Local

බුද්ධ රශ්මි වෙසක් කලාපය මෙවර CBL Munchee අනුග්‍රහයෙන් ගංගාරාමයේදී

Thursday, 23 May 2024 - 4:16 pm

විද්‍යාව සහ තාක්ෂණය සමඟ වේගයෙන් ඉදිරියට යන ලෝකයට මුහුණදීමට සිදුවන ගැටළු සඳහා ථෙරවාද බුදු දහම තුළ විසඳුම් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

එබැවින් ථෙරවාද බුදු දහමේ නියම හරය ආරක්ෂා කර ගනිමින් එය ලෝකය වෙත ගෙන යාමට කටයුතු කළයුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ (23) පෙරවරුවේ මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේ පැවති රාජ්‍ය වෙසක් උත්සවය විද්‍යුත් තාක්ෂණය ඔස්සේ අමතමිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ රාජ්‍ය වෙසක් උත්සවයට සහභාගිවීමට නියමිතව තිබුණද, අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් ජනාධිපතිවරයා ඊට සහභාගි නොවූ අතර විද්‍යුත් තාක්ෂණය ඔස්සේ රාජ්‍ය වෙසක් උත්සවය සමඟ සම්බන්ධ වෙමින් සියලු බෞද්ධ ජනතාව වෙත සුබ වෙසක් මංගල්‍යයකට සුභාශිංසන එක් කළේය.

“අත්තනො ව අවෙක්ඛෙය්‍ය කතානි අකතානි ච (අනුන් කළ දේ නොව තමන් කළ දේ ගැන විමසිලිමත් වෙමු) යන තේමාව යටකේ මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් රාජ්‍ය වෙසක් උත්සවය මෙවර පැවැත්වේ. 21 වැනිදා සිට 27 වැනිදා දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන මෙවර රාජ්‍ය වෙසක් උත්සවය සදහා රටවල් 12ක බෞද්ධ භික්ෂූන් වහන්සේලා වැඩම කර සිටිම ද විශේෂත්වයකි

මෙම වැඩසටහනේදී පූජා භූමි සන්නස් පත්‍ර ප්‍රදානය හා විදේශ දූත පිරිස් විසින් තිළිණ ප්‍රදානයක් ද සිදු කෙරිණි. වෙසක් සමරු මුද්දරයක් නිකුත් කිරීම, විහාරස්ථාන සංවර්ධන ආධාර ප්‍රදානය, බුද්ධශාසන අරමුදලේ ආධාර ප්‍රදානය, දහම් පාසල් ප්‍රතිපාදන ලිපි ප්‍රදානය, සාමණේර ස්වාමීන් වහන්සේලා සඳහා සංකේතාත්මක පොත් කට්ටල ප්‍රදානය, බුදුපුත් මාපිය උපහාර චෙක්පත් ප්‍රදානයද මෙහිදී සිදු කෙරිණි.

මාතලේ දිස්ත්‍රික්කයේ ග්‍රාමීය බෞද්ධ විහාර 22ක් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 22ක් ද, රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව වැඩසටහන් පැවැත්වෙන විහාරස්ථාන 05ක් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 2.6ක් ද, ආපදාවට ලක්වූ විහාරස්ථාන 03ක් ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 0.4ක් ද, දහම් පාසල් 12ක් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 5ක් ද, බුද්ධශාසන අරමුදල යටතේ දුෂ්කර විහාරස්ථාන 32ක් සඳහා සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා රුපියල් මිලියන 32ක් ද වෙන් කර තිබේ. මීට සමගාමීව දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 25කට වැඩි ප්‍රමාණයක සංවර්ධන කටයුතු ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක බළකායේ ශ්‍රම දායකත්වයෙන් ආරම්භ කර තිබේ.

සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව රාජ්‍ය වෙසක් උත්සව වැඩසටහන සංවිධානය කර තිබේ.

විද්‍යුත් තාක්ෂණය ඔස්සේ රාජ්‍ය වෙසක් උත්සවය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ
වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

මාතලේ දිස්ත්‍රික්කයේ පැවැත්වෙන ජාතික වෙසක් උත්සවයට අයහපත් කාළගුණික තත්ත්වය නිසා සහභාගිවීමට අවස්ථාව නොලැබීම පිළිබඳව මම කණගාටු වෙනවා. මාතලේ දිස්ත්‍රික්කය අපේ ථෙරවාද බුදු දහමේ වැදගත් ස්ථානයක් බව කිවයුතුයි. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කිරීම සිදු වූයේ මේ මාතලේ අළුවිහාරයේදීයි. ඒ නිසා බුදුන් වහන්සේගේ ධර්මය ආරක්ෂා වෙලා තිබෙනවා. අප ථෙරවාද බුදු දහම පිළිබඳ වැඩි වැඩියෙන් අවධානය යොමු කළයුතුයි.

අනුරාධපුර යුගයේ පැවති පිරිවෙන්වලින් බිහි වුණේ මහා සංඝයා වහන්සේලා පමණක් නොවෙයි. ලෝකයේ ප්‍රධානම වාරි ක්‍රමයක් ශ්‍රී ලංකාවේ අරම්භ කිරීමට එම අධ්‍යාපනය නිසා අවස්ථාව ලැබුණු බව සෙනරත් පරණවිතාන වැනි වියතුන්ගේ මතය වුණා.

අද ලෝකය මිථ්‍යා දෘෂ්ටියෙන් ඉවත් වෙමින් සිටිනවා. වැඩි වැඩියෙන් විද්‍යාව පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා. නව තාක්ෂණය සමග ශත වර්ෂ ගණනාවක අපගේ ජීවන රටාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. විශේෂයෙන්ම වෛද්‍ය අංශය සහ තාක්ෂණ අංශය දියුණු වී තිබෙනවා. තාරකා ලෝකය පිළිබද ඇති නව දැනුම මෙන්ම කෘත්‍රීම බුද්ධි තාක්ෂණය මඟින් ලැබෙන දැනුම දියුණුවීමත් සමග අපට තවත් ප්‍රශ්න කිහිපයකට මුහුණදීමට සිදු වෙනවා.

නමුත් ථෙරවාද බුදු දහම අනුගමනය කරන සහ එහි නියම අර්ථය පිළිබද දැනුවත් අයට මෙය ගැටළුවක් වන්නේ නැහැ. ථෙරවාද බුදු දහම තුළින් මෙම ගැටළුවලට විසඳුම් සෙවිය හැකියි. එබැවින් ථෙරවාද බුදු දහමේ නියම හරය ආරක්ෂා කර ගැනීමට අප අවධානය යොමු කළයුතුය.

ඔබ සියලුදෙනාට සුබ වෙසක් මංගල්‍යයක් ප්‍රාර්ථනා කරනවා.

සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති පූජ්‍ය තුන්මුල්ලේ සීලක්කන්ද, ලේඛකාධිකාරී පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ යන ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයද, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝ, රෝහණ දිසානායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාලක කෝට්ටේගොඩ , උදයන කිරිදිගොඩ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

පොලිසියට 5,000ක් බඳවා ගන්න අනුමැතිය

wedivistara

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ජනපතිගෙන් පූර්ණ සහයෝගය

wedivistara

දහම් පාසල් ගුරුවරුන්ට ලබන වසරේ සිට දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවේ

wedivistara

සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

ගොවි විශ්‍රාම වැටුප් ගැටලුවලට විසඳුම් ලබාදෙයි

wedivistara

භාතිය හස්තියාගේ යම් ප්‍රගතියක් පෙන්නුම් කරනවා - පශු වෛද්‍ය තරිඳු විජේකෝන්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට


NEWS ALERT