Local

මහ මැතිවරණයෙන් මාලිමාව ජය ගන්නේ මෙහෙමයි…

Thursday, 03 October 2024 - 7:50 pm

වත්මන් ආණ්ඩුව අතින් බරපතල වරදක් සිදු නොවුව හොත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන එකසිය විස්සක පමණ ප්‍රමාණයක් දිනා ගැනීමේ හැකියාව ඔවුන් සතු බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

පිවිතුරු හෙළ උරුමය නායකයා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

පාර්ලිමේන්තු මැතිවරණය මාලිමාව ජය ගන්නේ මෙහෙමයි

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා විපක්ෂයේ සමහර පක්ෂ අගමැති අපේක්ෂකයින් පවා නම් කරලා. ඒ නම් කිරීම හරහා ඔවුන් පෙන්වන්නේ ලංකාවේ දේශපාලනය පිළිබඳ විශේෂයෙන් මැතිවරණ පිළිබඳ තිබෙන අනවබෝධයයි. එවැනි පක්ෂ ආණ්ඩු කරන්න තබා විපක්ෂය බාර දෙන්නවත් සුදුසු නෑ. මීට පෙර හතර වතාවක් ජනපතිවරණය පවත්වා මාස 9ක් ඇතුලත පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා තිබෙනවා. ඒ තමයි 1989, 2010, 2015 සහ 2020 පාර්ලිමේන්තු මැතිවරණ. සෑම අවස්ථාවකම ජනපතිවරණය ජයග්‍රහණය කළ පක්ෂය විසින් පාර්ලිමේන්තු මැතිවරණය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරලා තිබෙනවා. 1989 සහ 2010 පාර්ලිමේන්තු මැතිවරණ පවත්වන්නේ මෙවර වගේම ජනපතිවරණය අවසන් වෙලා මාස තුනක් ඇතුලත. එවිට බලපෑම වැඩියි.

මෙවර ජනපතිවරණයේ දී ලැබුණු ඡන්ද ඒ අයුරින්ම ලැබුණත් මාලිමාව මන්ත්‍රි ධූර 105ක් තිබෙනවා. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජනපතිවරණය ජයග්‍රහණය කළ පක්ෂය ලැබූ ඡන්ද ඒ අයුරින්ම ලැබෙනවා. නැතිනම් 5%ක් පමණ අඩු වෙනවා. නමුත් ප්‍රධාන විපක්ෂයේ අය පරාජයෙන් පසු මානසිකව වැටිලා පාර්ලිමේන්තු මැතිවරණයට උනන්දුවක් දක්වන්නේ නෑ. ඒ නිසා පරාජිත පක්ෂයේ ඡන්ද 1989 දී 22%ක් 2010 දී 33%ක් 2015 දී 18%ක් 2020 දී 42%ක් අඩු වෙලා තිබෙනවා. මේ ප්‍රතිශත හදන කොට ජනපතිවරණයේ දී සහය දීලා පාර්ලිමේන්තු මැතිවරණයේ දී වෙනම තරග කළ පක්ෂ ලැබූ ඡන්දත් ගලපලා හදලා තිබෙන්නේ කියන එක විශේෂයෙන් කියන්න ඕනි. ඒ නිසා පරාජිත ප්‍රධාන පක්ෂ දෙකේම ඡන්ද 25% බැගින් අඩු වේවි කියලා අපට උපකල්පනය කරන්න පුළුවන්. පරාජිත පක්ෂ දෙකේම ඡන්ද අඩු වන විට ජයග්‍රාහි පක්ෂයේ ඡන්ද වැඩි නොවුණත් ප්‍රතිශතය ඉහළ යනවා. ඒ නිසා ආණ්ඩුව විසින් බරපතල දේශපාලන වැරැද්දක් නොකලොත් පහසුවෙන්ම මන්ත්‍රි ධූර 120කට යන්න මාලිමාවට පුළුවන්.

ඒ වගේම අනිවාර්රයෙන්ම ජනපතිවරණයේ දී දුන් පොරොන්දු ඉටු කරන්න නම් පාර්ලිමේන්තු බලයත් මාලිමාවට යන්න ඕනි. නැතිනම් ජනපතිගේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තුවේ සහයෝගය නොතිබුණු නිසා කරන්න බැරි වුණා කියලා කියන්න අවස්ථාව ලැබෙනවා. ජනපති සහ අගමැති පක්ෂ දෙකකින් වුණාම සිද්ධ වෙන්නේ රට අස්ථාවර වෙන එක විතරයි.

