ඓතිහාසික දිඹුලාගල කඳු මුදුනෙන් සොයාගත් ශ්‍රී ලංකාවේ විශාලතම දුර්ලභ ගණයේ සෙල්ලිපියේ මැකී ගිය අක්ෂර මතු කර ගැනීමට ශ්‍රී ලංකාවේ පළමුවරට නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් එම කටයුතු කිරීම (02) පෙරවරුවේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අර්ජුන රන්තිලගේ ඇතුළු පුරාවිද්‍යා නිලධාරීන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ආරම්භ කළහ. මීට පෙර සාමාන්‍ය ආකාරයෙන් කඩදාසි භාවිතා කරමින් මේ සෙල්ලිපියේ ස්පර්ශ ලාංඡන පිටපත් කර ගත් බවත්, එයින් කියවීමට හැකි වූයේ සියයට හතළිහක පමණක් ප්‍රමාණයක් බවත්, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අර්ජුන රන්තිලගේ සඳහන් කළේය.
පළමුවරට ලෝකයේ නවීන තාක්ෂණය භාවිතා කරමින් මේ සෙල්ලිපිය නැවත පිටපත් කරන බවත්, ඒ සඳහා ක්‍රමවේද තුනක් අනුගමනය කරමින් දින තුනක් මේ ස්ථානයේ රැඳී සිටිමින් අදාළ අක්ෂර පිටපත් කර මේ සෙල්ලිපිය පිළිබඳ තවදුරටත් අධ්‍යයනය සිදු කරන බවත් අර්ජුන රන්තිලගේ සඳහන් කළේය.
දිඹුලාගල සෙල්ලිපිය නූතන තාක්ෂණය ඔස්සේ ඡායාරූප ගත කරන බවත්, ඒ සඳහා ඉන්දියා ඡායාරූප තාක්ෂණික ක්‍රමවේදය සහ ඩ්‍රෝන කැමරා තාක්ෂණ ක්‍රමවේදය භාවිතා කරන බව ඒ පිළිබඳ අධ්‍යයනය කිරීමට පැමිණි, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ නිලධාරීහු සඳහන් කළහ.
2023 ඔක්තෝබර් 26 වැනිදා පුරාවිද්‍යා නිලධාරීන් විසින් මේ සෙල්ලිපිය සොයාගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳව මාසයකට අධික කාලයක් පුරාවිද්‍යා නිලධාරීන් එහි රැඳී සිටිමින් සෙල්ලිපියේ අක්‍ෂර පිටපත් කර ගනු ලැබූහ.
පූර්ව බ්‍රාහ්මීය අක්‍ෂරවලින් කොටා ඇති මේ සෙල්ලිපිය තුළින් ශ්‍රී ලංකාවේ සහ දිඹුලාගල ඉතිහාසය වෙනස් වනු ඇති බවට පුරාවිද්‍යා ගවේෂණ නිලධාරීන් මත පළ කළ අතර මේ සෙල්ලිපිය පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් පසු බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතා විසින් විද්වත් කමිටුවක් පත්කළ අතර එම කමිටුව මීට මාසයකට පමණ ඉහතදී කරුණු දහයක් ඔස්සේ එම සෙල් ලිපියෙන් කියැවෙන කරුණු පිළිබඳව ප්‍රකාශ කිරීමට මාධ්‍ය සාකච්ඡාවක්ද පවත්වා තිබුණි.
දිගින් අඩි 50කින් සහ උසින් අඩි 9කින් යුත් මේ දුර්ලභ ගණයේ සෙල්ලිපිය, පිළිබඳ පසුගිය කාලය පුරා විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝදෙනා දැඩි කතාබහට ලක්කළ අතර, ඒ පිළිබඳව නිශ්චිත වශයෙන්ම සෙල්ලිපියේ අර්ථකථනය මෙතෙක් හෙළිදරව් නොවන බවට ද විවිධ පාර්ශ්වයන් චෝදනා කළහ.
දිඹුලාගලින් හමුවූ දුර්ලභ ගණයේ විශාලතම සෙල්ලිපිය දෙවනවරට ලොව නවීන තාක්ෂණය ඔස්සේ කියවීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන හා විද්‍යාඥ කන්තලේ සුමිත්ත හිමියන්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන හා නාභික විද්‍යා අංශයේ සහකාර අධ්‍යක්ෂ බුද්ධි නාගොඩවිතාන මහත්වරුන් ඇතුළු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දහයකට අධික නිලධාරී කණ්ඩායමක් සහභාගි වී සිටියහ.
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් සඳහන් කළේ මේ සෙල්ලිපියක් සම්පූර්ණයෙන්ම පිටපත් කරමින් එහි සැබෑ අන්තර්ගතය රටට හෙළිදරව් කරන ලෙසත්, ඉන් අනතුරුව දෙස් විදෙස් සංචාරකයන්ට නැරඹීමට අවකාශය ලැබෙන පරිදි එම ස්ථානයට ළඟාවීමට මාර්ගයක්, සෙල්ලිපියේ ආරක්ෂාවට ආවරණයක් සැකසීමත් අදාළ බලධාරීන්ගේ වගකීමක් හා යුතුකමක් බවයි.