Local

2024 සඳහා ලබා දී ඇති ආයෝජන ඉලක්කය වසර අවසන් වන විට තෙගුණ කළ හැකියි – රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම

Saturday, 11 May 2024 - 7:53 am

වසර දෙකකට පෙර පැවති තත්ත්වයට වඩා 200%කින් රටේ ආයෝජන පරිසරය යහපත් අතට පත් වී ඇති බවත් 2024 වර්ෂය සඳහා මුදල් අමාත්‍යාංශය විසින් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයට ලබා දී ඇති ඉලක්කය මෙම වසර අවසානය වන විට තෙගුණ කළ හැකි බවත්, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පැවසීය.

ආයෝජන රට තුළට පැමිණීමට නම් රටේ දේශපාලන ස්ථාවරභාවය, මූල්‍ය ස්ථාවරභාවය මෙන්ම අනාගතය පිළිබඳ නිශ්චිතතාවයත් පැවතිය යුතු බවත්, මේ වන විට රටට ආයෝජන පැමිණෙමින් ඇති බැවින් එම ස්ථාවරත්වය රට තුළ තිබෙන බව තහවුරු වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් (10) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය,

රටකට ආයෝජකයන් පැමිණීමට නම් රටේ දේශපාලන ස්ථාවරභාවය, මූල්‍ය ස්ථාවරභාවය, මෙන්ම අනාගතය පිළිබඳ නිශ්චිතතාවයත් පැවතිය යුතුයි. ඒ අනුව රටට ආයෝජන පැමිණීමෙන් තහවුරු වන්නේ එම තත්ත්වය රටේ පවතින බවයි. සැබවින්ම රට තුළ ආයෝජන පරිසරය යහපත් අතට පත් වී ඇති බව මට විශ්වාසයෙන් සඳහන් කළ හැකියි. මීට වසර 2කට පෙර තිබූ තත්ත්වයට වඩා 200%කින් මේ පරිසරය ආයෝජකයින්ට සුදුසු ලෙස වෙනස් වී තිබෙනවා.

පසුගිය සමයේ පැවති ආර්ථික අර්බුදය හමුවේ ආයෝජකයන්ගේ පැමිණීමක් සිදු වුණේ නැහැ. නමුත් මේ වන විට මෙරටට ආයෝජකයින් පැමිණීම ආරම්භ කර ඇති බව මට සංඛ්‍යා ලේඛන සහිතව ඔබ වෙත ඉදිරිපත් කළ හැකියි. ඒ වගේම මුදල් අමාත්‍යාංශය ලබා දී ඇති ඉලක්ක ඉක්මවා යාමට අපට හැකියාව ලැබී තිබෙන බවද සඳහන් කළ යුතුයි. මේ සියල්ල සිදු ‍වී තිබෙන්නේ ජනාධිපතිතුමා ඇතුලු රජය ඉටු කළ කාර්යභාරය නිසයි.

මේ වසරේ පළමු කාර්තුව වන විට මුදල් අමාත්‍යාංශය විසින් ලබා දුන් ආයෝජන ඉලක්කය සම්පූර්ණ කිරීමට අදාළ කටයුතු අවසන් කිරීමට අපට හැකි වී තිබෙනවා. ඒ අනුව 2024 වසර අවසානය වන විට මුදල් අමාත්‍යාංශය අපට ලබා දී ඇති ආයෝජන ඉලක්කය තෙගුණ කළ හැකි බව විශ්වාසයෙන් පැවසිය හැකියි. එනම් මේ වසරේදී ඩොලර් බිලියන 03කට වැඩි ආයෝජන ප්‍රමාණයක් මෙරටට ගෙන ඒමට හැකියාව තිබෙනවා.

2023 වසරේ අත්සන් කරන ලද ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක වීම සිදු වන්නේ මේ වසරේදීයි. එම ආයෝජන මේ වසරට අදාළ ආයෝජන ලෙස සළකන්නේ නැහැ.