මාලිමාවට තුනෙන් දෙකක් ඉල්ලන්නේ ජනපති අනුරගේ හතුරන්

මාලිමාවේ සමහර නායකයින් පාර්ලිමේන්තු මැතිවරණයේ දී මාලිමාවට තුනෙන් දෙකේ බලයක් ඉල්ලනවා. එහෙම ඉල්ලන්නේ එක්කෝ තුනෙන් දෙකේ ගිනි බෝලයෙන් ජනපතිත් ලංකාවත් දෙකම දැවුනු ඉතිහාසය නොදන්නා අය. එහෙම නැතිනම් ජනපති අනුර මැතිතුමා සමග වෛරයක් පිරිමහන අය. ලංකා ඉතිහාසය පුරා තුනෙන් දෙකේ බලයක් ලැබුණු ආණ්ඩු රටත් විනාශ කරලා තමන්වත් විනාශ කරගෙන තිබෙනවා.

ලංකාවේ මුලින්ම තුනෙන් දෙකේ බලයක් ලැබුණේ 1970 දී බණ්ඩාරනායක මැතිණියට. එහි ප්‍රතිඵලයක් ලෙස ඊ ළඟ ඡන්දයේ දී ශ්‍රිලනිපය ආසන 8කට පල්ලම් බැස්සා විතරක් නොවේ නැවත බලයට එන්න වසර 17ක් ගියා. ඊ ළඟට තුනෙන් දෙකේ බලයක් ලැබුණේ 1977 දී ජේ ආර් ජයවර්ධන මැතිතුමාට. ප්‍රතිඵලය වුණේ ඒ ආණ්ඩුව පෙරළුණාට පස්සේ අද දක්වා එජාපයෙන් මහජන ජනපතිවරයෙකු බිහි කර ගන්න බැරි වීමයි. තුන්වෙනුව තුනෙන් දෙකේ බලය ලැබුණේ 2010 දී මහින්ද ජනපතිතුමාට. යුද්ධය දිනලා ලංකා ඉතිහාසයේ වැඩිම යටිතල පහසුකම් සංවර්ධනය කළ ජනාධිපති තමන්ගේම ලේකම්ට පැරදුනා. සිව්වෙනුව තුනෙන් දෙකේ බලය ලැබුණේ ගෝඨාභය ජනාධිපතිතුමාට. වසර දෙකහාමාරක් යන විට තනතුර දාලා ගෙදර යන්න සිදු වුණා. ඕනෑම කෙනෙකුට ඕනෑවට වඩා බලයක් ඕනෑම නෑ කියන එකයි මේ ඉතිහාස කතාව අපට උගන්වන් පාඩම.

සර්වජන බලය ප්‍රධාන විපක්ෂය කරමු

දේශපාලනය නොතේරෙන අය විපක්ෂයේ ඉඳන් දැනටම අගමැතිකමට ඇඳුම් මැහුව්වාට අගමැතිකම ලැබිය යුත්තේ මාලිමාවේ කෙනෙකුට. නමුත් ආණ්ඩුව හරි මග යන්න නම් වැරදි දේ විවේචනය කරන හොඳ දේට සහය දෙන සාධනීය විපක්ෂයක් තිබිය යුතුයි. ඒ බලවේගය ආණ්ඩුවට විපක්ෂයක් විතරක් නොවේ විකල්පයක් විය යුතුයි. මෙවර ජනපතිවරණයේ දී පාට වෙනස් වුණත් ප්‍රධාන පක්ෂ තුනේම මැතිවරණ ප්‍රකාශන වල අන්තර්ගතය එකයි. සර්වජන අපේක්ෂක විතරයි විකල්ප වැඩසටහනක් ඉදිරිපත් කලේ. මෙවර හොඳම මැතිවරණ ප්‍රකාශනය ඉදිරිපත් කලේ සර්වජන බලය කියන එක කවුරුත් පිලිගන්නා කාරණාවක්. පත් වුණු දවසේ සිට වැඩවර්ජන කරමින් උද්ඝෝෂණ කරමින් ආණ්ඩුවට බාධා කරනවා වෙනුවට පාර්ලිමේන්තුවේ පිස්සු නටලා මහජන මුදල් නාස්ති කරනවා වෙනුවට මේ රටේ ප්‍රධාන විපක්ෂය ඉටු කළ යුතු කාර්යභාරය පිළිබඳ වැඩසටහනක් අපි ඉදිරියේ දී ජනතාව ඉදිරියේ තබනවා.

