ඉන්දියාවේ නාගපට්ටිනම් සිට කන්කසන්තුරේ අතර පවත්වා ගෙන ගිය මගී නැව් සේවාවේ දෙවන අදියරය යළිත් ලබන සතියේ සිට ආරම්භ කිරීමට නියමිත බව ‘ශිව ගංගා’ නැව් සමාගම නිවේදනය කර තිබේ.
මුලින්ම ‘චෙරියපානී’ නැව් සමාගම විසින් දෙරට අතර මේ මගී නැව් සේවාව පවත්වා ගෙන ගිය අතර, හදිසියේම ඇති වූ කාලගුණික විපර්යාසය නිසා එම නැව් සේවාව තාවකාලිකව නවතා දමන්න සිදු විය.
පසුව ‘ශිව ගංගා’ නැව් සේවාව දෙවන අදියරයේදී එම නැව් සේවාව ආරම්භ කිරීමට අවස්ථා කිහිපයක්ම සූදානම් වූවත් එය අසාර්ථක වූයේ තාක්ෂණික දෝෂ නිසාවෙනි.
ලබන සතියේදී මේ නැව් සේවාව ආරම්භ වීමත් සමඟම එක් මගියකුට තනි ගමන් ගාස්තුව රුපියල් 26,000ක් වන අතර, එක් වාරයකදී කිලෝ ග්‍රෑම් 60ක් සමඟ මගීන් 150කට මේ නෞකාවේ ගමන් කළ හැකිය.
මේ නැව් සේවාවෙන් ගමන් කරන මගීන්ට යාපනයේ ස්ථාන තුනකදී සහ ඉන්දියාවේ ස්ථාන 12කදී අදාළ ටිකට් පත් මිලට ගැනීමට ද කටයුතු සූදානම් කර ඇත.
සතියේ ඉරිදා දිනය හැර අනෙක් දින හය පුරාම දෛනිකව මේ නැව් සේවාව පවත්වා ගෙන යන බව ද ශිව ගංගා නැව් සේවාව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.