Local

මම සුක්කානම බාරගත්ත නිසා රටට සල්ලි එනවා

Sunday, 15 September 2024 - 9:38 pm

“විපක්‍ෂ නායක දැනගන්න ඕන තමන් විතරක් ප්‍රධාන අපේක්‍ෂකයා හැටියට ඉදිරිපත් වෙන්න
ඒත්… අනුර අවස්ථාව දැකලා ඉස්සරහට ගියා”

“මම පාර පෙන්නල තිබෙනවා. දැන් ඕනෑම කෙනකුට යන්න පුළුවන්”

දැනට IMF එක පිළිඅරගෙන තියෙනවා අපි තිරසර භාවයට යනවා කියලා

මාලදිවයින විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දෙනවා. බංගලාදේශයේ පාලනයක් නැති වෙනවා. අපි එතනට එන්න ඕනෑද? නැත්නම් මේ මාර්ගයේ යනවාද? සජිත්වත් අනුරවත් මේවාට පිළිතුරු දෙන්නෙ නෑ

මෙරට නව වැනි විධායක ජනපතිවරයා පත්වීමට ඇත්තේ තව සතියක කාලයකි. වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මෙවර ජනාධිපතිවරණයට පිවිසෙන්නේ ස්වාධීන අපේක්‍ෂකයකු ලෙසය. රට බිඳවැටී තිබුණු මොහොතක, අතිශය සංකීර්ණ අවස්ථාවක එක්සත් ජාතික පක්‍ෂයේ එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් පත්ව සිටි ඔහු නොබියව රටේ වගකීම කරට ගත්තේය. බිඳවැටී තිබුණු ආර්ථිකය කෙටි කලක් තුළ යළි ඉහළ නංවන්නට ජනපතිවරයා සමත්විය. ඔහු ජනපති සටනට පිවිසෙන්නේ එවන් පසුබිමක ය. ප්‍රතිවාදී අපේක්‍ෂකයන් තම තමන්ගේ පක්‍ෂ නියෝජනය කරමින් ජනපති සටනට පිවිසියද රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා ස්වාධීන අපේක්‍ෂකයකු ලෙස ඉතා තීරණාත්මක සටනකට අවතීර්ණව සිටී. මේ කතාබහ ඔහුගේ ආර්ථික සැලැස්ම හා වැඩපිළිවෙළ පිළිබඳය.

මෙවර ජනාධිපතිවරණයේදී මේ රටේ ජනතාව ඔබට ඡන්දය දිය යුත්තේ ඇයි?