ජනපතිවරණයක් කියන්නේ දෙන්නෙක් අතර සටනක්. වැඩිම වුණොත් තුන්දෙනෙක් අතර සටනක්. පසුගිය ජනපතිවරණයේ දී ප්‍රධාන අපේක්ෂකයින් පස්දෙනාම ජනමාධ්‍ය විසින් තීරණය කරලා තිබිය දී සය වෙනි අපේක්ෂකයා විධියට ලක්ෂය ඉක්මවා ඡන්දය ගැනීම හරහා දිලිත් ජයවීර මැතිතුමා නැවුම් වාර්තාවක් ගොඩ නගලා තිබෙනවා. දිලිත්ට ඡන්දය දුන් එක් ලක්ෂ විසි දෙදහසකට අධික පිරිස ඡන්දය දුන්නේ ඔහු පරදින බව හොඳින්ම දැනගෙන. නමුත් පාර්ලිමේන්තු මැතිවරණය කියන්නේ ජනපතිවරණය වගේ එක්කෙනෙක් ජය ගන්නා මැතිවරණයක් නොවේ. 225ක්ම ජය ගන්නා මැතිවරණයක්. ඒ නිසා ජනපතිවරණයේ දී ලැබූ ජන්දයට වඩා දැවැන්ත ඡන්දයක් මෙවර අපට ලැබෙන බව අපට විශ්වාසයි.

ප්‍රශ්නය සහ පිළිතුරු

ප්‍රශ්නය

පාටලී චම්පික රණවක මහත්මයාණන් කියන්නේ එකම විකල්පය සජිත් කියලයි. ඔබතුමා මොකද ඒ ගැන කියන්නේ.

පිළිතුර

සජිත් ප්‍රේමදාස මහතා අගමැති ධුරය අපේක්ෂා කරනවා නමුත් එය ලැබිය යුත්තේ මාලිමාවට. ජනපති අනුර අගමැති සජිත් වුණොත් ජනපති සහ අගමැති අතර සටනක් ඇති වෙනවා. චන්ද්‍රිකා රනිල්, සිරිසේන රනිල් ගේ ඔය නාටකය අපි දැකල තියනවා. අවසාන වශයෙන් ගෝඨා බැසිල් වශයෙන් ද බලය බෙදුනා. පාර්ලිමේන්තු බලයයි ජනපතිගෙ බලයයි දෙපැත්තට ගියොත් රට අස්ථාවර වෙනවා. ඒ සරල දේවල් නොදන්නා පාටලී තමන්ගේ නොදන්නා ගම තමයි මේ හරහා ප්‍රදර්ශනය කරන්නේ. ඒ වගේම තමයි එකම විකල්පය සජිත් කියන පාටලී චම්පික රණවක මැතිතුමා මීට මාස තුන හතරකට කලින් සජිත් ප්‍රේමදාස මැතිතුමා ගැන කරපු ප්‍රකාශයන් බැලුවම සජිත් ප්‍රේමදාස මැතිතුමාට විතරක් නෙමෙයි චම්පික රණවක මැතිතුමාටත් ඡන්දය දෙන්න නම් හිතෙන්නේ නැහැ. එතුමා එදා කිව්වේ ඇත්ත නම් දැන් කියන්නේ බොරු, දැන් කියන්නේ ඇත්ත නම් එදා කිව්වේ බොරු. තමන් ඇත්ත කිව්වේ කොයි වෙලේද කියලා හරියටම රටට කියන එක රණවක මැතිතුමාගේ කාර්යභාරයක්.

ඒ වගේම ජනාධිපතිවරණය ආසන්නයේ පවත්වනු ලබන පාර්ලිමේන්තු මැතිවරණයක ජයග්‍රහණය ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ පක්ෂයට ම යනවා කියන සරල දේශපාලනයවත් සජිත් ප්‍රේමදාස මැතිතුමා නොදන්නා බව තමයි ඔහු තමන්ව අගමැති අපේක්ෂකයා ලෙස නම් කර ගැනීමෙන් රටට පෙන්නලා තියෙන්නේ. ඉතින් මේ වගේ දේශපාලනය නොදන්නා කෙනෙක් විපක්ෂ නායක පුටුවේ වාඩි කිරීමත් රටට කරන අගතියක්.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT