වැට් බද්දෙන් නිදහස් කර ඇති අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග 46 එකම තැනකින් ලබා ගත හැකි පරිදි නාගරික සංවර්ධන අධිකාරියේ ද සහාය ලබාගෙන අලෙවි සල් ජාලයක් ඇති කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඒ අනුව තෝරාගනු ලබන ස්ථානවල වැට් බද්දෙන් නිදහස් භාණ්ඩ වර්ග 46 අලෙවි කිරීම සඳහා අලෙවි කුටි 46 බැගින් ඉදි කිරීමට බලාපොරොත්තු වන බව ද පැවසූ ඇමැතිවරයා සමහර විටෙක එක් කුටියක භාණ්ඩ කිහිපයක් අලෙවි කිරීමට ද සිදු විය හැකි බව ද සඳහන් කළේය. ඇතැම් දේශපාලකයන් හා සමහර කූට වෙළෙඳුන් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවලට පවා සියයට 18ක බද්දක් අය කරන බවට ව්‍යාජ ප්‍රචාර පතුරවමින් ඒවායේ මිල ඉහළ නංවා පාරිභෝගිකයන් ගසාකන බවට තොරතුරු වාර්තා වීමත් සමඟ ඊට පිළියමක් ලෙස මෙම අලෙවිහල් පිහිටුවීමට කටයුතු කරන බව ඇමැතිවරයා තවදුරටත් සඳහන් කළේය.
ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, ජාතික රූපවාහිනිය හා ලේක්හවුස් ආයතනයේ අධ්‍යක්ෂවරුන්ගෙන් සමන්විත කමිටුවක් මඟින් වැට් රහිත භාණ්ඩ අලෙවි කළ හැකි ස්ථාන හඳුනා ගැනීමට කටයුතු කර ඒවා ස්ථාපිත කිරීමට අදාළ පියවර ගන්නා ලෙස තමන් ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු ආචාර්ය රංජිත් රූබසිංහ මහතාට උපදෙස් දුන් බව ද අමාත්‍යවරයා කියා සිටියේය.
මේ අනුව සහල්, පොල්, මාළු, තිරිඟු පිටි, එළවළු, පලතුරු, දේශීය හා විදේශීය බෙහෙත් වර්ග, තැඹිලි කුරුම්බා හා අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත අලෙවි කුටි මගින් ජනතාවට ඉතා සහනදායක මිලට වැට් රහිත භාණ්ඩ මිලට ගැනීමට අවස්ථාව සැලසෙන බව ද ඇමැතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
මෙම අලෙවිහල් ලබා දෙනුයේ සාධාරණ වෙළෙඳ සමාචාර පිළිබඳ යහපත් අතීත ක්‍රියාකාරිත්වයක් ඇති පුද්ගලික අංශයේ ව්‍යවසායකයන්ට බව ද සඳහන් කළ ඇමැතිවරයා ඔවුනට කුලී පදනම මත පෙරවරු 10.00සිට රාත්‍රි 10.00 දක්වා එම අලෙවිහල් පවත්වාගෙන යාමට ඉඩකඩ සපයන බව ද පැවසීය.
එතුළින් මාර්ග සංවර්ධන අධිකාරියේ ඌන උපයෝගිතා සහිත සම්පත් පූර්ණ වශයෙන් භාවිතා කර මාර්ග සංවර්ධන අධිකාරියේ ආදායම ඉහළ නැංවීමට අවස්ථාවක් සැලසෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.