“රටේ සාමාන්‍ය තත්ත්වයක් ඇති කරන්න, අනාගතයක් ඇතිකරන්න, ඒ වගේම ආර්ථික ස්ථාවරභාවයක් ඇතිකරන්න. ඒක තහවුරු කරනවද නැද්ද කියල ජනතාව තීරණය කරන්න ඕන. තහවුරු කරන්නේ නැත්නම් ඇත්ත වශයෙන්ම අපිට ආපහු පරණ තත්ත්වයට යන්න සිදුවෙනවා. උදාහරණයක් හැටියට එළඹෙන වර්ෂයට අයවැය සකස් කරද්දී මම කිව්වා මට අයවැයක් සකස් කරල දෙන්න කියලා NPP යෝජනා සමගම. ඒ සියලු දේම සකස් කළාම අපේ වියදම් ආදායම් පරතරය රුපියල් බිලියන හාරදාහයි. ඒ කියන්නේ දළ දේශීය නිෂ්පාදනයෙන් 11.9 යි. සාමාන්‍යයෙන් අපිට එකඟත්වය අනුව කරන්න පුළුවන් දළ දේශීය නිෂ්පාදනය 5% යි. ඒ කියන්නේ වැඩියෙන්ම අපට මුදල් ණයට ගන්න පුළුවන් දළ දේශීය නිෂ්පාදනයෙන් 5%යි. ඒක නිසා අපි අයවැය හදන්නේ 5%කට. දැන් මේක 11.9 ක් වෙලා. එහෙම වුණාම ඩොලරයකට රුපියල් කීයක් අවශ්‍ය වෙනවාද?. අඩුම ගාණේ 400-425 ක් විතර වෙනවා. ඊළඟට 11.9 කියලා IMF හා අනිත් රටවල්වලට කිව්වහම ඒ අය සහය දෙන එක නවත්වනවා. එකතොට ඩොලර් එක හාරසියයක් නොවෙයි පන්සියයක් විතර වෙනවා. තමන්ට මුදල් අරගන්න අවශ්‍යනම් වෙළෙඳපොළෙන් 5% ට වඩා අරගත්තොත් දළ දේශීය නිෂ්පාදනය පුද්ගලික අංශයට තියෙන මුදල් නැතිවෙනවා. එතකොට ඒ අවස්ථාවේදී අපේ විශේෂයෙන්ම පොළිය සියයට 25%කට යනවා. අන්න ඒකයි අපේ වෙනස. ඒක අපේ ප්‍රකාශනයේම තියෙනවා. දැන් මේක ඉදිරියට යනවාද පස්සට යනවාද කියන එක තීරණය කරන්න වෙලා තියෙන්නේ. ජනතාව තහවුරු කරනවානම් අපි අපනයන ආර්ථිකයකට යන්න ඕන. අපනයන ආර්ථිකයට යන ගමන් මේ රටේ තරුණයන්ට රැකියා දෙන්න ඕන. ඒ වගේම විශාල දියුණුවක් ඇති කරන්න අවශ්‍යයි. ඒත් එක්කම ජීවන බර තවත් සැහැල්ලු කරන්න ඕන. ඒක මම පිළිගන්නවා.

ඔබ දිගටම අනුර දිසානායකට මා මිත්‍ර අනුර යනුවෙන් ආමන්ත්‍රණය කරනවා. අනුර දිසානායක ඒ තරමටම යාළුවෙක්ද?

ඔව්. අපි පාර්ලිමේන්තුවේ කතාකරන කොට අපි කතාකරන්නේ මගේ හොඳම යහළුවා කියලා. කොහොම හරි එතුමා කිව්වා මා මිත්‍ර කියලා කියන්න එපා කියලා. එතුමා හිටපු කෘෂිකර්ම ඇමැති. දැන් කියනවා හිටපු කෘෂිකර්ම ඇමැති කියන්නත් එපා කියලා. ඒක කිව්වොත් පේනවා එයා ආණ්ඩුවේම කොටසක් කියලා. දැන් මොකක්ද කියන්න කියන්නේ. එච්චරයි මට අහන්න තියෙන්නේ.

ජාතික ජනබලවේගය හා සජබය යන පක්‍ෂ දෙකෙහි ප්‍රතිපත්ති ප්‍රකාශ ඔබ කියෙව්වාද? ඔබතුමාගේ ආර්ථික වැඩපිළිවෙළට අනුව ඒ දෙකේ තියෙන අඩුපාඩු සහ වෙනස කොහොමද?

