ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර ස්වෛරි බැඳුම්කර හිමියන් අතර සාකච්ඡාවක් අද දින පැවැත්වෙන බවත්, එම සාකච්ඡාවෙන් පසුව ශ්‍රී ලංකාවේ බංකොලොත්භාවය සම්පූර්ණයෙන් අවසන් වී සියලු රටවල සහාය නැවත මෙරටට හිමිවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
තමාට යම් වැඩ කොටසක් භාර දුන්නා නම් එම වැඩ කොටස සාර්ථකව අවසන් කළ බවට වූ පණිවිඩය සැප්තැම්බර් 21දාට පෙර ජනතාවට ලබා දීමට හැකිවීම පිළිබඳ සතුටු වන බවද ජනාධිපතිරවයා ප්‍රකාශ කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (18) මාතර, ගාල්ල, හෝමාගම, කොළඹ ග්‍රෑන්පාස්හි පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහි ජන රැලි අමතමිනි.
එහිදී තවදුරටත් ජනතාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.
අදින් අපේ මැතිවරණ ව්‍යාපාරය අවසන් වෙනවා. සැප්තැම්බර් 21දා මේ රටේ ජනතාව තම අනාගතය පිළිබඳ තීරණය ගත යුතුයි. මම දේශපාලනඥයෙක් ලෙස ජීවිතයට මුහුණ දුන්නා. ඔබ පුරවැසියන් ලෙස දේශපාලනඥයන් කෙරෙහි විශ්වාසය තැබුවා.පසුගිය වසර දෙකේදී අප හැම කෙනෙකුටම අලුත් අත්දැකීමක් ලැබුණා. ඔබ විශ්වාසය තැබූ නායකයන් මේ රටේ ප්‍රශ්නයට මුහුණදීමට නොහැකිව වගකීම් ප්‍රතික්ෂේප කර පැන ගියා. එවන් තත්ත්වයක තිබූ රටක් මම භාරගත්තා. දේශාපලනඥයන් ලෙස අපට අභියෝගයවලට මුහුණදීමට සිදු වෙනවා. සතුට වගේම දුක තිබෙනවා. අපිට හොඳ කියනවා ඒ වගේම නරක කියනවා. අප ප්‍රසිද්ධ වෙනවා. අපේ නම අමතක වෙනවා. දේශපාලන ක්‍රියාවලියෙන් ලාභයක් ලබනවා, නැත්නම් අලාභයක් ලබනවා. ඒ වගේම තීරණ ගැනීමට සිදු වෙනවා.
ජනතාව මාව ප්‍රතික්ෂේප කළ අවස්ථාවේ වුවද මට ජනතාව ප්‍රතික්ෂේප කළ නොහැකි බව මම තීරණය කළා. රටේ නායකයෙක් ලෙස ජනතාව ප්‍රතික්ෂේප නොකර මම ජනතාව වෙනුවෙන් අභියෝගය භාරගත්තා. මට භාර දුන් නැවේ සිදුරු තිබුණා. ටයිටැනික් නැව වගේ ගිලෙන්න ඉඩ තිබුණා. නැව තුළට වතුර ඇවිත් තිබුණා. කපිතාන් කෙනෙක් හිටියේ නැහැ. නමුත් නැව භාරගෙන නැවේ සිටි අනෙක් පිරිස එක් කර ගනිමින් අපි ගමන ආරම්භ කළා. මම භාරගත්තේ ණය ගෙවීමට නොහැකි වූ රටක්. බංකොළොත් වූ රටක්, ඒ වගේම විදේශ විනිමය නැති රටක්. අපේ බැඳුම්කර හිමියන් අපව ප්‍රතික්ෂේප කර තිබුණා. නමුත් පසුගිය වසර දෙක තුළ එම කටයුතු අවසන් කර අපේ ණය තිරසර භාවය සහ බංකොලොත් භාවය ඉවත් කර අපට දියුණුවීමට අවස්ථාව ලබාගැනීමට හැකිව තිබෙනවා. ඒ වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සමඟ එකඟතාවකට පැමිණ තිබෙනවා. ඒ අනුව බංකොලොත්භාවය අවසන් කර දියුණුව කරා යාමට අපට අවස්ථාව ලැබී තිබෙනවා.
