Local

කුමන අභියෝග පැවතිය ද මෙරට බෞද්ධ අධ්‍යාපනය දියුණු කරමින් ඉදිරියට ගෙන යාමේ වගකීම අත් හරින්නේ නැහැ

Saturday, 27 July 2024 - 9:05 am

පිරිවෙන් හා සීල මාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා හා සීල මාතාවන්ට ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව ප්‍රදානය කරමින් ජනපති පවසයි.

  • මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා පමණක් ජනාධිපති අරමුදලින් වසරකට රුපියල් මිලියන 300කට ආසන්න මුදලක් වෙන් කෙරේ.

කුමන අභියෝග පැවතිය ද මෙරට බෞද්ධ අධ්‍යාපනය දියුණු කරමින් ඉදිරියට ගෙන යාමේ වගකීම අත් නොහරින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ පිරිවෙන් හා සීල මාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා හා සීල මාතාවන් මෙන්ම ගිහි සිසුන් සඳහා ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ ගිහි පැවිදි සිසුන් 3000කට ශිෂ්‍යත්ව ප්‍රදානය වෙනුවෙන් අද (24) අරලියගහ මන්දිරයේ දී පැවති උත්සවය අමතමිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල යටතේ ක්‍රියාත්මක තවත් ශිෂ්‍යත්ව වැඩසටහනක් ලෙස දිවයිනම ආවරණ වන පරිදි මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.

පිරිවෙන්(සාමාන්‍ය පෙළ) දක්වා ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා, සීල මාතාවන් හා අ.පො.ස (සාමාන්‍ය පෙළ)දක්වා ඉගෙනුම ලබන ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් මසකට රුපියල් 3000/-බැඟින් මාස 12 ක කාලයක් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම මේ යටතේ සිදු කෙරෙන අතර හිඟ ශිෂ්‍යත්ව වාරික මුදල්ද සමඟ අද දිනයේම මෙම සිසුන්ගේ ගිණුම්වලට රුපියල් 9000/-ක් සෘජුවම බැර කිරීමට කටයුතු කෙරුණු අතර ඉදිරියේදී රුපියල් 3000/-බැගින් මාසිකව ගෙවීම් සිදු කෙරේ.

එසේම පිරිවෙන් (සාමාන්‍ය පෙළ)/අපොස(සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිට විභාගය සමත්ව පිරිවෙන් ප්‍රාචීන විභාගය සඳහා හෝ අපොස (උසස්පෙළ)විභාගය සඳහා පෙනී සිටින ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා, සීල මාතාවන් හා ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් විභාගයට පෙනී සිටින මාසය තෙක් මසකට රුපියල් 6000/- බැගින් මාස 24 ක කාලයක් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමට ද නියමිත අතර හිඟ ශිෂ්‍යත්ව වාරික මුදල්ද සමඟ ශිෂ්‍යත්ව ප්‍රදානොත්සවය පැවති අද දිනම මෙම එක් එක් ශිෂ්‍යත්වලාභියාගේ ගිණුමට රුපියල් 18000/-ක මුදලක් එකවර බැර කිරීමට කටයුතු කෙරිණි.

මෙම ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයට කැඳවා නැති අනෙකුත් ගිහි පැවිදි ශිෂ්‍යත්වලාභීන් වෙනුවෙන් ඉදිරි දිනවලදී සෘජුවම ඔවුන්ගේ බැංකු ගිණුම්වලට වාරික මුදල් ගෙවීමට කටයුතු කරනු ලැබේ.