ඔව්. දෙකම කියවලා තියෙන්නේ. සජබයේ තියෙන්නේ දෙකක්. ඒ සැමට ජයක්.. Economic blue print 3ග0 කියලා. ඔය ඔක්කොම ප්‍රකාශ කළාට පස්සේ සජිත් ගිහින් තවත් ජනතාවට මොකක් හරි නොමිලේ පොරොන්දු වෙනවා. නැත්නම් බඩු මිල තවත් අඩුකරනවා කියනවා. නැත්නම් වියදම් වැඩිකරනවා කියනවා. මම හිතන්නේ නෑ මේ කාටවත් මේක කරන්න පුළුවන් කියලා. මේ අය එයාලගේ පොරොන්දු දෙවිදිහකට දෙනවා. එකක තියනවා ගොවීන්ට ණය ආධාර සහනාධාර දෙනවා කියලා. අනිත් එකේ නෑ. සංචාරක ව්‍යාපාරය ගැනත් පරස්පර විරෝධී දේවල් තියෙන්නේ. මෙතන ප්‍රශ්නය තියෙන්නේ ප්‍රකාශ කළායින් පස්සේ එතුමා ගිහින් තවත් එකක් පොරොන්දු වෙන එක. දැන් කියල තියෙනවා රණවිරු දෙපාර්තමේන්තුවක් ඇති කරනවත් කියලා. මේ හැම එකකම අලුත් වියදම් තියෙන්නේ. මම අනිත් එකත් කියෙව්වා. රාත්‍රියක්ම ගතවුණා පිටු 232ක් මට කියවන්න. ඒක ලෙහෙසි පහසු එකක් නෙවෙයි. ඒක කියවද්දී ඒ ආර්ථික සැලැස්ම හරියට පැහැදිලි නෑ. අපට ඒකෙ ප්‍රශ්නයකට තියෙන්නේ අපනයන ආර්ථිකයට යනවාද නැද්ද කියන එක. දැන් හිටපු කෘෂිකර්ම ඇමැති අනුර දිසානායක කියනවා කැලණියේදී කියනවා අපනයන ආර්ථිකයක් ගේනව කියලා. ඒත් එයාලගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කියන්නේ වෙන එකක්. නිදහස් වෙළෙඳ ගිවිසුම අහෝසි කරනවා කියලයි. ඉතින් අහෝසි කළොත් අපනයන ආර්ථිකයකට යන්න බැහැනේ. තුන්වෙනුව තියෙන කාරණය තමයි අපනයන ආර්ථිකයක් ව්‍යවස්ථාවට විරුද්ධවයි කියල සුනිල් හඳුන්නෙත්ති මැතිතුමායි ඩොක්ටර් සූරියප්පෙරුම ප්‍රකාශ කළා. ඒ ආර්ථික පරිවර්ථන කෙටුම්පතට විරුද්ධව. මේක පරස්පර විරෝධියි. අනිත් එක මේ සංඛ්‍යා දිහා බැලුවාම IMF එකේ ඉලක්ක ඔක්කොම වෙනස් වෙනවා. සියයට දශම පහකින් නොවෙයි. විශාල ප්‍රමාණයකින්. කොහොමද ඒ වැඩපිළිවෙළ කරන්නේ කියලා අහන්න වෙනවා. මේ යන විදිහට මුදල් අච්චු ගහන්න වෙයි. මුදල් අච්චු ගැහුවොත් මේක කඩාගෙන වැටෙනවා. මට පෙනෙන්නෑ ඒකෙන් සෙතක් වෙනවා කියලා. අනුර දිසානායක හිටපු කෘෂිකර්ම ඇමැතිතුමාගේ විවාද යෝජනාවට මම ලැහැස්තියි. එතුමා මට කියන්න ඕන අපනයන ආර්ථිකයේද ආනයන ආර්ථිකයේද එතුමා ඉන්නේ කියලා. පස්සේ ඒක අපට පුළුවන් IMF එකත් එක්ක කතා කරන්න.

ජනාධිපති ධුරය ලබාගැනීම වෙනුවෙන් ප්‍රධානම සුදුසුකම ආර්ථික ගැටලු විසඳීම. මෙයට විපක්‍ෂයෙන් කරන චෝදනාව තමයි විදේශ ණය නොගෙවීම නිසා පසුගිය කාලයේ රට යථා තත්ත්වයට ගන්න පුළුවන් වුණේ කියලා.