ඒ වගේම අපට ණය ලබා දුන් රටවල් තිබෙනවා. එම රටවල් 18 සමග එක් ගිවිසුමක් සහ චීනය සමඟ වෙනම ගිවිසුමකට එළැඹුණා. අපේ ණය තිරසර භාවය පිළිගෙන ඒ සඳහා අලුත් ක්‍රමවේදයක් ඇති කිරීමට සහ අප බංකොළොත් නොවන බව පිළිගෙන රටේ දියුණුව ඇති කර ගැනීමට ගිවිසුමකට පැමිණීමට හැකි වී තිබෙනවා. ඉතිරි වී තිබෙන්නේ ජාත්‍යන්තර ස්වෛරි බැඳුම්කර හිමියන් සමග සාකච්ඡා කිරීමයි. ඒ අනුව හෙට ඒ අය සමඟ පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු තීරණයකට එළැඹ එම වැඩකටයුතු සම්පුර්ණ අවසන් කිරීමෙන් පසු ලංකාවේ බංකොලොත්භාවය අහෝසි වී එම රටවල ආධාර උපකාර අපට ලැබෙනවා.
මට යම් වැඩ කොටසක් භාරදුන්නා නම් එම වැඩ කොටස අප සාර්ථකව අවසන් කර තිබෙනවා බව සැපැත්ම්බර් 21දා ජනාධිපතිවරණයට පෙර මට ප්‍රකාශ කිරීමට හැකියාව ලැබී තිබෙනවා. ඒ පිළිබඳ සතුටු වෙනවා.
මෙම වැඩපිළිවෙළේදී අපට අසීරු, ජනප්‍රිය නොවන තීරණ ගැනීමට සිදු වුණා. නමුත් වෙනත් විකල්පයක් තිබුණේ නැහැ. ජනතාවට දුෂ්කරතාවලට මුහුණදීමට සිදු වුණා. නමුත් එම ප්‍රශ්න විසඳීමට මම කටයුතු කළා. අද රුපියල ශක්තිමත් වී භාණ්ඩ මිල ක්‍රමානුකූලව අඩු වී ජනතාවට සහන ලැබී තිබෙනවා. ඒ වගේම ජීවන බර පිළිබඳ ගැටළුව 2025 වසරේදී අවසන් කිරීමට මම බලාපොරොත්තු වෙනවා.
අප රට ඉදිරියට ගෙන යා යුතුයි. අප දැන් එහි ඉදිරි පියවර ගැන සිතියි යුතුයි. අප ලබාගත් මේ ආර්ථික ස්ථාවරභාවය තහවුරු කරගත යුතුයි.
“පුළුවන් ශ්‍රී ලංකා” කියා එදා අපි ආර්ථික අභියෝගයෙන් ගොඩ ආවා. දැන් “පුළුවන් ශ්‍රී ලංකා” කියා කියන්නේ රට දියුණු කිරීමටයි. ඒ සඳහා අවශ්‍ය නීති මම සම්මත කරගෙන තිබෙනවා. ආර්ථික පරිවර්තන නීතිය සමග අපට ඉදිරියට යාමට අවස්ථාව තිබෙනවා. අද සජිත් හා අනුර කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම අහෝසි කරනවා කියලා. ඔවුන්ට අවශ්‍ය එම ගිවිසුම් අහෝසි කර මීට වසර දෙකකට පෙර පැවති තත්ත්වයට රට ගෙනයාමටද කියා මම අහනවා.