එසේම ආයෝජන මණ්ඩල නියෝජිතයන් පත් කර විදේශ රටවල මෙරට ආයෝජන ප්‍රවර්ධන කටයුතු සිදු කිරීම අප මේ වසරේ ආරම්භ කළා. විදෙස් රටවල සිටින ‍ශ්‍රී ලාංකීය ව්‍යාපාරිකයන් ගෙන් සමන්විත ගෝලීය සංසද හරහා සිදු කරන අයෝජන ප්‍රවර්ධන කටයුතු හරහා තුළින් මේ වන විටත් බ්‍රිතාන්‍ය, කැනඩාව, ප්‍රංශය, ඉතාලිය සහ ජර්මනිය වැනි රටවලින් සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බවද කිව යුතුයි.

මීට අමතරව ත්‍රිකුණාමලය, මාන්කුලම්, පරන්තන් සහ කන්කසන්තුරෛ ආශ්‍රිතව රජය හා ඒකාබද්ධව ස්ථාපිත කෙරෙන පෞද්ගලික කර්මාන්තපුර අතරින් කන්කසන්තුරේ පෞද්ගලික කර්මාන්ත පුරයේ වැඩ කටයුතු ආරම්භ කිරීමට සූදානමින් සිටිනවා. ඩොලර් මිලියන 500ක් ආයෝජනය කරමින් කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකික, ව්‍යාපාරික කණ්ඩායමක් විසින් එම කටයුතු සිදු කරනවා. ඊට ව්‍යාපෘති ගෙන ඒමේ වගකීමද ඔවුන් විසින් බාර ගෙන තිබෙනවා.

ඒ වගේම ත්‍රිකුණාමල සංවර්ධන සැලැස්ම තුළින් සූර්ය හා සුළං බලශක්තිය, හරිත හයිඩ්‍රජන් වැනි ක්ෂේත්‍ර මෙරට ප්‍රධාන ආයෝජන බවට පත් වීමට නියමිතයි. මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් වූ පසු ඉන්දියාව සමඟ එක්ව මෙම සංවර්ධන ව්‍යාපෘතිය කඩිනම් කිරීමට බලාපොරොත්තු වෙනවා.

බොහෝ දේශපාලනඥයන් කියන ආකාරයට යන්න තියෙන්නේ මේ පාරෙම නම්, මේ පාර හැදුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම්, ඒ පාරේ යන්න වෙන කවුරුත් මොකටද? එතුමත් එක්කම මේ පාරේ යා යුතු බවඅවධාරණය කළ යුතුයි.


Top Stories
wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

මිනිස්සු බලාපොරොත්තු වන්නේ අලුත් පක්ෂයක්. මෙතෙක් කල් ආණ්ඩුව කරපු දේවල් ගැන ජනතාව සෑහීමකට පත්වෙලා නැහැ.

wedivistara

පොලිසියෙන් අතිවිශේෂ ගැසට්ටුවක්

wedivistara

ජාතික පසු අස්වනු කලමනාකරණ ආයතනයෙන් පලතුරු, පල්ප හා ක්ෂණික පලතුරු බීම සැකසීමේ හා බෙදා හැරීමේ මධ්‍යස්ථානයක්

wedivistara

ජනපති අනුරගෙන් අනුදිට සුබ පැතුම්

Trending
wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩි තැබීමට අදාලව අත්අඩංගුවට ගත් තිදෙනා රිමාන්ඩ්

wedivistara

හිටපු ජනපති මහින්ද සහ ගෝඨාභය නිළි රැජිනට අවසන් ගෞරව දක්වයි

wedivistara

පොල් මිල යළිත් ඉහළට

wedivistara

මතුගම ප්‍රාදේශීය සභාවේ තවත් 4ක් සජබට එක්වෙයි

wedivistara

දුමින්ද බන්ධනාගාර රෝහලට


NEWS ALERT