ඇත්තවශයෙන්ම දැන් අපි විදේශ ණය පොලිය ගෙවලා තිබෙනවා. අපි ගෙව්වේ රුපියල්වලින්. දැන් විදේශ ණය ගෙවන්න අපට කල් ලැබිලා තිබෙනවා. අපට දැන් පොලිය ගෙවන්න වෙලා තියෙන්නේ. හැම අවුරුද්දේම මම පොලිය ගෙව්වා. දැන් තියෙන්නේ දුන්නු මුල් ධනය ආපසු ගෙවන එක. ඒක පොඩි ගාණක්. අපි මේ ඔක්කොම කරල තියෙන්නේ රුපියල්වලින්. අපේ ණය තිරසර භාවය කියන්නේ කාරණා දෙකක්. එකක් තමන්ගේ වියදම්වලට මුදල් තියෙන්න ඕන. තමන්ගේ ණය ගෙවන්න මුදල් තියෙන්න ඕන. දැනට IMF සංවිධානය පිළිඅරගෙන තියෙනවා අපි තිරසර භාවයට යනවා කියලා. ඒකත් අත්සන් කරලා තියෙන්නේ. අපි ආපසු බංකොළොත් නොවන තැනට යනවා. ඒ ගියහම අපට තවත් විදේශ ධනය ලැබෙන්නත් තිබෙනවා. ඒ අවස්ථාවේදී අපට පුළුවන්කම ලැබෙනවා වාහනත් ලංකාවට එවන්න. අපිට ඕන ගාන අපි හොයාගෙන තිබෙනවා. ඒක රටේ ආදායම් වලින් හොයල තියෙන්නේ. ඊට අමතරව ණයවලින් තියෙන්නේ. අපිට ණය ගෙවන්න පුළුවන්. ඒ වගේම අපේ දැන් තියන ක්‍රමවේදය අනුවයි මුදල් හොයාගෙන තියෙන්නේ. මට අහන්න තියේනනේ එදා ඇයි මේක ඒ අය භාරගත්තෙ නැත්තෙ.

උතුර සහ නැගෙනහිර ප්‍රශ්නය විසඳීමට ඔබ මොනවගේ යෝජනාවක් ද ඉදිරිපත් කරන්නේ?

මේ ජනාධිපතිවරණයේදී පළවෙනි වතාවට ජනවාර්ගික ප්‍රශ්නත් නෑ. ඒ වගේම ආගමික ප්‍රශ්නත් නැහැ. ඇත්ත වශයෙන්ම උතුරේ ප්‍රශ්න ගණනාවක් අපි සාකච්ඡා කරලා තියෙනවා ද්‍රවිඩ ජනතාවගේ. ඒවා දැන් ඉදිරියට ගෙන යන්න මම හිතන්නේ අපේ 13 වැනි සංශෝධනය ගැන. ඒක උතුරට විතරක් නෙවෙයි සංවර්ධනය කරන අවස්ථාවේ පළාත් සභා නවය තමයි සංවර්ධනයේ ප්‍රධාන ආයුධය වෙන්න ඕන. අපි සවිබල ගන්වන්න ඕන සංවර්ධන වැඩකටයුතු සිදුකරන්න. ඊළඟට ඉඩම් ප්‍රශ්නවලට අපි විසඳුම් දීගෙන යනවා. ඒ තිබුණ දේශපාලන ප්‍රශ්නවලට TRC එක අපි ඇති කරන්න යනවා. නවාස් කොමිසම ක්‍රියාත්මක කරනවා. ඒවා දැනට අපි විසඳගෙන යනවා. ඒක අපි ලැහැස්තියි තවත් ඉදිරියට ගෙන යන්න. සමහරවිට කියන්න පුළුවන් ප්‍රමාද වුණා කියලා. ඉතිරි වැඩකටයුතු අපි කරගෙන යනවා. ඒ වගේම මුස්ලිම් ජනතාවට ප්‍රධාන ප්‍රශ්නය ලෙස තිබුණෙ ආදාහන කිරීම් භූමිදානය කිරීම්. ඒවටත් අපි දැන් නීති කෙටුම්පත ඉදිරිපත් කරල තියෙනවා. ඒ ප්‍රශ්න දැන් නැහැ.

මම සුක්කානම බාරගත්ත නිසා රටට සල්ලි එනවා

ඔබගේ කණ්ඩායමත් දිගින් දිගටම කියන දෙයක් තමයි ඊළඟ ජනාධිපති ධුරය කවුරු ගත්තත් මාස හයක්වත් කරගන්න ලැබෙන්නෙ නෑ කියන කාරණය. කඩාගෙන වැටෙනවා කියන එක. ඔබ හදල තියෙන වැඩපිළිවෙළ කඩාගෙන වැටෙන විදිහට ද හදල තියෙන්නේ.