සජිත්ට හා අනුර කිසිඳු සැලැස්මක් නැහැ. ඔවුන්ට අවශ්‍ය බලය ලබාගැනීම පමණයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම අහෝසි කළොත්, නැවත අලුතින් සාකච්ඡා කිරීමට සිදු වෙනවා. එවිට ශ්‍රී ලංකාව කෙරෙහි තිබෙන විශ්වාසය නැති වී අපට නැවත පෝලිම් යුගයකට මුහුණ දීමට සිදු වෙනවා. නමුත් අපත් සමග ගමන් කළහොත් රුපියල ශක්තිමත් කරගෙන ජීවන බර සැහැල්ලු කර ගනිමින් රට දියුණු කරගෙන ඉදිරියට යාමට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා දන්න පාරේ යනවද, නොදන්න පාරේ ගිහින් අතරමං වෙනවද කියා ජනතාව තීරණය කළ යුතුයි. සජිත්ට හා අනුරට විසඳුම් තිබුණා නම් ඇයි මීට වසර දෙකකට පෙර රට භාර ගත්තේ නැත්තේ ඇයි කියා මම අහනවා. රටේ වගකීම භාරගන්න බැහැ කියලා ඉවත් වෙලා ගිය අයට නැවත මේ රට භාර දිය යුතුද? ඒ නිසා රට ඉදිරියට ගෙන යා හැකි නායකයෙක් තෝරා ගැනීමේ වගකීම ජනතාවට පැවරෙනවා. මෙවර ජනාධිපතිරණයේදී දී ක්‍රිකට් කණ්ඩායම වගේ කණ්ඩායම් තෝරන්නේ නැහැ. පාර්ලිමේන්තු ඡන්දයෙන් එම කණ්ඩායම තෝරා දෙනවා. ඇතැම් අය කියනවා මට කණ්ඩායමක් ඉන්නවා කියලා. එහෙනම් මීට වසර දෙකකට පෙර එම කණ්ඩායම දමා ඔවුන්ට රටේ ආර්ථිකය ගොඩනැගුවේ නැත්තේ ඇයි කියා මම අහනවා. රට භාර ගන්න එපා කියා කිව්වෙත් එම කණ්ඩායම බව මම මෙහිදී සිහිපත් කරනවා.
ඒ නිසා මෙවර ජනාධිපතිවරණයේ දී ජනතාව තම අනාගතය පිළිබඳ සිතිය යුතුයි. තරුණ පරපුරේ අනාගතය පිළිබඳ සිතිය යුතුයි. මම ජනතා වරම ඉල්ලන්නේ එම අලුත් ගමන යාමටයි. හෙට අප පුද්ගලික බැඳුම්කරුවන් සමඟ එකඟතාවකට එළැඹීමෙන් පසු 22දා සිට අලුත් ගමනක් යාමට සුදානම් වෙමු.
ජීවන බර සැහැල්ලු කරමින්, රැකියා ලබාදෙමින්, නව ආර්ථිකයක් ඇති කරමින් විදේශ විනිමය සිඟා කන්නේ නැතිව අභිමානවත් රටක් ලෙස අපේ රට තුන් සිංහලයේ ඉදිරියට ගෙන යාම වෙනුවෙන් සැප්තැම්බර් 21දා ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබාදෙන ලෙස මම ඉල්ලා සිටිනවා
විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා
අද අමාරු දවසක අව්වේ මේ ජනතාව කැපවීම් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි වසර 5 ලබා දෙන්නයි. විදුලිය පැය 13ක් කප්පාදු කරලා, ඖෂධ, පොහොර, ඉන්ධන, ආහාර නැතුව පෝලිමේ දවස් ගණන් හිටියා. ගෝඨාභය රාජපක්ෂ මහතාට ලක්ෂ හැට නමයක් ලබා දීලා අපේ ජනතාව පෝලිම්වල ඉන්න කොට අපට දුකක් තිබුණා. එදා අපේ නායකයන්ට සෘජු තීරණ ගැනීමට හැකි වුණේ නැහැ. සමහර දේශපාලන නායකයෝ ඉවත් වෙලා ගියේ ජනතාවගෙන් ආපු පීඩනය දරාගන්න බැරුවයි. සමහරු හිතුවා මේ රට ගොඩ ගන්න බැහැ කියලා. එකසිය 149ක් හිටපු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු විපක්ෂයේ අසුන් ගත්තා. මේ සියලු දෙනාගේම තිබුනේ බලාපොරොත්තු කඩා වැටීමක්. ගෝඨාභය රාජපක්ෂ මහතා විපක්ෂයේ නායකයින්ට රට බාරගන්නා ලෙස ආරාධනා කළා. එම වගකීම බාරගන්න කිසිදු නායකයෙක් හිටියෙ නැහැ. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා රටේ පාලන වගකීම බාරගෙන වසර දෙකක් ඇතුළත ආර්ථික වශයෙන් රට ගොඩ දැමීමට කටයුතු කළා. එම වසර දෙක තුළදී එතුමාගේ පක්ෂය ගැනවත් එතුමා හිතුවේ නැහැ.
දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මා ඡන්දය දෙන්න තීරණය කළේ එතුමා වැඩ බලන ජනාධිපතිවරයා වුණායින් පසුවයි. එතුමාගේ ගෙය ගිනි තියලා තියෙන වෙලාවක එතුමා ජනතාවගේ දුක් ගිනි නිවීම වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළා. ජනතාවට අනාගතය පිළිබඳ අවිනිශ්චිත භාවයකින් තිබුණු අවස්ථාවක බලාපොරොත්තුවක් ඇති කළේ රනිල් වික්‍රමසිංහ මහතායි.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා:- ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද හැට නම ලක්ෂයක් ලබාගෙන ජයග්‍රහණය කළා. එයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 17 ලක්ෂයක් ඇතුළත් වෙලා තිබෙනවා. නමුත් රටේ ආර්ථිකය බිඳ වැටෙන විට ගෝඨාභය රාජපක්ෂ මහතා රටෙන් පලා ගියා. මහින්ද රාජපක්ෂ මහතා ත්‍රිකුණාමලයේ නාවික කඳවුරේ සැඟ වුණා. පාර්ලිමේන්තුව අල්ලගන්න අරගලකරුවන් පැමිණි වෙලාවේදී ජනාධිපති වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව රැක ගත්තා. එදා අරගලකරුවන් පාර්ලිමේන්තුව අල්ලගත්ත නම් අද ශ්‍රී ලංකාව බංගලාදේශයක් වෙලා හමාරයි.
හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා
රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගැනීම වළක්වාලීමට එතුමාගේ එකම නිවස ගිනි තැබුවා. රට භාරගෙන පැය කිහිපයක් යාමට මත්තෙන් නීතිය හා සාමය ආරක්ෂා කිරීමට කටයුතු කළා. රටට ආදායම් ලැබුණේ නැති මොහොතක, ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟ මොහොතක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය භාරගත්තේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් ගිවිසුම් ගත වෙලා මේ රටට අවශ්‍ය භාණ්ඩ ලබාගැනීමට කටයුතු කළා. ආර්ථිකය නිවැරදිව කළනාකරණය කරමින් රට බංකොලොත්භාවයෙන් මුදාගැනීමට කටයුතු කළා. නව ආර්ථික ප්‍රතිසංස්කරණ ගෙන ඒමට කටයුතු කළා. ආර්ථික පරිවර්තනය නීතිය හඳුන්වා දෙමින් රාජ්‍ය ආදායම ඉහළ නැංවීමටද කටයුතු කළා. නව පනත් හතළිස් තුනක් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට පසුගිය වසර දෙක ඇතුළත කටයුතු කළා. මුදල් මුද්‍රණය කිරීමට හෝ නව ණය ගැනීම නවතා දැමුවා. අද රුපියල ශක්තිමත් වී තිබෙනවා. උද්ධමනය තනි ඉලක්කමට ගෙන ඒමට කටයුතු කර තිබෙනවා. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම කඩ කළහොත් ලංකාව නැවත වැටෙන එක වළක්වන්න බැහැ.
හිටපු අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය
ජනතාවගේ ජීවිත ආරක්ෂා කළ රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය විජයග්රහණයක් වන බව මේ ජන ගඟ බැලූ විට මට විශ්වාසයි. මා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය නැවත ලබාදී රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැමිණියේ ඒ එතුමා ආර්ථිකය සම්බන්ධයෙන් ගෙන යන නිවැරදි ක්‍රියාමාර්ග නිසයි. සජිත් ප්‍රේමදාස මහතා හා රනිල් වික්‍රමසිංහ මහතා අතර තිබෙන වෙනස අහසයි පොළොවයි වගෙයි. ජනාධිපතිවරයාගේ ජීවිතය හරි සරලයි. එතුමා දරුවෝ වඩා ගත්තේ නැති වුණාට දරුවන්ට හරි ආදරෙයි. මේ රටේ ළමා නිවාස ගණනාවක භාරකාරත්වය දරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා සහ එම ආර්යාවයි.
මහා සංඝරත්නය ප්රමුඛ අන්‍යාගමික පූජකවරුන්, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, දේශපාලන නියෝජිතයන් ඇතුළු විශාල ජනකායක් මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.