට ඉදිරි අභියෝග එකට එක්ව ලාංකේය ජාතියක් වශයෙන් කටයුතු කිරීමෙන් දිනා ගත හැකිය. එවිට අන්තර්ජාතික මට්ටමෙන් ඇඟිලි ගැසීම්, මානව හිමිකම් කඩ කිරීම් ආදී බාධක පැමිණිය ද ඊට සවිමත්ව මුහුණ දීමට අපට පුළුවන.
ඒ අනුව බැලුවද, ආර්ථික පරිවර්තන පනත ඒ ඉදිරි වැඩපිළිවෙළට ලැබුණු පන්නරයකි. එය විදෙස් ආයෝජකයන්ට කුකුසකින්, සැකයකින් තොරව මෙරට ආයෝජන කෙරෙහි යොමු වීමටත් මඟපාදන්නකි. සැබැවින්ම, වර්ෂ 1966 සිටම මෙරට ලෝක ආර්ථික සාපරාධී සම්මුතියට අත්සන් තබා තිබේ. ඒ අනුවත් අපට අන්තර්ජාතික වශයෙන් ඇති බැඳීම මෙකලදී මේ පනත සම්මත කර ගැනීමෙන් අප ලෝකයා ඉදිරියේ ඒ වගවීම යාවත්කාලීන කර තිබේ. එය ද අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළත් සමඟ ආර්ථික ස්ථාවරත්වය කරා යන ගමනට දිරියකි. සත්තකින්ම, කලින් කලට වෙනස් වන දේශපාලන බල පෙරළි මත මෙරට ඉදිරි සංවර්ධනය මෙහි බලපෑම නිසා තවදුරටත් හීන නොවෙයි. මෙහි වැදගත්කම වටහා ගත් හෙයින්, ඒකමතිකව මෙය පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමත්, මෙරට ඉදිරි සංවර්ධනය වේගවත් වනු ඇතැයි ඉඟි කරන්නකි.
ආර්ථික අපරාධ චෝදනා
මෙරට නිතර අන්තර්ජාතික ප්‍රජාවගේ අවධානයට ලක් වෙයි. ශ්‍රී ලංකාව ආර්ථික අපරාධ කළ බවට වන හංවඩු ගැසීම් පිළිබඳත් මෙහිදී අපට අමතක කළ නොහැකිය. එසේම අපට ඒ චෝදනාවලට ක්‍රියාවෙන් පිළිතුරු දීමටත් සිදුව ඇත. එහිලා ආර්ථික පරිවර්තන පනත හොඳ නිදසුනකි. සැලසුම්සහගතව කටයුතු නොකිරීමත් මෙතෙක් ඒ චෝදනාවට හේතු විය. එහෙත් මෙරට ඉදිරි ආර්ථික කළමනාකරණය පිළිබඳ මේ පනතෙන් බොහෝ දුරට ආවරණය කෙරේ. විශේෂයෙන් අපනයන ආර්ථිකයට මෙයින් හොඳ කොළ එළියක් වැටේ. උගත් පාඩම් ඇසුරෙන් නැවත මෙරට නොවැටෙන තැනකට ඔසවා තැබීමට IMF මඟින් ලද අත හිත තවදුරටත් පාලමක් දක්වා වඩා වර්ධනය කර ගැනීමට අපට මේ පනතින් ඉඩ සැලසී ඇත. දැනට පවතින ආර්ථික සංවර්ධනය වටහා ගෙන අපට එය ඉහළ නංවා ගැනීමට මෙයින් මඟ පෙන්වයි.
එහෙත් මේ කෙරෙහි දෝෂාරෝපණ, මැසිවිලි නොනැඟෙන බවක් ඉන් අදහස් නොකෙරේ. එහෙත් එය අපට සාකච්ඡාවෙන් විසඳා ගත හැකිය. මැතිවරණ සමයක මෙය ගෙන ඒම පිළිබඳ චෝදනා නැඟුණත්, එය එසේම විය යුතුය කියා නියමයක් නීතියේ නොවේ. ඡන්දයට කලින් මෙන්ම පසුවත් කොතෙකුත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේ සම්මත කර ඇති හෙයින් ඒ චෝදනාව පදනම් විරහිතය. පොදුවේ ඒ සෑම මැසිවිල්ලකටම දිය හැකි එක් පිළිතුරක් තවදුරටත් අවධාරණය කළ හැකි වෙයි. එනම්, ඉදිරියේදී එම සාධනීය කරුණු ද එකතු කර ගනිමින් මේ කෙරෙහි සංශෝධන ගෙන ඒමටත් හැකි බවය. එය එසේ තිබියදී දේශපාලන වාසි මේ තුළින් සෙවීමට තැත් කිරීම රටක් වශයෙන් අපට මේ අවස්ථාවේදී ඉතා අවාසිය. එකම රටක, එකම ආර්ථික අර්බුදයක් ජය ගැනීමේ ඉලක්කය අප ඉදිරියේ පැවරී තිබියදී ඒ කරා ගමන් කිරීමට නම් අපට මේ අවස්ථාවේදී එකමුතුකම අත්‍යවශ්‍යය. සමාජ, දේශපාලන ආදී සෑම තලයකින්ම එය එසේම විය යුතුය.
ස්ථාවරය
අපට සතුටුදායක කරුණු රැසකි. මේ ලද ස්ථාවරය අඛණ්ඩව පවත්වා ගෙන යෑමේදී පෝට් සිටි ව්‍යාපෘතිය හරහා ලද හැකි සහාය බොහෝය. අන්තර්ජාතික බේරුම්කරණ මධ්‍යස්ථානයක් ද එහි ඇරඹිය හැකිය. ඒ, පුද්ගලික විශ්වවිද්‍යාල, පුද්ගලික රෝහල් ආදියට අමතරවය. සිංගප්පූරුව, මැලේසියාව අපට මෙහිලා හොඳ උදාහරණය. එහෙත් ඒ ගමනට මෙරටින්ම බාධක පැන නඟී. අත්තනෝමතික වැඩ වර්ජන එවැන්නකි. වෘත්තීය සමිතිවලට නිදහසේ වැඩ කරගෙන යෑමට ඇති අයිතිය පිළිබඳ විවාදයක් නැත. මානව හිමිකම් අනුව බැලුවත් එය එසේමය. එහෙත් අප රටක් වශයෙන් ගෝලීය ප්‍රජාවත් සමඟ කටයුතු කරන විට විවිධ භේදභින්න වීම් අපට අවැඩ පිණිසම පවතියි. ‘අපට පුළුවන්’ යන ස්ථාවරයේ පිහිටා අප කටයුතු කළ යුතු වන්නේ එහෙයිනි. සැබැවින්ම එය පන්නරයකි. ඊට අපව බෙහෙවින් ඔසවා තබන්නටත් පුළුවන.
නුවන් මහේෂ් ජයවික්‍රම