නෑ. මේ තියෙන වැඩපිළිවෙළ ඕනෑම කෙනකුට පුළුවන් ක්‍රියාත්මක කරන්න. ඒත් මේක ක්‍රියාත්මක කරන්න ඒ අය කැමැති නැහැනේ. මං දැන් කිව්වා වගේ ජාතික ජනබලවේගයත් මේ ක්‍රමයෙන් පිට යන්න බලනවා. එතකොට මේක කඩාගෙන වැටෙනවා. මම හරි පිට ගියොත් ඒක කඩාගෙන වැටෙනවා. අපි දැන් පාර පෙන්නල තිබෙනවා. ඒ පාරෙ යන්නට අවශ්‍යයි. ඒකෙ ඕනෑම කෙනකුට යන්න පුළුවන්.”

ඔබට වැඩි අභියෝගයක් තියෙන්නේ අනුරගෙන්ද? සජිත්ගෙන්ද?

අපි ඔය කියන දෙන්නටම මුහුණ දෙන්න ලැහැස්තියි. ඒ අයගේ ප්‍රතිපත්ති ඇත්තටම ක්‍රියාත්මක කරන්න බැහැ මේ රටට. අපට දැනට ස්ථාවර භාවයක් තියෙනවා. අපේ රට වටේ මොකක්ද වෙන්නේ. මාලදිවයින විශාල ආර්ථික අර්බුදයකට මුහුණදෙනවා. බංගලාදේශයේ පාලනයක් නැතිවෙනවා. අපි එතනට යන්න ඕනද? නැත්නම් මේ මාර්ගයේ යනවාද? සජිත්වත් අනුරවත් මේවාට පිළිතුරු දෙන්නෙ නෑ. ඒ දෙන්නම යන්නේ පරණ දේශපාලනයේ. මම යන්නේ අලුත් දේශපාලනයේ. මට ඕන අලුත් ක්‍රමවේදයක් ඇතිකරන්න. ඒකයි විප්ලවකාරී බව. ඒ අයට නැහැ ඒවා. මේ අර්බුදය ඇතිකරපු දේශපාලනය සිරකරුවන් බවට ඒ අය පත්වෙලා. ඒකෙන් පිට යන්න ඒ අයට බැහැ.

ඔබතුමා රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිකරන බව ප්‍රකාශ කළා. මීට මාස තුන හතරකට මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා ප්‍රකාශ කළා එසේ කරන්නට වැට් වැඩිකිරීමක් සිදුකළ යුතු බව. ඉදිරියේ කොහොමද එතකොට වැටුප් වැඩිකිරීමක් සිදුකරන්නේ?

අපි මේ අවුරුද්දේ නෙවෙයි. ඒක 2025-2026 ක්‍රියාත්මක වෙන්නේ. මේ අවුරුද්දේ මුදල් තිබුණේ නෑ. හරියට ආර්ථිකය හැසුරුව නිසා එන අවුරුද්දේ මුදල් තිබෙනවා. ඊළඟ අවුරුද්දේ මුදලුත් තියෙනවා. මේ අවුරුද්දෙ අපට දෙන්න පුළුවන් වුණේ රුපියල් 10,000 හේ දීමනාව පමණයි. අපේ පාලනය නියම විදියට රට ඉදිරියට ගෙනියනවා. මේක කැඩුවොත් මොකක්ද වෙන්නේ.

නාමල් රාජපක්‍ෂ කියනවා ඔබ අරගලයේ කොටස්කරුවකු බව. අරගලය මැඬපැවැත්වීමට නැවතත් ඔබතුමාට අවස්ථාවට දුන්නා කියලත් ඔහු කියනවා. ඒ ගැන ඔබගේ මතය පැහැදිලි කළොත්?

රටේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න, සමාජ ක්‍රමය වෙනස් කරන අරගලයකට මම විරුද්ධ නෑ. මම විරුද්ධ ඒක ඇත්ත වශයෙන්ම ප්‍රචණ්ඩ ක්‍රියාවලින් සිදුකිරීම ගැන. ඒකට මම විරුද්ධයි. ඒකයි මම ඇවිත් ඒක නැවැත්තුවේ. මේ හැම එකක්ම සාමකාමීව ඡන්දවලින් වරම අරගෙන ඒ වැඩකටයුතු කරන්න තියෙන්නේ. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. මම අරගලය වෙලාවේ ආවේ කවුරුත් ඒ වෙනුවට කෙනෙක් හිටියේ නෑ. නීතිය සාමය අතට ගෙන ආරක්‍ෂා කරන්න.

ඔබ සඳහන් කළා සජිත් විපක්‍ෂ නායක වීම හා ඔහුගේ අකාර්යක්‍ෂමතාවය මත AKD මතුවුණා කියලා. ඔබ කියන්නේ රටේ දේශපාලන කඳවුරු දෙකක් පමණක් තිබිය යුතුයි කියලද?

සාමාන්‍යයෙන් ඕනෑම රටක ප්‍රධාන දේශපාලන කඳවුරු දෙකක් තිබෙනවා. සමහර රටවල්වල තුනක් තිබෙනවා. ඕනෑම ප්‍රජාතාන්ත්‍රික රටක ප්‍රධාන කඳවුරු දෙකක් තිබෙනවා. නැත්නම් තුනයි. ලංකාවේ ක්‍රියාත්මක වන කඳවුරු දෙකක් තිබුණා. එකක් තමයි අගමැති ජනාධිපති ඉන්න කඳවුර. අනික තමයි විපක්‍ෂ නායක ඉන්න කඳවුර. අගමැති ජනාධිපති දැනගන්න ඕන තමන්ට විරුද්ධව ඉන්න පැත්ත ඇති නොකර ඉන්න එක. විපක්‍ෂ නායක දැනගන්න ඕන තමන් විතරක් ප්‍රධාන අපේක්‍ෂකයා හැටියට බලයට ඉදිරිපත් වෙන්න. අනිත් පක්‍ෂත් ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒත් ප්‍රධාන හැටියට ඉදිරිපත් වෙන්නේ විපක්‍ෂ නායකවරයා. ඩඩ්ලි සේනානායක මැතිතුමා දිහා බැලුවොත් එතුමා විපක්‍ෂ නායකයා හැටියට 60 දශකයේ හිටියා. බණ්ඩාරනායක මැතිණිය අරගත්තා. ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාට විරුද්ධව කාරණා තිබුණාට එතුමා කිසිවකුට ඉඩදුන්නෙ නෑ එතුමාට විරුද්ධව එන්න. ඒ වගේම තමයි කාලයක් මම ඒක කළා. මහින්ද රාජපක්‍ෂත් කළා. ඒක විපක්‍ෂ නායකයා දැනගන්න ඕන තමන්ගේ නායකත්වය අනිත් අයගෙන් අරගන්න. මේක දන්නෙ නැත්නම් මොනවා කරන්නද? අනුර දිසානායක අවස්ථාව දැකලා ඉස්සරහට ගියා. එක පක්‍ෂයකටම එක සමානව සලකනවා නම් මේ ප්‍රශ්නය එන්නෙ නැහැ.

ජනාධිපතිතුමනි ඔබතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඇතුළේ අලුත් නමක් තිබෙනවා ආර්ථික ක්‍රමයකට ථේරවාදී වෙළෙඳ ආර්ථික ක්‍රමය යනුවෙන්. ඇත්තටම ථේරවාදී ක්‍රමය වෙනස් වෙන්නේ කොහොමද ලිබරල් හෝ විවෘත ආර්ථික ක්‍රමවේදයත් සමග?