මෙම ශිෂ්‍යත්ව ප්‍රදානයට අදාල සියලුම ශිෂ්‍යත්වලාභීන් තෝරාගෙන ඇත්තේ එක් එක් පිරිවෙනේ පරිවේණාධිපති හිමියන් /ආයාතනාධිපති හිමියන්ගේ පූර්ණ දායකත්වයෙන් වන අතර සියලු කටයුතු අධීක්ෂණය කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන පිරිවෙන් අධ්‍යාපන අංශ මගිනි.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා ජනාධිපති අරමුදලෙන් වසරකට වෙන් කෙරෙන මුදල රුපියල් මිලියන 300කට ආසන්නය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනේ අලුත් අදියරක් අද අපි ආරම්භ කරනවා. ඒ අනුව පැවැදි සිසුන්ටත් මෙම ශිෂ්‍යත්ව ලබා දීමට පියවර ගෙන තිබෙනවා. අප මේ වන විට ශිෂ්‍යත්වලාභීන් සියුලදෙනාගේ හිඟ මුදල් තමන්ගේ බැංකු ගිණුම් වෙත යොමු කර තිබෙනවා.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහනට පසුබිමක් තිබෙනවා. පසුගිය වසර 04 දී මේ රටේ ජනතාව විඳි දුක මම අමුතුවෙන් කිවයුතු නැහැ. ආර්ථිකය බංකොලොත්වීම හේතුවෙන් ජනතාව පීඩාවට ලක් වුණා. දැන් රටේ ආර්ථිකය ස්ථාවරවීමත් සමඟ ජනතාවට සහන ලබාදිය යුතු වෙනවා. ඒ වෙනුවෙන් අස්වැසුම, උරුමය වැනි විවිධ වැඩසටහන් අප ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ වගේම අඩු ආදායම්ලාභී පවුල්වල දක්ෂ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තම අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙන යාමට සහාය ලබාදීම වෙනුවෙන් අප ජනාධිපති අරමුදල හරහා ශිෂ්‍යත්ව වැඩසටහන් කිහිපයක් හඳුන්වා දුන්නා. රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ ග්‍රාමීය ප්‍රදේශවල විහාරස්ථානයන්හි වැඩ වෙසෙන ස්වාමින් වහන්සේලා ද දුෂ්කරතාවලට මුහුණ දී සිටිනවා. කුමන හේතුවක් නිසාවත් භික්ෂු අධ්‍යාපනය කඩා වැටීමට ඉඩ දෙන්න බැහැ. ඒ නිසා ස්වාමින් වහන්සේලා සහ සීල මාතාවන් වෙනුවෙන් ද අප මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. බුද්ධ ශාසනය පිළිබඳ අවධානය යොමු කරන විට නව භික්ෂු පරපුර ගොඩනැගීමට අවශ්‍ය පසුබිම අප විසින් රට තුළ සකස් කළ යුතුයි. ඒ වෙනුවෙන් ආණ්ඩුවෙන් සිදු කළ හැකි වැදගත් කටයුත්තක් ලෙස මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය හැදින්විය හැකියි.

රටේ බෞද්ධ අධ්‍යාපනය ඉදිරියට ගෙන යා යුතුයි. ඒ වගේම එය දියුණු කළ යුතුයි. පිරිවෙන් ක්‍රමය ආරම්භ කරන විට ඒ වෙනුවෙන් ආධාර උපකාර කිරීමට මට එදා අවස්ථාව ලැබුණා. රටේ ප්‍රශ්න තිබුණත් කිසිවිටෙකත් එම යුතුකම අප අත් හරින්නේ නැති බව කිවයුතුයි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍යවරුන් වන ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රසන්න රණතුංග, බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, ප්‍රදීප් උඳුගොඩ,බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් එයාර් ෆොස් රොෂාන් ගුණතිලක, ජනාධිති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් හා ජනාධිපති අරමුදලේ ප්‍රධානී සරත් කුමාර යන මහත්වරු ඇතුළු නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

රනිල්ට අනුරට හීනෙන්වත් හිතන්න බැරි ඩොලර් කන්දක් මාතෘ භූමියට ගේනවා.. ණය නොවේ තනිකරම ආධාර…

wedivistara

අනුර ජයග්‍රහණය කල පසු රට ගොඩනැගීම ඔහුගේම පමණක් කාර්යයක් නොව මෙරට සියලු පුරවැසියන්ගේ ඒකාබද්ධ කාර්යයක්...

wedivistara

රනිල්ට එරෙහිව සිරිකොතෙන් කුමන්ත‍්‍රණයක්.. මැතිවරණයට එජාපයෙන් සහායක් නෑ..

wedivistara

සජිත් කිසිම නාලිකාවක සජීව සංවාදයකට නෑ…

wedivistara

අනුර ජනතාවගෙන් සමාව ගත යුතු බව ජනපති යාපනයේදී කියයි

wedivistara

මැතිවරණ පැමිණිලි 2600 ඉක්මවයි

Trending
wedivistara

දෙමළ ඡන්ද මාගෙන් උදුරාගැනීමට සජබය දැරූ උත්සාහය අසාර්ථක වෙලා - ජනපති

wedivistara

සජිත්ගේ ඉංග‍්‍රිසි දැනුම ඉතා ඉහලයි.. ෂේක්ස්පියර් පවා සජිත්ගෙන් ටියුෂන් ගත්තා..

wedivistara

මැතිවරණ කොමිසමෙන් බාධා.. රනිල් මහජන රැලි තිහක් කපා හරී…

wedivistara

රට රැකියාවලට යන අයට පුහුණු ගාස්තු රජයෙන්

wedivistara

මාලිමා 40GW සුලං බලාගාරවලට ලංකාවෙන් අවම 10%ක් උපරිම 25%ක් යයි…

wedivistara

ජූලි අවසානයේ දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5.7ට නගී


NEWS ALERT