වෙළෙඳ ආර්ථිකය යොදවලා තිබෙනවා ථේරවාදී රටවල් එක්ක. ඒක ආරම්භ කළේ ලංකාවේ අනුරාධපුර රජරට යුගයේ. අනුරාධපුර, පොලොන්නරුවේ විශාල වෙළෙඳ ආර්ථිකයක් තිබුණා. බටහිරින් නැගෙනහිරින් ඇවිත් වෙළෙඳාම් කොට භාණ්ඩ හුවමාරුව සිදුකළේ එතැන. ඒ එක්කම අපි අපනයනය කළා ආහාර වර්ග. ඊට පස්සේ ඒක කඩා වැටුණා. මේ වගේම ඒක ථේරවාදි බුද්ධ ධර්මයේ බලපෑම් ඇතිව කරපු එකක්. ඒ අනුව තමයි මම කියන්නේ වෙළෙඳ ආර්ථිකය කොහොමද ලංකාවේ ඇති කරන්නේ කියලා. ඒකයි මම තායිලන්තයත් එක්කත් නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇති කළේ. ථේරවාද බෞද්ධ රටවලුත් ඒ ඒ වාතාවරණය අනුව දියුණු වෙන්න. අනික ඉන්දියාවේ වෙළෙඳ කණ්ඩායම් එහෙම තමයි බුදුරජාණන් වහන්සේට සහයෝගය දුන්නේ. හැම වෙලාවේම බුදුදහම හා වෙළෙඳාම අතර සම්බන්ධකමක් තියෙනවා. මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පමණයි බුදුදහම ගැන තියෙන්නේ.

මෙවර ජනපතිවරණයේදී මිනිස්සු අලුත් අත්හදා බැලීමක් කරන එකේ වැරැද්ද මොකක්ද?

අපි හැම වෙලේම ලංකාවේ අය අත්හදා බලපු අයනේ. ඒකනේ අපි ඉදිරියට ඉන්නේත් නැත්තේ. තියෙන එකට වඩා අනික හොඳයි කියලා හිතලනේ අපි හිතන්නේ. මිනිස්සු අත්හදා බලනව කියල ඡන්දය දෙනවා. මිනිස්සුන්ට ඩොලර් එක පන්සීයක ජීවත්වෙන්න පුළුවන් නම් අපට කිසිම ප්‍රශ්නයක් නෑ. පොහොර, තෙල් නැති තැනක ආපසු ජීවත් වෙන්න කැමැති නම් ප්‍රශ්නයක් නැහැ. ඇත්ත වශයෙන්ම ජනතාවට තිබෙන ආදායම් අඩුවෙලා තිබෙනවා. ඔවුන්ගේ ධනය අඩුවෙලා තිබෙනවා. මෙතනදී අපට තිබෙන්නේ ඒ ධනය වැඩිකරන එක. මම ‘උරුමය’ ගෙනාවේ ඒ නිසයි. ඒකෙන් ලක්‍ෂ 20 කට අයිතියත් ලැබෙනවා. මිනිස්සුන්ට මෙතෙක් කල් නැති අයිතියක් ලැබෙන්නේ. අපි සාමාන්‍ය ජනතාවගේ ප්‍රාග්ධනයට ඔප්පු මිලියන දෙකක් ඇතුල් කරල තියෙන්නේ. ඒ වගේම මේ ඔප්පු දෙන අයට නෙවෙයි ප්‍රාග්ධනය නැති වුණේ. කොහොමත් තමන්ගේ ප්‍රාග්ධනය වැඩිකරනකන් මේක කරලා වැඩක් නෑ.

ජනපති අපේක්‍ෂකයන්ගෙන් ඔබතුමා විශේෂ කෙනෙක් වන්නේ IMF වැඩපිළිවෙළ නිසාද?

නැහැ. මම කතාකරපු එක ඒ අය ක්‍රියාත්මක කළා. ඒත් ඒ අය කියන්නේ මේක වෙනස් කරනවා කියලා. දැන් ගිවිසුමක් තියෙනවා ඒ ගිවිසුමෙන් පැන්නොත් මුදල් දෙන එක නවත්වනවා. ඊළඟ කාර්තුවට අපට ලබාගන්න තියෙනවා ඩොලර් බිලියන තුන්සියයක්. ඒක එන අවුරුද්දට ලබාගන්නට තිබෙනවා. මේක දිහා බලලා මේක ක්‍රියාත්මක කරන ආකාරය ගැන සෑහීමකට පත්වුවහොත් තමයි ඒක දෙන්නේ. දැන් ඒ අය කිව්වොත් අපි මේ වෙනස් කරනවා කියලා. එතකොට IMF එක කියයි හරි මේක යටතේ අපට ඩොලර් මිලියන තුන්සියය දෙන්න බැහැ කියලා. අපි අලුතෙන් කතා කරමු කියලා. මේ ඔක්කොම අරගෙන කතාකරන්න ගියොත් අඩුගානේ මාස හයක් අවුරුද්දක්වත් යයි. ඒ අවුරුද්ද තුළ කවුද අපට දෙන්නේ. ඒ සහතිකය නැතිවුණාම අපි කොහොමද වැඩ කරන්නේ. ඒකයි කියන්නෙ තමන්ට ඕන නම් දැන් ගිහින් කතාකරල පෙන්නන්න. මේ සහතිකේ නැවතුන ගමන් මේ ඔක්කොම නවතිනවා. මම ගිහින් හෙට කිව්වොත් මේක වෙනස් කරනවා කියලා ඒක නවත්වනවා.

ඔබ තුමා සෘජු බදු ක්‍රමයක් ආරම්භ කළා. ඒත් තවමත් වක්‍රබදු ක්‍රමය ජනතාවට දරාගන්න අපහසුයි. ගොඩක් අය කියන දෙයක් තමයි බදු අඩු කරන්න කියලා. ඊළඟට එන අපේක්‍ෂකයන්ගේ සටන් පාඨය එය. බදු සම්බන්ධව ඔබේ වැඩපිළිවෙළ කොහොමද?

බදු ප්‍රමාණය අඩු කරන එක නෙමෙයි බදුවලින් ලැබෙන ආදායම අඩුවුණොත් ප්‍රශ්නයක් වෙනවා. මේ බද්ද අඩුකළොත් තව තැනකින් බද්ද වැඩිකරන්න තිබෙනවා. වැට් අඩු කළොත් තියෙනවා බදු ගණනාවක් වැඩිකරන්න. එහෙම වුණාම බදු පැටව් ගහනවා. වැට් එක ලේසියි. එක සැරයක් විතරයි අරගන්න තියෙන්නේ. ඉතින් තමන්ට පුළුවන් නම් බදු අඩුකරන්න ආදායම අඩු නොකර එසේනම් IMF එකත් එක්ක කතා කරන්න පුළුවන්. ඒත් ඒක වෙන්නේ නැහැ. අපේ එන අවුරුද්දට බලාපොරාත්තු වන්නේ රුපියල් බිලියන පන්දහස් එකසිය දාහතක් එකතු කරන්න. ආනයන ආදායම් හැටියට. එතකොට අපේ වෙනස තියෙන්නේ රුපියල් බිලියන 1700 යි. ඒක 5% යි ඒ නිසා අපට ණය ගන්න පුළුවන්. NPP එකේ බදු අඩු කරන නිසා ප්‍රමාණය රුපියල් බිලියන හාරදහස් නවසියයයි. දෙසීයකින් අඩුවෙනවා. ඒකත් රුපියල් බිලියන හාරදාහක පරතරය ඇතිකරන්න ක්‍රියාකරනවා. බදු අඩුවුණාම වියදම් ආදායම් අතර පරතරය වැඩිවෙනවා. මේක අමාරුයි. ඒත් මේ නිසා රුපියල ශක්තිමත් වුණා. බඩු මිලත් සමහර අංශවල අඩුවෙලා තිබෙනවා. ඒත් තාම මදියි. ඊළඟ අවුරුද්දේ තවත් බඩු මිල අඩුකරන්න ඕන.


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT